විජේපාල දිසානායක විසිනි
මෙය ඓතිහාසික පාවා දීමකි.
නෙල්සන් මැන්ඩෙලා ලොව ප්රකටව සිටියේ, පැහැදිලි ඔප දැමූ දැක්මක් සහිත නායකයෙක් හැටියටය. අපේ රට පුනරුද ප්‍රතිසංස්කරණ සහිත නව පරිවර්තනයකට රැගෙන යන්නේ මැයි, දස අතේ පොරොන්දු දුන් මාලිමා නායකයින්ටද මැන්ඩෙලාගෙන් ලද හැකි පාඩම් බොහෝ ඇත. විශේෂයෙන් රටක අධ්‍යාපනය පිලිබඳ ඔහුගේ දැක්ම ලංකාවේ අපට පමණක් නොව ලෝකයේම අවධානයට ලක් වූ දෙයකි.
නෙල්සන් මැන්ඩෙලා තිරලෙසම පවසා සිටියේ, “ලෝකය වෙනස් කිරීමට ඔබට භාවිතා කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනය.” බවයි.
දශක හතකට වැඩි ඉතිහාසයක් තිස්සේ, ශ්‍රී ලාංකිකයින් ලෙස අප ආසියාවේ වඩාත්ම සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් සහිත රටක් බව ලෝකය හමුවේ මහත් ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටියෙමු. අපේ රටේ පුරවැසියන් ලද ජයග්‍රහණයක් වූ “නිදහස් අධ්‍යාපනය” හුදු ප්‍රතිපත්තියක් පමණක් නොව, එය සමාජ සම්මුතියක් ලෙස පැවති මිනිස් පොරොන්දුවකි. එමෙන්ම තවත් අතකින් එය අධ්‍යාපනය ලැබීමේ අයිතියට ගරුකරන ශක්තිමත් සමාජ ගිවිසුමක්ද විය. කිසිසේත්ම එම අයිතිය දෙමව්පියන්ගේ හෝ වැඩිහිටියන්ගේ ධන බලය, සමාජ බලය, හෝ වෙනයම් සාධකයක් මත තීන්දු වියයුතු, කිසිදු දරුවෙකුට අනාගතය අහිමි නොකළ යුතු බවට වූ පොදු සමාජ සම්මත විශ්වාසයක් විය.
එහෙත් කණගාටුවට කරුණ වන්නේ, මේ වන විට එම සමාජ සම්මුතිය නමට පමණක් සීමාවූ පුරුද්දක් ලෙස පවත්වාගෙන යනු ලබන ප්‍රබන්ධයක් බවට පත්ව තිබීමයි. අපේ රටේ පාසල් වියේ පසුවන දරුවන් සිටින සෑම පවුලක්ම වසරකට පෞද්ගලික උපකාරක පන්ති සඳහා බිලියන ගණනක් වියදම් කිරීමට සිදුව ඇත. එයට හේතුව වන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන පොදු අධ්‍යාපන පද්ධතිය තුලින් සිසුන්ට සාර්ථක වීමට අවශ්‍ය ශිල්ප හැදෑරීමේ මෙවලම් තවදුරටත් පලදායිව සම්පාදනය නොකරන නිසාවෙනි. ඒ හේතුවෙන් වර්තමානයේ දරුවෙක් සිටින සෑම නිවසකම පාහේ අධ්‍යාපනය ඔවුන්ගේ මුලික අවශ්‍යතාවයක් ලෙස නොව, එය අධික මිලක් ගෙවා ලබා ගත යුතු තරඟකාරී පාරිභෝගික භාණ්ඩයක් බවට පත්ව ඇත.
අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්රය තුල තාර්කික, විනිවිද පෙනෙන, ජාතික වශයෙන් මුල් බැසගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් බරපතල ලෙස ඉල්ලා සිටින බවට විසංවාදයක් නැත. එම සමාජ අවශ්‍යතාවයට මුවාවී ඊට හාත්පස වෙනස් රහසිගත ප්‍රතිසංස්කරණ මාලාවක් රැගෙන ඒමට මාලිමා ආණ්ඩුව රහසේ සුදානම් වෙමින් සිටි.
මෙම ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමාණවත් සමාජ සංවාදයක් නැත. එමෙන්ම පැහැදිලි දැක්මක් සහිත, පිළිගත හැකි ධවල පත්‍රිකාවක් නැත. එපමණක් නොව මේ සඳහා ගුරුවරුන්ගේ හෝ මහජනතාවගේ හෝ අධ්‍යාපන ක්ෂේත්රයේ වියතුන්ගේ විශ්වාසය දිනාගෙන නොමැත. හොර රහසේ නිර්මාණය කරන ලද රහසිගත අධ්‍යාපන පරිවර්තනයකට හරිණි අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු ආණ්ඩුව සීරුවෙන් සුදානම් වෙමින් ඇත.
ඇත්ත වශයෙන්ම මෙය අනාගතවාදී දැක්මක් සහිත ප්රතිසංස්කරණයක් නොවේ. මෙය අපේ රටේ 46 ලක්ෂයක් පාසල් දරුවන්ගේ අනාගතයට එරෙහිව සිදුවන රහසිගත ඓතිහාසික පාවාදීමකි.
