සාකච්ඡාව- ශ්‍රියානි විජේසිංහ
ප්‍රමිතියෙන් තොර ඖෂධ පිළිබඳ කතාබහ නැවැතත් කරළියට පැමිණ ඇත. මින් පෙරද අවස්ථා ගණනාවකදීම බාල ඖෂධ සහ එන්නත් පිළිබඳ විවිධ සිදුවීම් වාර්තා වූ අතර ඊට එරෙහිව හඬනැගූ සහ දැඩි වෘත්තිමය ක්‍රියාමාර්ගවල නිරතවූ ඇතැම් වෘත්තීය සමිති මෙවර මුනිවත රකින බවටද චෝදනාවක් වෙයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සමග "අරුණ" කළ සාකච්ඡාවකින් උපුටා ගැණිනි.
බාල ඖෂධ පිළිබඳ කතාබහ කරළියට ආ සියලුම අවස්ථාවල ඊට එරෙහිව හඬනැගූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ඇතුළු වෘත්තීය සමිති බොහොමයක් මෙවර මුනිවත රකිනවා කියලා චෝදනාවක් තියෙනවා. ඇත්තටම මොකක්ද මේ නිහැඬියාව?
මුනිවත රකිනවා නොවෙයි. අපේ රටේ බාල ඖෂධ ප්‍රශ්නය, ඖෂධ නියාමනයේ මහ මොළකරුවන් හා ඒ සඳහා තිබෙන ආයතන අතර සෘජු සම්බන්ධයක් තියෙනවා කියලා අපි නිරන්තරයෙන් කිව්වා. අපේ රටේ තියෙන්නේ පුද්ගලවාදීව ඖෂධ නියාමන ක්‍රමයක්. මිනිසුන්ගේ මූණ දිහා, ඉතිහාසය දිහා, ඔවුන්ගේ විශේෂඥතාවය දිහා බලලා තීන්දු තීරණ ගන්න ක්‍රමයක්. එහෙම පුද්ගලයෝ විශ්වාස කරලා ලෝකයේ කිසිම නියාමන ක්‍රමයක් හදන්නේ නෑ. ඒක යල් පැන ගිය ක්‍රමයක්. පවතින ක්‍රමය වෙනස් නොකර එක ඇමැතිවරයෙක් හිරේ දැම්මා කියලා රටේ බාල ඖෂධ ප්‍රශ්නය විසඳන්න බැහැ කියලා අපි දිගටම කිව්වේ ඒ නිසා තමයි. අපි ඒ කිව්ව දේවල් සැබෑවක් කියලා අද තහවුරු වෙලා තියෙනවා. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වෙනස් වුණත්, බාල ඖෂධ ප්‍රශ්නය තවමත් ඒ විදිහටම තියනවා.
ඖෂධ නියාමන අධිකාරිය තුළ තියෙන ප්‍රශ්නය මොකක්ද?
අපි ආණ්ඩු ගණනාවකට ඖෂධ ප්‍රශ්නය ගැන චෝදනා කළා. හැබැයි ඒ හැම ආණ්ඩුවක් යටතේම, ඒ පද්ධතිය ඇතුළේ සිට ඒ දේවල් පාලනය හා නියාමනය කළේ, උපදෙස් දුන්නේ, ප්‍රතිපත්ති සකස් කළේ බොහෝ විට එකම කණ්ඩායමක්. සමහර වෙලාවට ඒ අය එළියට ඇවිත් විවේචන කරනවා.
තවත් වෙලාවක ඇතුළේ සිටිමින් වැරැදි වහ ගන්නවා. ඔවුන්ට වුවමනා වෙලාවට “ඖෂධ ප්‍රශ්නයක් තියෙනවා” කියලා අපි පිළිගන්නවා. ඔවුන්ට වුවමනා නැති වෙලාවට ප්‍රශ්නයක් නැති බව පිළිගන්න කියලා අපිට බල කරනවා. ඔබට අද පෙනෙන නිහැඬියාව ඇතිවෙන්නෙත් ඒ නිසා කියලයි මට හිතෙන්නේ.
