Monday, April 6, 2026
spot_img

Latest Posts

පිබිදීමේ නාදයක්!

[අද්මිරාල් විසිනි]

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ඉතිරිව ඇත්තේ තවත් දින නවයක් පමණි. වෙනදා නම් මේ වෙද්දී රටම උත්සව සූදානමකය. නමුත් ඒ වෙනුවට අපි දැන් නරඹමින් සිටින්නේ මිහිතලයේ මහා ශෝකාන්තයයි. ‘මහා කඩාවැටීමේ අසිරිමත් සංදර්ශනයයි’. ඉදිරිපෙළ අසුන්! ඇතුළත්වීම නොමිලේ! පැමිණීම අනිවාර්යයි!


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අපේ දුකසැප බලන්නට ආවේය. හරියට මරණාසන්න ලෙඩෙක් බලන්න එන නෑදෑයින් රංචුවක් වගේය. ඔවුන් අපේ ආර්ථිකයේ නාඩි බැලුවා, මූල්‍ය හුස්ම ගැනීමේ වේගය පරීක්ෂා කළා, ඉන්පසු කිසිත් නොකියාම ඉතා සෙමින් දොර දෙසට පියවර මැන්නා. කිසිම පොරොන්දුවක් නැත. ගලවාගැනීමේ සැලසුමක් නැත. ජීවන රේඛාවක්ද නැත. ඔවුන් කළේ කලබලයෙන් හිනාවී 'අපි ඒ ගැන හිතලා බලන්නම්' යැයි කීම පමණි. වෘත්තීය පොලී මුදලාලිලා පවා ඔබව ස්පර්ශ කිරීමට බිය වන විට, සුබ පැතුම්! ඔබ දැන් විනාශයේ නවතම මානයකට ළඟා වී ඇත.

මධ්‍යම පාන්තික පවුල්වල විදුලි බිල 25% කින් ඉහළ ගියේය. සුප්‍රයිස්! ඔව්, නැවතත්. කලින් ඔබව ඇඬෙව්ව ඒ බිලම දැන් ඔබව කෑගස්සවන තැනට පත්ව ඇත. සල්ලි ඉතුරු කරගන්නට පවුල් පිටින් දැන් වාඩිවී ඉන්නේ කරුවලේය.

තෙල් මිල ඉහළ යමින් පවතී. අතේ සල්ලි නැතිව තෙල් ෂෙඩ් හිස් වීමට ඉඩ ඇත. පෙට්‍රල් නැති අලුත් අවුරුද්දක්! මාර සාම්ප්‍රදායිකයි නේද? ආපහු අර පැරණි සරල ගැමි ජීවිතේටම යන්න පුළුවන්. හැබැයි ඉස්සර ගම්වල තිබුණේ ගොන් කරත්ත. අපිට තියෙන්නේ ලස්සන 'පේපර් වේට්' (Paperweights) වගේ මිදුලෙ තියාගෙන බලන් ඉන්න පුළුවන් හිස් වුණු මිල අධික වාහන.

වෛද්‍යවරු වැඩවර්ජනයකය. සමස්ත සෞඛ්‍ය පද්ධතියම නිවාඩු ගොසිනි. රෝගීන්ට පුළුවන් ඉවසන් ඉන්න. ලෙඩුන්ට පුළුවන් දුක් විඳින්න. මැරෙන මිනිස්සුන්ට පුළුවන් මැරිලා යන්න. මේකට සෞඛ්‍ය ඇමතිට මරු විසඳුමක් ඇත. ඒ ඔක්කොම දොස්තරලා ගෙදර යැවීමයි!

රටින් පොහොර අතුරුදහන් වෙමින් පවතී. ගොවියන් හිස් කුඹුරු දෙස බලාගෙන, යාඥා කළාම වී පීදෙයිද කියා කල්පනා කරති. ඊළඟ කන්නය පටන්ගන්නත් කලින්ම මියගොසිනි. මේ අතර කෘෂිකර්ම ඇමති තම නව නිවසේ ගෙවදීමේ උත්සවයේ වැඩ කටයුතුවලින් කාර්යබහුලය.