නිදහස් අධ්‍යාපනය මියැදෙමින් තිබේ.
නිදහස් අධ්‍යාපනය වැළලීමේ ඛේදවාචකය නිරීක්ෂණය කිරීමට කුඩා සිද්ධි අධ්‍යනයක් පමණක් සිදු කිරීම ප්රමාණවත්ය. ඒ සඳහා සතියේ ඕනෑම දිනක සවස 6 න් පසු පාසල් යන දරුවෙකු සිටින ශ්‍රී ලාංකික නිවසකට ගොඩවීම ප්රමාණවත්ය. එවිට බහුලව දක්නට හැකි වන්නේ, පාසලෙන් උපකාරක පන්තිවලට, උපකාරක පන්තියකින් තවත් පන්තියකට යන විඩාබර අවිවේකි දරුවන්ය.
මෙයට හේතුව කුමක්ද?.
තම දුවා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් තවදුරටත් අප රටේ පාසල් පද්ධතිය ප්‍රමාණවත් නොවන හෙයින් දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා දෙමාපියන් තම වත්කමට වඩා වියදම් කරන්න පෙළඹී සිටීමය.
මෙයින් පෙන්නුම් කරන කටුක යථාර්තය වන්නේ, උපකාරක පන්ති ගාස්තු ගෙවීමට නොහැකි දරුවෙකු අකුරු කිරීමේ තරඟය හේතුවෙන් සාපරාධී ලෙස බැහැර කරනු ලබන බවයි. මෙම අසමානතාවය ආරම්භ වන්නේ දරුවාගේ පළමු වසරේ අධ්‍යාපන ක්‍රියාවලියේ සිටය.
අද අප රටේ දරුවන්ට “නොමිලේ” පාසල් ඇත, නමුත් ඊටත් වඩා මුදලට අධ්‍යාපනය විකුණන කඩ සාප්පුද සෑම නගරයකම බහුලය.
පන්ති කාමරද ඇත. නමුත් ඒවායේ සිටින දරුවන්ට ප්‍රමාණවත් සම්පත් නැත.
පාසල් වල ගුරුවරුන්ද සිටිති. එහෙත් අවැසි වෘත්තීය කුසලතාවය, අඛණ්ඩ ශිල්පීය පුහුණුව, අතිශය මන්දගාමිය.
46 ලක්ෂයක් පාසල් සිසුන්ද ඇත. නමුත් ඔවුන්ට අවස්ථා අහිමිය.
කිසිදු වගකිවයුතු, ප්රගතිශීලි බැරෑරුම් රටක් මෙවැනි අකාරයේ විෂම ප්රතිවිරෝධතා සහිතව තම අනාගතය ගොඩනඟන්නේ කෙසේද යන සදාචාරමය අවනඩුව පැනනගින්නේ එතැනෙනි.
මාලිමාවේ බොරුව අතේ පත්තුවෙන 2026 අයවැය.
බලයට පත්වීමට පෙර, ඔවුන් අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරන බවට ජාතියට පොරොන්දු විය. එම සටනට පුරෝගාමිවූ හරිණි අගමැතිවරිය ඇතුළු මාලිමා මන්ත්‍රීවරු 30 කට ආසන්න පිරිසක් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි. එකල එම සටන සහ පොරොන්දුව, ගෝලීය ප්රමිතීන් ප්රතිරාවය කරමින්, බලාපොරොත්තු බලමුලු ගැන්වීම සඳහා භාවිතා කරන ලද ප්‍රබල දේශපාලන සටන් පාඨයක් බවට පත්ව තිබිණ.
එහෙත් රාජ්‍ය බලය ලබාගත් පසු සිදුවුයේ කුමක් ද?
අවම වශයෙන් රාජ්‍ය වියදම් ප්‍රසාරණය වූ අනුපාතයටවත් අධ්‍යාපන ක්ෂේත්රයේ වියදම් වැඩි කිරීමට ඔවුන්ට නොහැකි වී ඇත.
එනම් 2025 සිට 2026 වර්ෂ වලට සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 7190 සිට 8980 දක්වා 24.89%කින් වැඩි වී ඇත. එහෙත් අධ්‍යාපන ප්‍රතිපාදන වෙනුවෙන් වැඩි ඇත්තේ 13.54%ක් පමණි. එය එසේ වැඩි වන්නේද පුනරාවර්තන වියදමක් ලෙස එනම් රාජ්‍ය සේවක වැටුප් ඉහල යාම නිසා සිදුවූ වැය බර හේතුවෙනි.
අපේ රටේ පාලකයින් විසින් සමස්ත රාජ්‍ය වියදමෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුල්‍ය ප්‍රතිපාදන දිගින් දිගටම කප්පාදු කර තිබීම කනගාටුවට කරුණකි. එය තවත් වේදනාකාරී වන්නේ නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් අන් කවරෙකුටවත් වඩා වැඩියෙන් පෙනී සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, ඇතුළු ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය කලෙක ජවිපෙ සෘජු දේශපාලන හස්තයක්ව පැවතීම නිසයි. ඒ මැදිහත්වීම කෙතරම් ප්‍රභල වීද යත්, වෙනුර, ත්‍රිමා, බාලසුරිය, නිෂ්මි, රන්ජිතම්, වනි තවත් දහස් ගණනක භද්‍ර යෞවනයේ සිටි ශිෂ්‍යයන් අධ්‍යාපන අයිතිවාසිකම් පතා ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීමයි.