කොහොම වුණත් නියාමනය කියන්නේ හිතේ හැඟීම් මත තීරණ ගන්න ක්‍රියාවලියක් නොවෙයි. නියාමනය කියන්නේ ලියවිලි, ක්‍රමවේද, පරීක්ෂණ, තහවුරු කිරීම් මත තීරණ ගන්නා ක්‍රියාවලියක්. ඒ “ක්‍රමවේදය” ඉදිරියට ගෙන යා හැකි ආකාරයට අධිකාරිය ඉදිරියට ගිහින් නෑ. විධිමත් කළමනාකරණ පද්ධතියකින්, ලෝකයේ පිළිගත් පරීක්ෂණ ප්‍රතිඵලයකින් තහවුරු කරන ආකාරයේ තීරණ ගැනීමේ ක්‍රමයක් ඒ තුළ නෑ.
වර්තමානයේ ආන්දෝලනයට තුඩු දුන් එන්නත අත්හිටුවන්නෙත් ඖෂධ නියාමන අධිකාරියමයි නේද? මහනුවර රෝහලේ කළ පරීක්ෂණයකින් එන්නත්වල විෂබීජ තිබුණු බවට හඳුනාගත්තා කියලත් ඔවුන් කියනවනේ?
අපිට තියෙන ලොකුම ප්‍රශ්නයත් ඒකම තමයි. රෝහලක රසායනාගාර පරීක්ෂණයකින් ඒ වගේ ඖෂධයක් නවත්වන්න පුළුවන්ද? නීත්‍යානුකූලව එතැනදි කටයුතු කළ යුත්තේ කොහොමද කියලා හිතන්න වෙනවා. ඇත්තම කියනවා නම් ඖෂධ නියාමන අධිකාරියට අදාළ ජාතික ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරයක්වත් ශ්‍රී ලංකාව තුළ තවම ප්‍රමිතිගත කරගන්න නොහැකි වෙලා තිබියදීත්, රෝහලක ව්‍යාධිවේදී රසායනාගාරයක කළ පරීක්ෂණයකින් ලැබුණු ප්‍රතිඵල අනුව ඖෂධය භාවිත කිරීම තාවකාලිකව තහනම් කිරීමට තීරණයක් ගැනීම මොනතරම් අවිධිමත් දෙයක්ද? යම් හේතුවකින් නියමිත ක්‍රමවේදය තුළ කරන පරීක්ෂණයකින් ඔය කියන එන්නතේ විෂබීජයක් නෑ කියල තහවුරු වුණොත් කීදෙනෙක් අමාරුවේ වැටෙනවද? ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්, ජාත්‍යන්තර ප්‍රමිති සහතික තියෙන රසායනාගාරවල ප්‍රතිඵලවලට ආවාට ගියාට අභියෝග කරන්න ප්‍රමිතිගත එක රසායනාගාරයක්වත් නැති අපිට පුළුවන්ද.
ඔය කියන එන්නතේ විෂ බීජයක් තිබුණේ නැහැ කියලද ඔබ කියන්නේ?
ඔවුන්ට වගේම මටත් විද්‍යාත්මක තීරණගන්න පුළුවන්කමක් නෑ. කාටවත්ම ඒක කරන්න බෑ? ඖෂධයක විෂබීජයක් හෝ ගුණාත්මක දෝෂයක් තිබුණද කියලා තීරණය කරන්න නියමිත ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුගමනය නොකර ප්‍රකාශ නිකුත් කරන එක කවුරු කරත් වැරැදියි. ප්‍රතිඵල එන්න කලින් කට ඉස්සර කරගත්තාම මිනිස්සු සහ රට අමාරුවේ වැටෙනවා. ඖෂධ නියාමන අධිකාරිය එම නිදර්ශක ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් රසායනාගාර කිහිපයකට යවලා තියෙන්නේ. බැරිවෙලාවත් එහෙම විෂබීජයක් නෑ කියලා තහවුරු කළොත් මේ ඖෂධය නැවැත භාවිත කරන්න වෙනවනේ. එහෙම වුණාම සාමාන්‍ය මිනිස්සු වගේම විශේඥ වෛද්‍යවරුනුත් විශාල අමාරුවක වැටෙනවා. පහුගිය කාලේ ඔය විදිහටම ඉවත් කරන්න කියලා නියෝග කළ ඉමියුනෝග්ලොබියුලින් එන්නතත් නැවැත පාවිච්චි කරන්න කියලා අධිකාරිය කිව්වා ඔබට මතක ඇතිනේ.
