දරුවන්ගේ ජීවිත ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් Lyceum ජාත්‍යන්තර පාසල් ජාලය තුළ වාර්තා වූ බරපතළ සිදුවීම් පෙළක් පිළිබඳව ‘හරි දේශය’ සිදුකළ ගවේෂණාත්මක හෙළිදරව්ව වහාම ඉවත් කර ගන්නා ලෙස පාසල් පාලනාධිකාරිය විසින් එවන ලද නීතිමය නිවේදනයට (Legal Notice) ‘හරි දේශය’ කර්තෘ මණ්ඩලය විසින් සිය දැඩි හා නිල ප්‍රතිචාරය යොමු කර තිබේ. කිසිදු නීතිමය තර්ජනයකට හෝ බලපෑමකට යටත් නොවී අදාළ ලිපිය තවදුරටත් පවත්වාගෙන යන බවත්, පාසල් පාලනාධිකාරිය නීතිමය ක්‍රියාමාර්ගයකට පිවිසෙන්නේ නම් අධිකරණය හමුවේ කරුණු සහ සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් බවත් අපි නිල වශයෙන් දන්වා සිටියෙමු.
අපගේ පළමු පුවත පළවීමත් සමඟ, Lyceum සමූහයේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු (Non-Executive Director) මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා ‘හරි දේශය’ කර්තෘවරයා හමුවී පුවත ඉවත් කර ගන්නා ලෙස ඉල්ලීමක් කළේය. “ළමුන් දහසක් පමණ සිටින පාසලක එක් ළමයෙකුට මෙවැනි සිදුවීමක් සිදුවීම සාමාන්‍ය දෙයක්” බව ඔහු එහිදී ප්‍රකාශ කළද, දරුවන්ගේ ජීවිත පිළිබඳ ඛේදවාචකයක් එලෙස ලඝු කිරීම ‘හරි දේශය’ තරයේ ප්‍රතික්ෂේප කළේය. ඉන් අනතුරුව, 2026 නොවැම්බර් 19 වන දින Lyceum International School (Private) Limited වෙනුවෙන් නීතිඥ සලිත පෙරේරා මහතා විසින් 2024 අංක 9 දරන මාර්ගගත ආරක්ෂණ පනතේ (Online Safety Act) 12 වන වගන්තිය සහ පාසලේ නිල ලාංඡනය භාවිත කිරීම පිළිබඳව කරුණු දක්වමින් පුවත ඉවත් කරන ලෙසට විධිමත් නීතිමය නිවේදනයක් යොමු කර තිබුණි.
එමෙන්ම, පාසල තුළ පාසල් පරිපාලනය විසින් දරුවන්ට එවැනි සිදුවීම් සිදු නොකළ බැවින් ඒවාට පාසල වගකිව යුතු නැති බවට නීතිඥ සලිත පෙරේරා මහතා දුරකථන සංවාදවලදී තර්ක කළේය. එහෙත්, දෙමාපියන් සිය දරුවන් පාසලකට භාර දෙන්නේ පාසල් කාලය තුළ ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම පාසල් පරිපාලනය සතු වන පදනම මත බැවින්, පාසල් භූමිය තුළ සිදුවන බරපතළ අපරාධ හෝ අනතුරුවල වගකීමෙන් පරිපාලනයට ගැලවිය හැකිද යන්න බරපතළ ප්‍රශ්නාර්ථයකි.
නීතිඥ සලිත පෙරේරා මහතාගේ නීතිමය නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ‘හරි දේශය’ ප්‍රධාන කර්තෘ මුවාස් මොහොමඩ් විසින් යොමු කරන ලද නිල විද්‍යුත් තැපැල් පණිවිඩය මඟින් පෙන්වා දී ඇත්තේ, දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය පිළිබඳව තොරතුරු දැනගැනීමට මහජනතාවට ඇති මූලික අයිතිය සහ මාධ්‍ය නිදහස පාවා දෙමින් මෙම පුවත ඉවත් කිරීමට කිසිසේත්ම නොහැකි බවයි. විශේෂයෙන්ම, ‘හරි දේශය’ පළ කළ පළමු පුවතෙන් පසුව, මෙම පාසල් ජාලය තුළ සිදුවූ තවත් බොහෝ අඳුරු පැතිකඩයන් සහ බරපතළ සිදුවීම් පිළිබඳ තොරතුරු සහ සාක්ෂි විශාල පිරිසක් විසින් අප වෙත ලබා දී ඇති බව එම පිළිතුරු ලිපිය මඟින් අවධාරණය කර තිබේ. විමර්ශන අංශ විසින් නිසි පරිදි ක්‍රියාත්මක නොකළ සිදුවීම් මෙන්ම, ආයතනික බලපෑම් සහ පාසල් පරිපාලනයේ සහය නොලැබීම හේතුවෙන් යටපත් වී අසාධාරණයට ලක්වූ පාර්ශ්වයන් පිළිබඳ තොරතුරු ද ඒ අතර වන බව අපි නීතිඥවරයා වෙත දන්වා සිටියෙමු.
දරුවන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් අනාවරණය වී ඇති මෙම තොරතුරුවල බරපතළකම සැලකිල්ලට ගනිමින්, කිසිදු අවස්ථාවක පුවත ඉවත් නොකරන බවත්, පාසල් පාලනාධිකාරිය නීතිමය ක්‍රියාමාර්ගයකට යොමු වන්නේ නම් අප සතු කරුණු සහ අප වෙත ලැබී ඇති සාක්ෂි අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් අපගේ මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවත් ‘හරි දේශය’ සිය නිල පිළිතුරෙන් තහවුරු කර ඇත. මාධ්‍ය ආචාරධර්මවලට ගරු කරමින්, පාසල් අධ්යක්ෂ මණ්ඩලයට සිය නිල ස්ථාවරය පැහැදිලි කර ප්‍රකාශයක් ලබා දීමට තවදුරටත් ඉඩකඩ විවෘතව පවතින බවද අපි යළිත් අවධාරණය කරමු.