ව්‍යාපාර ඉතා සෙමින්, හිමිහිට ඝාතනය කරමින් පවතී. ආයතනික බදු 30% කි. පුද්ගලික ආදායම් බද්ද 36% කි. ඒ මදිවාට මේ මිල අධික වස කේක් ගෙඩිය උඩින් අයිසිං කළා වගේ වැට් (VAT) බද්දක්ද ඇත. ඊට පස්සේ නගර සභා බදු. ඊටත් පස්සේ ගාස්තු. ඊළඟට තව තව අයකිරීම්. ඊටත් පස්සේ ලබන අඟහරුවාදාට ආණ්ඩුව අලුතින්ම නිර්මාණය කරන මොකක් හෝ බද්දක්. කඩසාප්පු වැසේ. කර්මාන්තශාලා අගුලු වැටේ. රැකියා අතුරුදහන් වේ. නමුත් බදු එකතු කරන්නන් ඉන්නේ හරිම සතුටිනි.

බදු ගසා ව්‍යාපාර වඳ කර දැමීමේ මෙහෙයුම අතිසාර්ථකය! මෙහෙයුම සම්පූර්ණයි. තවත් ව්‍යාපාර නැහැ කියන්නේ තවත් බදු වංචා නැහැ කියන එකයි. මාර තර්කයක්!

සංචාරක කර්මාන්තය ඉතා ගෞරවනීය ලෙස මිය යමින් පවතී. විදේශිකයන් දැන් වෙනත් ගමනාන්ත තෝරාගනිති. වෙනත් වෙරළ තීරයන්ය. විදුලිය සහ තෙල් ඇති වෙනත් රටවල්ය. ඒක නම් ඔවුන්ගේ මහ අසාධාරණ කමක්. හරිම ආත්මාර්ථකාමියි. අපි ඔවුන්ට දුන්නේ නියම දූපත් අත්දැකීමක් නොවේද! කරුවලේ ඉන්න. ප්‍රවාහනයක් නැහැ. වර්ජනය කරන දොස්තරලා. මේක 'විප්ලවීය සංචාරක අත්දැකීමක්'. ඔවුන්ට ඒකෙ අගයක් නැති එකයි පුදුමේ.

අපනයන කඩා වැටෙයි. ආනයන පුපුරා යයි.

දූෂණය තුරන් කරන බවට පොරොන්දු වූ ආණ්ඩුව දැන් තමන්ගේ එවුන්ව රකින්නට පටන් ගෙන ඇත. ගල් අඟුරු ටෙන්ඩර් දූෂණ. කන්ටේනර් වංචා. ඩබල් කැබ් ජාවාරම්. හැම පරීක්ෂණයක්ම පක්ෂයේ සාමාජික කාඩ්පත ළඟ නතර වේ. හරිම තෝරාගත් යුක්තියක්. නියම විප්ලවීය ප්‍රතිපත්ති!

පොලිසියේ මානසිකත්වය කඩා වැටී ඇත. අපරාධ ඉහළ යමින් පවතී. නීතිය ක්‍රියාත්මක කිරීම බිඳ වැටී ඇත. ත්‍රිවිධ හමුදාව දැන් නිකම්ම සැරසිල්ලක් වැනිය. හරියට බිත්තියේ ගහපු ලස්සන චිත්‍ර වගේය. නිල ඇඳුම් නම් කදිමය. පෙළපාළි නම් අතිවිශිෂ්ටය. හැබැයි ක්‍රියාකාරීත්වය බිංදුවයි. ජාතික ආරක්ෂාව කියන්නේ දැන් නිකම්ම වේදිකා නාට්‍යයකි.