යම් එන්නතක විෂබීජයක් තිබෙන බවට සැක සහිත නම් ඒ ඖෂධය තාවකාලිකව හෝ භාවිත නොකිරීම නෙමෙයිද හොඳම විසඳුම?
එන්නත වීදුරු ආවරණයක එන එකක් නම්, විෂබීජයක් ඇතුළු වුණා කියන සැකය ආවොත් කළ යුතුව තියෙන්නේ ඒ එන්නත අත්හිටුවලා බොරුවට කෑ ගහන එක නොවෙයි. පළමුවෙන්ම කළ යුත්තේ රෝගී ආරක්ෂාව තකා තාවකාලිකව ඒ එන්නත ඉවත් කිරීමයි. දෙවැනි පියවර නියමිත ලෙස සාම්පල් ගැනීම. ඉන්පසුව විෂබීජයක් ඇතුළු වෙන්නේ කොතැනදිද කියන එක තහවුරු කර ගැනීම කළ යුතුයි. වීදූරු ආවරණයක රටට එන එන්නතක් වගේ දෙයකට විෂබීජයක් ඇතුළු වුණා නම්, බොහෝ විට එහෙම වෙන්නේ නිෂ්පාදන ස්ථානයේදීනේ. ප්‍රවාහනයේදී ගබඩාකරණයේදී විෂබීජයක් ඇතුල්වෙන්න තියන ඉඩ අඩුයි. එහෙම නැත්තම් ඒ එන්නත රෝහල තුළ හැසිරවීමේ දී ද විෂබීජය ඇතුළු වුණේ කියලා විද්‍යාත්මකව තීරණය කරන්න වෙනවා. මහනුවර රෝහලේ පරීක්ෂණය හරිනම් එහෙම වෙන්න තියෙන ඉඩකඩත් අඩුයි.
අදාළ එන්නත් ගෙන්වීමට පෙර පරීක්ෂා කළේ නැද්ද කියන කාරණය පිළිබඳ සොයා බැලිය යුතු නැද්ද ?
ඔව්. ඒ ගැනත් කවුරුත් පැහැදිලි උත්තරයක් දෙන්නේ නෑ. එන්නත් වගේ බරපතළ දෙයක් රටට ගෙන ඒමට පූර්වයෙන් සාම්පල් පරීක්ෂාවක් කළේද යන්න තහවුරු විය යුතුයි. එහෙම කරලා නැත්නම් ඒ වගකීම එන්නත නිෂ්පාදනය කළ සමාගමට පමණක් පටවලා බැහැ. මිලදී ගත පාර්ශ්වයටත් වගකීමක් තියෙනවා.
මේ ඖෂධවලට දේශීය නියෝජිතයෙක් හිටියාට, රටට ඖෂධ ගෙන්වීම කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන්. ඒ නිසා ඖෂධ තොගය රටට ඇතුළුකර ගැනීමට පෙර කළ යුතුව තිබෙන පූර්ව සාම්පල පරීක්ෂණ පිළිබඳ තහවුරු කර ගැනීම වැදගත්. දැනට තිබෙන තොරතුරු අනුව 2023-09-19 දින “ඔන්ඩැසෙට්‍රොන්” 8mg/4ml එන්නත් ඇම්පියුල දොලොස් ලක්ෂයක් ඇණවුම් කරලා තියෙනවා. එවැනි ප්‍රමාණයක් ගේන්නේ රෝහලකට දෙකකට නොවෙයි, රට පුරා ඒ ඖෂධ බෙදාහරිනවා. එහෙම වුණාම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වගකීම බැහැර කරන්න බැහැ.