අදටත් ඒ ඛේදනීය අත්දැකීම්, වත්මන් පාලක ජවිපෙ නායකයින්ගේ හෘද ස්ක්ෂිය මත බරක් සේ පවතීද යන්න සැක සහිතය. ඒ අන් කිසිවක් නිසා නොව වරෙක ඔවුන් “රනිල් රනිල් ගොනා ගොනා…. ගොන් පනතක් ගෙනා ගෙනා..” යනුවෙන් සහ ” කොළඹට කිරි .. අපිට කැකිරි” යනුවෙන් පාසල් දරුවන්ද මහා පාරට දක්කවා පෙළපාලි ගිය බැවිනි.
එක කාලෙක අනුර කුමාර ජනාධිපතිවරයා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකයෙකුව සිට මෙම ශිෂ්‍ය සටන් වලට නායකත්වය දුන්නේය. එහෙත් දෛවය කෙතරම් සරදම් වී තිබේද යනු නිදහස් අධ්‍යාපනයේ කිසිඳු රැකවරණයක් නොලද හරිණි අගමැතිවරිය වැන්නියකට රටේ අධ්‍යාපන දිශානතිය තීන්දු කිරීමේ බලය ලබා දීමට අද ඔහුට සිදුව ඇත. එතැකින් නොනැවතුන ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස 2026 අධ්‍යාපනය වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීමේදී මහා බොරුවක් ඇදබැවේය.
අධ්‍යාපනය සඳහා මුදල් වෙන්කිරීම 2024දී 8.89%ක් වූ ප්‍රතිශතය 2025දී 8.62%ට අඩු වී ඇත. 2026දී එය 7.91% දක්වා තවත් අඩු කිරීමට අනුර කුමාර මුදල් ඇමතිවරයා කටයුතු කර ඇත.
ඔවුන් අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%ක් වෙන් කලා යනුවෙන් ඉතිහාසයේ වැඩිම අගය ලෙස උදම් අනයි.
එහෙත් ලංකාව 2% මට්ටමේ හිටියේ වසර 10 කටත් පෙර 2015දී පමණ සිටය.
පසු ගිය වසරේද දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.9%ක් වෙන් කර ඇත. මෙවර එය යාන්තමින් දශමයක් වැඩි කිරීම උදම් ඇනීමට කරුණක් නොවෙයි. එනම් 1.9% ඉඳලා 2%ට යද්දී 69%ක වර්ධනයක් කියලා බොරු කීම ඔහුගේ ජනාධිපති කමටද ලැජ්ජාවකි. දැන් දිත්වා සුළි කුනාටු ආපදාව හේතුවෙන් මෙම ඉලක්කම් තවදුරටත් බරපතල ලෙස වෙනස් වීමට නියමිතව ඇත.
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වීදි බැස පෙළපාළි ගිය රජයක් දැන් තම ජාතික කැපවීම පෙන්නුම් කරන්නේ එලෙසිනි.
මෙම පරස්පරතාව විශ්මයජනකයි. කුහකකම ඓතිහාසිකයි.
අනෙක් අතට ඊටත් වඩා බියජනක කරුණ වන්නේ,2025 වසර සඳහා අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදලින් මේ දක්වා වියදම් කර ඇත්තේ 24% ක් පමණක් වන නිසයි.
අධ්‍යාපනය සඳහා අඩුවෙන් වියදම් කිරීම අදක්ෂතාවයක් පමණක් නොවේ, එය ජාතික කඩාකප්පල්කාරී ක්‍රියාවකි.
වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපනයට අදාලව සිදුවන මෙම හැසිරීම මගින් කියාපාන්නේ කුමක්ද?
අධ්‍යාපන ඉලක්ක කපා දමයි. තිබෙන අරමුදල් අඩුවෙන් වියදම් කරයි. රහසිගතව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වේගවත් කරයි.
මෙයින් පැහැදිලි පණිවිඩයක් රැගෙන එයි.
එනම් අධ්‍යාපනය කිසිසේත්ම ප්‍රමුඛතාවයක් නොවේ. අපේ රටේ දරුවන් ප්‍රමුඛතාවයක් නොවේ. රටේ අනාගතය ප්‍රමුඛතාවයක් නොවේ.
මෙම තත්වය විසින් මූලික ප්‍රශ්නයක් මතු කරනු ලබයි. මෙය රැඩිකල් ප්‍රශ්නයක් නොවුනත්, එය මූලික ප්රශ්නයකි. අධ්‍යාපනයට අදාලව ඕනෑම දෙමව්පියෙකු, ගුරුවරයෙකු හෝ ප්‍රතිපත්ති සම්පාදකයෙකු අසන ප්රශ්නයකි. එනම්, වෙන් කරන මුදල් පවා වියදම් කළ නොහැකි රජයකින් සැබෑ අධ්‍යාපන පරිවර්තනයක් අපේක්ෂා කරන්නේ කෙසේද? යන්න එම ප්රශ්නයයි.
