Saturday, April 4, 2026
spot_img

Latest Posts

නීතිය රකින්න!!! රනිල්, සජිත් සහ නාමල් ඇතුළු විපක්ෂය එක්ව ජාත්‍යන්තරයට ලියයි

මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින අතිශය කනගාටුදායක සහ භයානක සිදුවීම් මාලාවක් මුල්කරගනිමින්, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ නීති වෘත්තිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් විසින් ජාත්‍යන්තර නීතිමය සහ මානව හිමිකම් සංවිධාන වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ , ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් මීට අත්සන් තබා තිබේ.

ඝාතන රැල්ල සහ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි ඝාතනය

නවීන ගිනිඅවි භාවිත කරමින් පුද්ගලයින් ඝාතනය කිරීමේ පුනරාවර්තන රටාවක් මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති අතර, පසුගිය වසරේදී ජීවිත 60කට වැඩි ප්‍රමාණයක් ද, නව වසරේ මේ දක්වා ජීවිත 9ක් ද අහිමි වී තිබේ. මෙම තත්ත්වයේ බරපතලකම මනාව පැහැදිලි වූයේ 2026 පෙබරවාරි 13 වන දින, අධි-ආරක්ෂිත කලාපයකට ආසන්නව මහ දවාලේ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමත් සමගිනි.

මෙම ඝාතනයෙන් පැයක් වැනි කෙටි කාලයක් ඇතුළත, කිසිදු විධිමත් විමර්ශනයකින් තොරව පොලිසිය විසින් ප්‍රකාශ කර තිබුණේ, ඝාතනයට ලක්වූ නීතිඥවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි බවත්, ඝාතනයට හේතුව ඔහුගේ සේවාදායකයින්ගේ අපරාධ ක්‍රියාකාරකම් බවත්ය. මෙය ගැටලුව විකෘති කිරීමේ සහ මෙම අපරාධයේ බරපතලකම මහජන මනසින් හෑල්ලු කිරීමේ අරමුණින් සිදුකළ වගකීම් විරහිත මැදිහත්වීමක් බව විපක්ෂය අවධාරණය කරයි.

මෙම සිදුවීමත් සමඟ සමස්ත නීති වෘත්තියම දැඩි කම්පනයකට පත් වූ අතර , වසර 14කට පසු අසාමාන්‍ය ක්‍රියාමාර්ගයකට එළඹෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිඥවරුන් 35,000 කට අධික සාමාජිකත්වයකින් යුත් රැස්වීමක් කැඳවීය. එහිදී පෙබරවාරි 16 වන සඳුදා දින සියලුම වෘත්තීය කටයුතු වලින් වැළකී සිටීමට ඒකමතිකව තීරණය කළ අතර, ඒ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණ දක්වා රට පුරා සියලුම අධිකරණ වසා දැමීමටත්, නඩු දහස් ගණනක් කල් දැමීමටත් සිදුවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අයිතීන් සහ ආයතන උල්ලංඝනය වීම

නීති වෘත්තියට එල්ල වී ඇති මෙම තර්ජනය හුදෙක් එක් සිදුවීමකට පමණක් සීමා නොවූ, සමස්ත අධිකරණ පද්ධතියම අඩපණ කරන තත්ත්වයක් බවට පත්ව ඇත:

  • නියෝජනය සඳහා ඇති අයිතිය: විනිසුරුවරුන්ට සහ නීතිඥවරුන්ට බියෙන් හා පක්ෂපාතීත්වයෙන් තොරව ස්වාධීනව සිය රාජකාරි ඉටු කිරීමට පවතින පරිසරය මේ වන විට ඛාදනය වී ඇත. නීතිඥවරයෙකු විසින් නියෝජනය කරනු ලැබීමට ඕනෑම විත්තිකරුවෙකුට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකමට මෙය සෘජු අභියෝගයකි.
  • නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීම: නීතිපතිවරයාට එල්ල කර ඇති බලපෑම් හේතුවෙන් අභිචෝදක කාර්යය දේශපාලනීකරණය වී ඇති බවට පැහැදිලි සාක්ෂි පවතින අතර, එය අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාවලියේ සාධාරණත්වයට දැඩි ලෙස හානි පමුණුවයි.
  • අන්ත දේශපාලනීකරණය වූ පොලිසිය: වත්මන් පොලිස්පතිවරයා යටතේ පොලිස් බලකාය අන්ත දේශපාලනීකරණයකට ලක්ව ඇති අතර, එය මෑතකාලීන නීතිඥ ඝාතනය පිළිබඳ පරීක්ෂණය ඇතුළු අපරාධ විමර්ශනවල අපක්ෂපාතීත්වයට බරපතල ලෙස බාධා කරයි.

ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් සම්මුතීන් කඩවීම

  • ලක්සම්බර්ග් සම්මුතිය (Luxembourg Convention): නීතිඥයින් ආරක්ෂා කිරීම සඳහා වූ යුරෝපා කවුන්සිලයේ ලක්සම්බර්ග් සම්මුතියේ 9(4) වගන්තියට බලපැවැත්වෙන පරිදි පරිපාලන සහ ව්‍යවස්ථාදායක පියවර ගැනීමට රජය පැහැදිලිවම අපොහොසත් වී ඇත. “නීතිඥයා ආරක්ෂා නොකරන්නේ නම්, කිසිවෙකු ආරක්ෂා නොවේ” යන පදනම මත 2016 ජූලි 9 වන දින පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමය විසින් මෙම සම්මුතිය දැඩි ලෙස අනුමත කර තිබුණි.
  • ICCPR සහ ත්‍රස්ත විරෝධී පනත: යෝජිත ත්‍රස්ත විරෝධී පනත හරහා මහජන අතෘප්තිය යටපත් කිරීමට උත්සාහ කරන අතර, එය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ ශ්‍රී ලංකාව බැඳී ඇති මූලික වගකීම් පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි. මෙම තත්ත්වය යටතේ මාධ්‍ය ආයතන, කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් ද සෘජු ඉලක්ක බවට පත්ව ඇත.

වගකීම් පැහැර හැරීම සහ ජාත්‍යන්තරයට කරන ආයාචනය

පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ නීතිය හා සාමය පිරිහීම වැළැක්වීම සඳහා සිය යුතුකම ඉටු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අසමත් වී ඇති බව අදාළ ලිපියේ දැක්වේ. ප්‍රජාතන්ත්‍රවාදයේ කැපී පෙනෙන ලක්ෂණ අද වන විට අඛණ්ඩ සහ දැවැන්ත අභියෝගයකට ලක්ව ඇති බැවින් ජාත්‍යන්තර වෘත්තීය ආයතන වල අවධානය මේ සඳහා යොමු කර ඇත.

ජාත්‍යන්තර නීතිඥ සංගමය (IBA) , පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය , ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) , ජාත්‍යන්තර තරුණ නීතිඥ සංගමය (AIJA) , ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් , හියුමන් රයිට්ස් වොච් , එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) ඇතුළු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන 12 ක් වෙත මෙම ලිපිය යොමු කරමින් , දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ පැවති නීතිමය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු මැදිහත්වීම් සිදු කරන ලෙස මෙරට විපක්ෂය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටී.

Latest Posts

spot_imgspot_img