ඉන්දියාවේ රසායනාගාර දෙකකින් පූර්ව පරීක්ෂණ කරලා අදාළ එන්නතේ විෂබීජ නොමැති බවට තහවුරු කරගෙන තියෙනවා කියලත් කියනවනේ ?
එවැනි වාර්තා තියෙනවා කියලා අපිටත් තොරතුරු ලැබිලා තියෙනවා. එහෙමනම් ප්‍රශ්නය පැහැදිලියි. එක්කෝ ඒ වාර්තා වැරැදි වෙන්න ඕනේ. නැත්තම් ඒ වාර්තා බැලුවා කියන කතාව වැරැදි වෙන්න ඕනේ. එහෙම නැත්තම් ලංකාවේ කළ පරීක්ෂණය තවත් තහවුරු කර ගැනීමක් කරන්නම වෙනවා. මෙතැන වැදගත් දෙයක් තියෙනවා. පරීක්ෂණ දෙකක් පරස්පර වෙද්දී, නැවැත පිළිගත් ක්‍රමවේදයකින් පරීක්ෂා කරන එකයි කළ යුත්‍තේ. අපිට තියන තොරතුරු අනූව ඉන්දියාවේ “ඔයසිස්” කියන රසායනාගාරය පූර්ව පරීක්ෂණ කළ එක රසායනාගාරයක්, එය ඖෂධ තත්ත්ව පාලනයට විශේෂිත, ප්‍රමිතිගත රසායනාගාරයක්.
අනෙක් ඉන්දියාවේ “සිප්රා” කියන රසායනාගාරය. ඒකත් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් රසායනාගාරයක් විදිහට ජාත්‍යන්තර සටහන් තියෙනවා. ඒ රසායනාගාරවලින් “විෂබීජ නෑ” කියලා පූර්ව වාර්තා තියෙද්දී, ලංකාවේ මහනුවර රෝහලේ රසායනාගාරයෙන් “විෂබීජ තියෙනවා” කියලා වාර්තා කිරීම පිළිබඳ අපි ඉතාමත් විමසිල්ලෙන් බැලිය යුතුයි. අපි ඒ තොරතුර පාවිච්චි කළ යුත්තේ ඉතාමත් ප්‍රවේශමෙන්. එහෙම නොවුණත් අපේ රසායනාගාර පද්ධතියම අභියෝගයට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් රටක් විදිහට අපි තවත් හෑල්ලු වෙනවා.
එතකොට ලංකාවේ පරීක්ෂණ වාර්තා නිවැරැදියි කියලා ඉන්දියාව පිළිගත්තොත් ?
මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වෙන්නත් පුළුවන්. ඖෂධයක් ගැන සැකයක් ඇතිවුණාම කළ යුතුව තියෙන්නේ ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාරයක නැවැත පරීක්ෂා කරන එකයි. ලංකාවේ එවැනි රසායනාගාර එකක්වත් නෑ. ජාතික ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරයවත් ඒ මට්ටමට ගේන්න පුළුවන් වෙලා නෑ. අඩුම තරමේ ශ්‍රී ලංකා ප්‍රතීතන සහතිකයවත් ගන්න උත්සාහයක් හරියට කරලා නෑ කියලත් පේනවා. ඒ නිසා අපිට වෙනත් රටවල පිළිගත් රසායනාගාර වාර්තා මත පදනම් වෙලා තමයි තීරණ ගන්න වෙන්නේ.
කොහොම වුණත් මේ ඖෂධය නැවැත රසායනාගාරයකට යවලා පරීක්ෂණයක් කරලා එතැනින් “විෂබීජ නෑ” කියලා තහවුරු වුණොත්, ලංකාවේ ඖෂධ නියාමනයේ ඇත්ත අවුල එළියට එනවා.