මහජන විශ්වාසයක් හෝ කැමැත්තක් නැති රහස් ප්‍රතිසංස්කරණ
ෆින්ලන්තය, දකුණු කොරියාව, සිංගප්පූරුව, වියට්නාමය, එස්තෝනියාව වැනි රටවල් තම අධ්‍යාපන ක්‍රමය සාර්ථකව ප්‍රතිසංස්කරණය කළේ මහජන සම්මුතිය මත පදනම් වූ, සාක්ෂි මුල්කර ගත්, ඉතාමත් විනිවිද පෙනෙන තම රටට අනන්‍ය වූ ජාතික මට්ටමේ දැවැන්ත ක්‍රියාවලියක් හරහා ය.
එහෙත් ශ්‍රී ලංකාව මොකද කළේ?
අපේ රටේ දරුවන්ගේ අනාගතය උදෙසා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා, පැහැදිලි ධවල පත්‍රිකාවක් නොමැත. ඒ සඳහා පාර්ලිමේන්තුවේ දියුණු විවාදයක් නොමැත. විද්වත් විෂය ප්‍රාමාණික කමිටු වාර්තා දක්නට නැත. මේ වෙනුවෙන් විධිමත් ශාස්ත්‍රීය සමාලෝචනයක් නැත. අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු මහජන උපදේශන එහි නැත. වෘත්තීයවේදීන්ගේ පාසල් ගුරුවරුවරුන්ගේ කාර්යක්ෂම සහභාගීත්වයක් නැත.
ඒ වෙනුවට ඇමතිවරිය සතුව පවා ඇත්තේ පවර්පොයින්ට් ඉදිරිපත් කිරීමක් පමණි. ඇය විසින් නාඳුනන පුද්ගලයින් විසින් සකස් කරන ලද, නොදන්නා සාක්ෂි මත පදනම්වූ ඒ පවර්පොයින්ට් ලියවිල්ල තෝරා ගත් නිලධාරීන් අතලොස්සකට පෙන්වමින් සිටි.
එය රහසිගත එකක් පමණක් නොව රටේ වැදගත් කිසිවෙක් තබා ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා කිසිවක් දන්නේ නැත. එනම් කවුද මෙය කෙටුම්පත් කළේ?. කුමන කමිටුවක් විසින් එය අනුමත කළාද?. කුමන පර්යේෂණය එයට සහාය වුවාද, සහ ඒ දත්ත මොනවද?. කුමන අකාරයේ ජාත්‍යන්තර හවුල්කරුවන් එයට බලපෑම් කළාද?. යන වැදගත් කරුණු අතිශය රහස් ලෙස මාලිමා බලධාරීන් ආරක්ෂා කරමින් සිටි.
මෙය හරියටම හැනා අරන්ඩිට් (Hannah Arendt) පෙන්වා දුන් පරිදි, “නිහඬතාවය පිටුපස නියත ලෙසම ඇත්තේ කුමන්ත්රණයකි”.
එහෙත් ලක්ෂ 46 ක් දරුවන්ට බලපාන ප්රතිසංස්කරණයක් සඳහා, ඇයි මේ අභිරහස්, නිහඬ, අහංකාරයක්.
“කුමන බාධක ආවත්” අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවට පාර්ලිමේන්තුවේදී පසුගියදා ඇමතිවරියක් ආඩම්බරයෙන් ප්‍රකාශ කලාය. ඇය සහ ඇගේ ආණ්ඩුව ප්‍රසිද්ධියේ ඝෝෂාකාරීව යුද ප්‍රකාශ කරන්නේ වෙන කාටවත් නොව ඒ වෙනුවෙන් උනන්දුවන, ගුරුවරුන්, ශාස්ත්රඥයින්, ආගමික නායකයින්, පාසල් විදුහල්පතිවරු, දෙමාපියන්, විපක්ෂය, මහජනතාව, වගේම රටේ ප්රජාතන්ත්රවාදය, යන පාර්ශවයන් මාලිමා ආණ්ඩුවේ මෙම වියරුව පිලිබඳ කල්පනාකාරී විය යුතුය. මක්නිසාද යත්, ජාතියක් තම අනාගතය හැඩගස්වා ගන්නේ මෙවන් ප්රවේශයකින් නොවන නිසාය. ඔවුන්ගේ පාලන තන්ත්රයේ තනි කැමැත්ත සමාජයක් මත බලෙන් පටවන්නේ මේ ප්‍රවේශය තුලින්ය.
නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්ෂකයින් එහි මිනීවළ හාරන්නන් දක්වා පුනරාවර්තනය වීමේ විරුද්ධාභාසය.