ජීවන වියදම දැන් පෘථිවි ගුරුත්වාකර්ෂණයත් පරදවා අභ්‍යවකාශයට විසිවී ඇත. සහල් මිල කක්ෂගත වෙලාය. එළවළු මිල හඳටම ගිහින්ය. බෙහෙත් මිල ඈත මන්දාකිණිවල සැරිසරයි. මහ බැංකුව 5% ක උද්ධමන ඉලක්කයක් ගැන උදම් අනද්දී, මිනිස්සුන්ගේ දරිද්‍රතාවය 500% කින් වැඩිවී ඇති බව ඔවුන්ට අත්දැකීමෙන්ම තේරී ඇත.

ආණ්ඩුවේ ඇමතිවරුන් දැන් පෙනෙන තරමටම පොහොසත් වී ඇත. එදා දුප්පතුන්ගේ ගැලවුම්කරුවන් වූ අයගේ බැංකු ගිණුම් දැන් ගැලවී ගොස් ඇත. සමානාත්මතාවය වෙනුවෙන් සටන් කළ අය දැන් ඉතා අසමාන සුඛෝපභෝගී ජීවිත ගත කරති. ඔව්, තමන් ධනපතියෙකු වූ විට ධනවාදය යනු සැබවින්ම කොතරම් සුවපහසු දෙයක්දැයි මාක්ස්වාදී විප්ලවවාදීන් දැන් සොයාගෙන ඇත.

අවුරුද්දට තව දින නවයයි. පවුල් පිටින් අලුත් ආරම්භයක් ගැන සතුටු විය යුතු කාලයයි. ඒ වෙනුවට ඔවුන් ගණන් හදන්නේ තවත් මාසයක් ජීවත් වෙන්නේ කොහොමද කියාය. ගෙවල් දොරවල් පවා අහිමි වීමේ අවදානමක් තියෙද්දී සාම්ප්‍රදායිකව ගෙවල් සුද්ද පවිත්‍ර කිරීමේ තේරුමක් නැති ගානය. ණය කන්දරාව දවසින් දවස ගුණනය වෙද්දී පරණ ණය බේරීම හිතන්නවත් බැරි වැඩකි.

IMF එක අවිනිශ්චිතව හැරී ගියේය. විදුලිය ගන්නට බැරිතරම් ගණන්ය. තෙල් නැතිවී යමින් පවතී. දොස්තරලා වර්ජනයකය. පොහොර නැත. කුඹුරුවලම ගොවිතැන් විනාශ වෙයි. ව්‍යාපාර වැසී යයි. සංචාරක කර්මාන්තය කඩා වැටේ. අපනයන අසාර්ථකය. පොලිසිය බිඳවැටී ඇත. හමුදාව සැරසිල්ලක් පමණය. ජීවන වියදම දරාගත නොහැක. හැබැයි ඇමතිවරු නම් හොඳින් වැජඹෙති.

රට ගිනි ගනිමින් පවතී. ගිනි තැබූවන් සල්ලි ගණන් කරමින් ඔවුන්ගේම ගිනි නිවීමේ කුසලතා ගැන පම්පෝරි ගසති. තවත් දින නවයකින් අපි සමරන්නේ, අපිට දුක් විඳින්නට තවත් නිර්මාණාත්මක ක්‍රම පමණක් පොරොන්දු වන අලුත් අවුරුද්දකි.

අවදි වන්න! මෙය විහිළුවක් සේ ඇසුණද ප්‍රහසනයක් නොවේ. මෙය විහිළුවක් ලෙස රඟදක්වන ඛේදවාචකයකි. ප්‍රබන්ධයක් යැයි සිතෙන තරමටම විකාරරූපී වූ යථාර්ථයකි. යමක් වෙනස් නොවුණහොත්, යමෙකු ක්‍රියාත්මක නොවුණහොත්, මිනිසුන් තම රට ආපසු ඉල්ලා නොසිටියහොත්, ඊළඟ අලුත් අවුරුද්ද මීට වඩා දරුණු වනු ඇත. ඊටත් පසු අවුරුද්ද තවත් දරුණු වනු ඇත. මේ කඩාවැටීම වේගය අඩාල කරන්නක් නොවේ. එය දිනෙන් දින වේගවත් වන්නකි.

Latest Posts

spot_imgspot_img