ඉන්දියානු සමාගමේ එන්නත් දහයකම ගැටලු තිබුණු බව කියැවුණානේ. ඒක බරපතළ ප්‍රශ්නයක් නෙමෙයිද?
ඒක ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක්. “ඔන්ඩැසෙට්‍රොන්” එන්නත නවත්තලා තියෙන්නේ මහනුවර රෝහලේ පරීක්ෂණයක් කරලා කියලා අධිකාරියේ ප්‍රධානීන් කිව්වා. සංකූලතා වාර්තා වෙලා, මරණයක් ගැනත් සැක මතු කරලා කතා කරලා තියෙන නිසා එන්නතක් තාවකාලිකව අත්හිටුවලා පරීක්ෂා කරනවා කියන්න පුළුවන්.
ඒත් ඔය කියන අනෙක් එන්නත් 09ම නවත්තන්න භාවිත කළ ක්‍රමවේදය මොකක්ද කියලා කවුරුත් පැහැදිලි කරලා නෑ. අපි නොදන්න කලබලයක් ඔවුන්ට තියෙනවා කියන එක විතරක් පේනවා. මේ කලබලය ඇතුළේ එන්නත් 09 නතර කිරීම සම්බන්ධයෙන් අදාළ ඉන්දියානු සමාගම නීතිමය පියවර ගන්නත් ඉඩ තියෙනවා. අපි නොදුටු ගිවිසුම්වල තිබෙන දේවල් ඔවුන්ට එතැනදී ප්‍රයෝජනවත් වෙන්නත් පුළුවන්. ඒ විතරක්ද අද මේ වගේ තත්ත්වයක් හදලා, ඔය එන්නත් හොඳයි කියලා හෙට දවසේ කිව්වොත් රෝගීන්ට අපේ රටේ සෞඛ්‍ය සේවය ගැන විශ්වාසයක් ඉතිරි වෙනවද. අනෙක එක සමාගමක් වට්ටලා තව සමාගමකට ඉඩ සකස්කිරීම ඖෂධ මාෆියාවේ දූෂිත ක්‍රියාවලියේම එක කොටසක් බවත් අපි අමතක කරන්න හොඳ නෑ. මේ කලබල තීරණ ඖෂධවල ගුණාත්මකභාවය ආරක්ෂා කරන ජනතාවාදී වැඩක් වගේ කියලා පෙන්නුවාට ඊට වඩා වෙනස් අරමුණු මේවා තුළ තියෙන්න පුළුවන්.
ඔබ ඉන්දියන් මහ කොමසාරිස්වරයාට ලිපියක් ලියන්න හේතුව මොකක්ද?
ලංකාව ඇතුළේ ඖෂධ නියාමනයට තියෙන්නේ පුද්ගලවාදී උත්තර. නිශ්චිත විද්‍යාත්මක ප්‍රශ්න ඇහුවත් කවුරුත් නිශ්චිත උත්තර දෙන්නේ නෑ. සාමාන්‍ය මිනිස්සුන්ටත් මාධ්‍යයටත් මේක ගැන අවබෝධය අඩුයි. හැබැයි මේවා ජාත්‍යන්තර ප්‍රශ්න දක්වා දිවෙනවා. අපේ රටේ මිනිස්සු භාවිත කරන ඖෂධවලින් සියයට 60කට වැඩි ප්‍රමාණයක් දැනටත් ඉන්දියාවේ නිෂ්පාදන. එවැනි තත්ත්වයක ඉන්දියාවෙන් ආ එන්නත් “බාලයි” කියලා නිශ්චිත තහවුරුවක් නැතුව ප්‍රචාරය කිරීම භයානකයි.