අධ්‍යාපනය මේ වනවිට අපේ රටේ ගැඹුරු සදාචාරාත්මක අර්බුදයක් වෙත දිග හැරෙමින් පවතී. වසර පනහකට ආසන්න කාලයක් තිස්සේ, ජනතා විමුක්ති පෙරමුණ නිදහස් අධ්‍යාපනයේ කොන්දේසි විරහිත ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටියේය. ඔවුන් වීදි පුරා සටන් බිම් නිර්මාණය කළේය. එහිදී ඔවුන්, රනිල් වික්‍රමසිංහගේ ධවල පත්‍රිකාවට එරෙහිව, විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කරණවලට එරෙහිව, අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව, විෂයමාලා වෙනස්කම් වලට එරෙහිව, විශ්ව විද්‍යාල වසා දමන ලදී. සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාර වලට ලක්කරන ලදී. ඇතැමුන් පොලිස් වෙඩි පහරින් ඝාතනය කරවන ලදී. අත්අඩංගුවට පත් කරවන ලදී. ඇතැම් සිසුන්ගේ ශිෂ්‍යභාවය ජිවිතයටම අහෝසි කරවන ලදී. එලෙස අකාලයේ මියදුන තරුණ සිසු ජිවිත අරගලයේ සංකේත බවට පත් විය.
නමුත් අද, බලයේ සිටින එම දේශපාලන ව්‍යාපාරයම, නිදහස් අධ්‍යාපනය පසුපසට තබා ඇති අතර, රනිල් වික්‍රමසිංහ උත්සාහ කළ ප්‍රතිසංස්කරණ වලට වඩා පාරාන්ධ හා ප්රතිගාමී ප්‍රතිසංස්කරණ පැකේජයක් ඉදිරිපත් කර තිබේ.
ඉතිහාසය එවැනි උත්ප්රාසයන්ගෙන් පිරී ඇත. විප්ලවය එහි මූලධර්ම ගිල දමමින් තිබේ. ජෝර්ජ් ඕවල් (George Orwell) පවසන පරිදි, “මිනිසුන් විනාශ කිරීමට වඩාත්ම ඵලදායී ක්‍රමය වන්නේ ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳ ඔවුන්ගේම අවබෝධය ප්‍රතික්ෂේප කිරීම සහ මකා දැමීමයි.”
නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුක සභාග රජය, දැන් ඔවුන්ගේ දේශපාලන පැවැත්මට සිය දේශපාලන ව්‍යාපාරයම පාවා දුන් බවට චෝදනා එල්ල වෙමින් තිබේ.
“නිදහස් අධ්‍යාපනය” නොව, අධ්‍යාපනයෙන් නිදහස් වීමේ කොන්දේසි සපුරමින් සිටින ආණ්ඩුවක්.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සාධනීය යැයි පවසන ආණ්ඩුවේ නියෝජිතයින්ට විවෘත්ත ආරාධනාවක් කරමි. ඔබ, දිනෙක අපේ රටේ පාසලකට ඇවිත් පන්ති කාමරයකට ගොඩවෙන්න. එවිට ඔබට එහි පවතින පරස්පරතාව සියැසින් දැකීමට හැකිවෙනු ඇත. “මෙය ඔබේ දරුවාගේ පාසලයි” “එය සුරැකීම ඔබේ යුතුකමයි” එසේත් නැතිනම් “සැමට නිදහස් අධ්‍යාපනය” ආදී වශයෙන් ආකර්ශනීය ලේබල් එහි දක්නට ඇත. එහෙත් පාසල් භූමියෙන් පිටත ඇති, බොහෝ දරුවන් ඒවා තුලින් යැපෙන, දිළිඳු පවුල් වල දෙමාපියනේගේ කටුක බව තැවරුණු මුදල් වලින් ගොඩනැගී, සමෘද්ධිමත් වුන උපකාරක පන්ති සහ පෞද්ගලික පන්තිවල ආර්ථිකයන් මතු පිටින් ඔබට නොපෙනේවි.
ඇමති සහෝදරවරුනි, ඔබ හේතු ගවේෂණය කරන්න, ඔබට විශ්මය ජනක හේතු හමුවේවි. තද බදයෙන් පිරිණු පන්ති කාමර, උපකරණ සහ ද්‍රව්‍ය, හිඟයෙන් පෙලෙන රසායනාගාර, නමට පමණක් සපයා ඇති පුස්තකාල සහ විවිධ මට්ටමින් පවත්වන විභාගවල නොනවතින පීඩනය, ඔබට දැක ගන්නට ලැබේවි. කිසියම් ආර්ථික හැකියාවක් සහ වත්කමක් ඇති දෙමාපියන් මේ තරඟයේ දී අමතර පුහුණු කිරීම් මිලදී ගනිති. එහෙත් එසේ කිරීමට නොහැකි දෙමාපියන් තරඟයෙන් ස්වාභාවිකවම ඉවත්ව යති.
මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ස්ථර දෙකක තරඟයක නියැලුණු සිසුන් දෙපිරිසක් නිර්මාණය වන යථාර්ථයකි. එනම් පාසල් පද්ධතිය නොමිලේ අධ්‍යාපනය නමින් විවෘතව පැවතියත්, ඉගෙනීම කාර්යක්ෂමව සිදුවන්නේ වාසිදායක පවුල්වලට දැරිය හැකි පෞද්ගලික අධ්‍යාපන අලෙවි ජාල හරහා ය. එහි ප්‍රතිවිපාක අසාධාරණ වනවා පමණක් නොව, එය සැමට සමාන අධ්‍යාපනය යන මුලික මිනිස් වුවමනාවද ඛාදනයටද ලක් කරයි. එකී හිඩැස් පිරවීම සඳහා අසරණ පවුල්වල ආර්ථිකය මත යැපෙන වෙනම දැවැන්ත ආර්ථිකයක් සහිත පද්ධතියක් නිර්මාණය වී ඇති අතර එතුලින් සැමට සුරක්ෂිත නිදහස් අධ්‍යාපනයක් තිබේය යන මහජන විශ්වාසය ක්‍රමයෙන් බොඳව යමින් පවතී.
එය සමානාත්මතාවය අගයන දේශපාලන දැක්මකින් හෙබි ඔබ වැනි ව්‍යාපාරයක දෘෂ්ටිවාදී හෘද සාක්ෂියේ තියුණු දෙදරා යාමක් ඇති කරන ප්‍රශ්නයක් නොවන්නේද?.
අන්ධකාර ප්‍රතිසංස්කරණ වලින් අඳුරු වන අනාගතය.
අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ යෝජිත ප්‍රතිසංස්කරණ ඉතාමත් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් නිවැරදි ක්‍රමවේදයක් බව ආණ්ඩුව පවසයි. එහෙත් එයට අදාළ සංවාදයෙන් ගුරුවරුන්, ශාස්ත්රඥයින්, දෙමාපියන්, සිසුන් සහ සිවිල් සමාජය විතැන් කර ඇත. ඒ වගේම එහි තිබිය යුතු ධවල පත්‍රිකා, කමිටු වාර්තා, නියමු ව්‍යාපෘති සහ, අනෙකුත් සංශෝධනයන් වෙනුවෙන් අවැසි ප්‍රමාණවත් කාලයක් නැත. එළඹෙන ජනවාරි මාසයේ සිට එකී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස පාසල් බලධාරීන්ට ආණ්ඩුව චක්‍ර ලේකන සපයමින් උපදෙස් දී ඇත.
මෙලෙස ආණ්ඩුව පවතින පච්ඡාත් කුනාටු ආපදා තත්වය හමුවේ පවා, ඉතාමත් සීරුමාරුවට ප්‍රවේශමෙන්, සහ රහසිගතව විධිමත් මහජන සහභාගිත්වයකින් තොරව සිදු කරන ප්‍රතිසංස්කරණ හේතුවෙන් අවිනිශ්චිතතාවයක් සහ විශාල ප්‍රතිරෝධයක් ඇති වීමට නියමිතය. ගුරු වෘත්තීය සමිති දැනටමත් අනතුරු අඟවා සිටින්නේ මෙම ක්‍රියාවලියට එරෙහිව ජනවාරි මාසයේ සිට දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ අනුව, ගුරුවරුන්ට මෙම ප්‍රතිසංස්කරණ මඟ හැරුණු බවක් දැනේ. විශ්ව විද්‍යාල ශ්‍රාස්ත්‍රිය අවකාශය පසෙකට වී ඇති බවක් දැනේ. සදාචාරාත්මක අධිකාරිය උසුලන ආගමික සහ ප්‍රජා නායකයින් අනතුරු ඇඟවීම් මතු කරයි. මෙහි ප්‍රතිඵලය වන්නේ යෝජිත වෙනස ජාතික සංවාදයකට වඩා ක්‍රියාකාරීන් අතලොස්සක් විසින් මෙහෙයවනු ලබන කුමන්ත්‍රණයක් බවට වූ හැඟීමක් ඇති කිරීමයි.
මේ සමස්තය තුල පෙනී යන්නේ, විවෘතභාවය ඉල්ලා සිටි රැඩිකල් ව්‍යාපාරයක්, දැන් පාරාන්ධතාවයේ ගිලි ඇති බවට විශාල සැකයක් සමාජයේ මතුවෙමින් පවතින බවයි.
ලක්ෂ 46 ක ලාංකීය සිසු පරපුර අවදානමට ලක් නොකරනු!.
ශ්‍රී ලංකාව පුරා පාසල් පද්ධතිය තුල අකුරු කරන සිසු පරපුර හුදෙක් සංඛ්‍යාලේඛනයක් පමණක් නොවේ. ඔවුන්ට සිය ගෙදර දොර වැඩ සඳහා ගත කිරීමට දහවලක් තිබිය යුතුය. කෙළිලොල් ළමා විය අත්විඳීමට, බාහිර පරිසරය, එහි වෙසෙන සමනලුන්, පක්ෂීන් සමග එකට ගැවසී උනුන් කියවා ඉගෙනීමට අවකාශයක් තිබිය යුතුය.
අධ්‍යාපන ප්‍රතිපත්ති තුල ප්‍රයෝජනවත් වන, ඔවුන්ගේ විකල්ප කුසලතා වෙනුවෙන් ඉඩක් තිබිය යුතුය. ඔවුන්ගේ ගෞරවය නොවෙනස්ව පවතින නිදහස්කාමී පරිසරයක් තුල එනම් පාවුලෝ ෆ්රෙයාර් (Paulo Freire) පැවසු පරිදි “අධ්‍යාපනය යනු නිදහසයි, නැතහොත් එහි කිසිවක් නොවේ,” ඔවුනට ඉගෙන ගැනීමට නිදහස ලබාදිය යුතුය.