ඒ අතරම, “ඉන්දියන් ෆාර්මකොපියා” අනුමත කරන ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා කියලා පේනවා. ඒ ගිවිසුමේ විස්තර ජනතාවටවත් පාර්ලිමේන්තුවටවත් තවම කියලා නෑ. ඒක ඇත්ත ගිවිසුමක්ද නැද්ද කියලවත් වගකිවයුතු කවුරුවත් පැහැදිලි කරලා නෑ. තවත් ගිවිසුම් තියෙනවද කියලත් සැකයක් තියෙනවා. ඉන්දියාව මෙහෙම ගිවිසුමක් අත්සන් කරන්නේ ඉන්දියාවේ ඖෂධ වැඩිපුර ප්‍රමාණයක් ලංකාවට විකුණන්නනේ. ඒ කියන්නේ අපි දැනට පාවිච්චි කරන ඉන්දියන් ඖෂධ ප්‍රතිශතය ඉදිරි අවුරුදු දෙක තුන තුළ සියයට හැටේ සිට සියයට අසූව දක්වා වුණත් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම මෙහෙම දෙයක් වුණාද? අවදානම මොන වගේද? ඉන්දියාවේ වාර්තා වැරැදිද? ඉන්දියාවේ සමාගම් හිතාමතාම අපට බාල ඖෂධ එවීමේ ප්‍රවණතාවයක් තිබෙනවද? එවූ එන්නත්වල විෂබීජයක් තිබුණා නම් ඔවුන්ගේ පූර්ව පරීක්ෂණ වාර්තාවල තත්ත්වය පිළිගන්නේ කොහොමද වගේ ප්‍රශ්නවලට අවධානයක් යොමු කරවීම සහ සත්‍ය තොරතුරු නිරාවරණය කිරීම තමයි ලිපියක් යොමු කිරීමෙන් අපි බලාපොරොත්තු වුණේ.
බාල ඖෂධ නවත්වන්න ප්‍රධාන ආයතන පහක් සමග එකතුවෙලා කඩිනම් වැඩපිළිවෙළක් හදන්න කියලා සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානීන්ට කියලා තියෙනවා. මේ ගැන ඔබට මොකද හිතන්නේ?
ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගේ මුහුණු පොතේ ටිකක් පහළට ගියා නම් ඔය ප්‍රශ්නයට හොඳ උත්තරයක් හොයාගන්න පුළුවන්. 2024 අගෝස්තු 19 වැනිදා මේ වගේම කමිටුවක් දාලා මේ වැඩේම ඔය කියන පිරිසට භාර දුන්නා. දැන් ආයෙත් ඒකම කරනවා. සෞඛ්‍ය ඇමැතිවරු කී දෙනෙක් ඔය කණ්ඩායමට මේ වගකීමම දීලා ඇත්ද? විද්‍යාත්මක කළමනාකරණ ක්‍රමවේදයක් ඖෂධ නියාමනයට ගෙන එන්න.
මොනවා හරි හේතුවකට මේක ඇතුළේ ප්‍රතිපත්ති හදන ප්‍රබලයන් කිහිප දෙනෙක් ඉඩ දෙන්නේ නෑ. තීරණ ගන්නා බලය කිහිප දෙනෙක්ගේ අතේ ඒකාධිකාරයක් විදිහට තියා ගන්නයි ඔවුන් උත්සාහ කරන්නේ. ඒ බලය සමහර වෙලාවට දේශපාලනයටත් වඩා ගැඹුරුයි. ඖෂධ මාෆියාව කියන්නේ සමාගම් අතේ තියෙන එකකට වඩා, නියත තීරණ ගන්න විශේඥයන් අතේ තියෙන දෙයක්. නලින්ද ජයතිස්ස ඇමැතිවරයාට ඒක තේරුම් ගන්න තව ගොඩාක් කල් යයි. ඒ නිසා නියාමනය බූදලයක් කරගෙන ඉන්න අයගෙන් ගලවලා, අලුතෙන් හිතන පිරිසකට ඔය වගකීම දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.
උපුටාගැනීම – (අරුණ පුවත්පත)