රජය අධ්‍යාපනය කෙරෙහි දක්වන අඩු සැලකිල්ල විසින් ඇති හැකි අය “A” සාමාර්ථ මිලදී ගන්නා පසුබිමක සමාජ, ආර්ථික බෙදීම් තවදුරටත් ගැඹුරු වේ.
ප්‍රමාණවත් සම්පත් නොමැතිකම සහ අවිනිශ්චිත වෘත්තීය සංවර්ධනයක් සමඟ පොරබදන ගුරුවරුන් අධෛර්යමත් වේ.
මේ තුල කුසලතා පරතරයන් පුළුල් වන විට රටේ සංවර්ධනය සඳහා දරුණු කුසලතා හිඟයක් ඇති වනවා පමණක් නොව ඒ සඳහා දිගුකාලීන අර්බුදයක් ගොඩනැගේ.
සමානාත්මතාවයකින් සවිමත් විය යුතු අධ්‍යාපන ක්‍රියාවලියක් කෙරෙහි වූ විශ්වසනීයත්වය අහිමිවී ගිය විට, සමාජ ඒකාබද්ධතාවය දුර්වල වේ.
එසේ නම් ශ්‍රී ලංකාව මෙම අවිධිමත් ගමන් මග තෝරා ගත යුතුද?.
අපේ රටේ මානව සම්පත ඇති විශිෂ්ඨ තලයක පවතී. ළමුන් ගැන නොපිරිහෙලා සැලකිලිමත් වන ගුරුවරුන්, ඉගෙනීම සහ උගත්කම අගය කරන ප්‍රජාවන්, සහ අතීතයේ දී කැපී පෙනෙන අධ්‍යාපනික ජයග්‍රහණ ලබා දී ඇති සිවිල් පරිකල්පනයක් අපට තිබේ. අපට අවශ්‍ය වන්නේ වඩාත් නිරවද්‍ය සහ කැපවීම සමඟ මෙම වත්කම්වලට ගැලපෙන ජාතික වටිනාකම්වලින් පොහොසත් සාධනීය සහ අද යුගයට ගලපා ගත් කාලීන අධ්‍යාපන පරිවර්තනයකි.
සැබෑ වෙනසක් වෙනුවෙන් නිර්මාණශීලි ඉදිරි මාවතක් ඕනෑකර තිබේ .
1965 දී ඝාතනයට ලක්වූ ප්‍රභල සිවිල් ක්‍රියාකාරිකයෙක් වූ මැල්කම් එක්ස් (Malcolm X) අවධාරණය කරන පරිදි,”අධ්‍යාපනය යනු අනාගතයට යන ගමන් බලපත්‍රයයි, මන්ද හෙට දවස අයිති වන්නේ අද ඒ සඳහා සූදානම් වන අයටයි.”
මෙය අප රට කරවන අයගේ කෝපය සඳහා හේතුවන ප්‍රකාශයක් නොකර ගනු ඇතැයි සිතමි. එය අධ්‍යාපනයේ සාර්ථකත්වය අවධාරනය කිරීම සඳහා වන ඉල්ලීමකි. එසේත් නොමැතිනම් අධ්‍යාපනයේ පොදු යහපත වෙනුවෙන් කරනු ලබන සිවිල් අවධාරනයකි.
විකල්ප නොමැතිව විවේචනය කිරීම ඉතා පහසුය. එබැවින් පහත පියවරයන් කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වෙනු ඇතැයි සිතමු. ඒවා ගලෙහි කැටයම් කළ බෙහෙත් වට්ටෝරුවක් නොව, විශ්වාසය සහ ප්‍රතිඵල යන දෙකම යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාර්ග සිතියමකි.
යෝජිත ප්‍රතිසංස්කරණ වලට අදාල සම්පූර්ණ විධිමත් ධවල පත්‍රිකාව සහ ඊට අදාළ මූල්‍ය සැලැස්ම ප්‍රකාශයට පත් කරන්න. එහි කතුවරුන්, සාක්ෂි සහ ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව හෙළි කරන්න. මහජනතාවට එම සිතියම දැකීමට සහ විමසීමට ඉඩ දෙන්න.
අරමුදල් වෙන්කිරීමේදී බලයට ඒමට පෙර පොරොන්දු වූ විශ්වසනීයත්වය තහවුරු කිරීමට නැවත කැප වන්න. 6% ක ඉලක්ක සහගත අභිලාෂය කරා යන අරමුදල් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විනිවිද පෙනෙන සැලැස්මක් සකසන්න. නැතහොත් පැහැදිලි දත්ත සහිත සාධාරණ විකල්පයක් ප්‍රකාශ කරන්න. වෙන් කරන ලද අරමුදල් භාවිතයට නොගෙන සිටීමට ඉඩ නොදෙන්න. පසුගිය වර්ෂයේ වියදම් අවප්‍රමාණය ගැන විධිමත් විගණනය කර ඉලක්ක වෙත ලඟා වීමට තිබු බාධක නිවැරදි කරන්න.
ගුරු සහායට ප්‍රමුඛත්වය දෙන්න. පූර්ව ගුරු සේවා පුහුණුව, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සහ සාධාරණ සුභ සාධන, සේවා කොන්දේසි, සඳහා ආයෝජනය කරන්න. අධ්‍යාපනයේදී ගුරුවරුන් යනු ගුණාත්මකභාවයේ විශාලතම සාධකය බව තහවුරු කරන්න.
නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් ප්‍රදේශයක හෝ දිස්ත්‍රික්කයක ප්‍රතිසංස්කරණ පරීක්ෂා කිරීම, ප්‍රතිඵල මැනීම, වෙනුවෙන් වෝහාරික සුපරික්ෂණයක් සිදු කරන්න. එමෙන්ම අදාල තොරතුරු සහ සාක්ෂි ලබා ගැනීමට පෙර රටපුරා ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න.
උපකාරක පන්ති මත යැපීම මැඩපැවැත්වීමට රාජ්‍ය පාසල් පද්ධතිය තුල, පාසලෙන් පසු ක්‍රියාත්මක කල හැකි වැඩසටහන් නිර්මාණය කරන්න. ආවරණ සහ ප්‍රතිකර්ම ඉගැන්වීම් ක්‍රමවේදයක් ශක්තිමත් තුලින්, ඇතැම් අවාසි සහගත දුෂ්කර දිස්ත්‍රික්ක වෙත අවධානය යොමු කරන්න.
පක්ෂග්රාහී නොවන ස්වාධීන අධ්‍යාපන අධීක්ෂණ ආයතනයක් ස්ථාපිත කරන්න. ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම සඳහා ගුරුවරුන්, ශාස්ත්රඥයින්, දෙමාපියන් සහ ස්වාධීන විශේෂඥයින්ගෙන් සමන්විත කොමිසමක් වැනි ආකෘතියක් මේ සඳහා සුදුසු විය හැකිය.
මෙම පියවර සංකීර්ණ හෝ මිල අධික ඒවා නොවේ. එහෙත් ඒවාට දේශපාලන කැමැත්ත වැය වේ. මෙවැනි සුළු විනිවිදභාවයක් සහ ස්ථාවර අරමුදල් සැපයීමක් විසින් ඕනෑම සටන් පාඨයකට වඩා මහජන විශ්වාසය සඳහා වැඩි යමක් අත්පත් කරගත හැකිය.
ජාතියේ අනාගතය වෙනුවෙන් සිදුකරන ප්රගතිශීලි අවධාරනයක්.
නෙල්සන් මැන්ඩෙලා අවධාරනය කල පරිදිම අධ්‍යාපනය පරිවර්තනය සඳහා ආයුධයක් බවට විය යුතුය.
අධ්‍යාපනය පිළිබඳ සත්‍යය සරල මෙන්ම ගැඹුරු ය. එයට කාලය, සැලකිල්ල සහ විශ්වාසවන්තභාවය අවශ්‍ය වේ. එහෙත් කිසිවෙකුට විශ්වාසය වේගවත් කළ නොහැකි අතර, ඉලක්කම්ද සැබෑ ඉගෙනීමක් බවට පත් කළ නොහැක. අපට ජාතියක් හැටියට කුතුහලයෙන්, හැකියාවන්ගෙන් සපිරි දයානුකම්පිත පරම්පරාවක් අවශ්‍ය නම්, අපගේ ප්‍රතිපත්ති තුලින් එම ඉවසිලිවන්ත අභිලාෂය පිළිබිඹු කළ යුතුය.
ශ්‍රී ලංකාවේ හතලිස් හය ලක්ෂයක් වූ සිසු දරුවන්ට පවර්පොයින්ට් සහ හුදකලා ප්රකාශනවලට වඩා වැඩි බරක් සහිත අධ්‍යාපන පරිවර්තනයක් හිමි විය යුතුය. ඒ සඳහා සෑම පුරවැසියෙකුටම කියවා බැලිය හැකි විධිමත්ව ලියා සකස්කළ ඇති සැලැස්මක්, සාධාරණ හා භාවිතා කළ හැකි මුල්‍ය ප්‍රතිපාදන, ගෞරවයට පාත්‍ර වූ සහ සම්පත් අතින් පොහොසත් ගුරුවරුන්, සහ විවෘත, තර්කානුකූල සහ කාරුණිකව දැඩි වූ පොදු සංවාදයක් ඔවුන්ට ලැබිය යුතුයි.
අධ්‍යාපනයේ ඉදිරි මාවත හුදු තනි පුද්ගල හෝ සැඟවුණු කීපදෙනෙකුගේ රංගනයක් විය යුතු නැත. එය ස්ථාවර, අවංක සහ මානුෂීය එකක් විය යුතුය. එවැනි පරිවර්තනයක් වඩාත් ප්රගතිශීලි මෙන්ම ප්‍රායෝගික වන අතර එය ඉතාමත් සදාචාරාත්මක මාර්ගයද වේ.

සටහන: විජේපාල දිසානායක
භාණ්ඩාගාරික
ආසියානු භූ දේශපාලන තිරසතාවය, සහ සාමය සඳහා වූ කවුන්සිලය
Asian Geopolitical Sustainability & Peace Council. (AGSPeC)
Email: [email protected]



