පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට රැඳවුම් භාරයේදී සිදු වූ බව කියන වධහිංසා සහ ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ නව විශේෂඥ මණ්ඩල වාර්තාව, රැඳවුම් මධ්‍යස්ථානවල විනිවිදභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්න කිහිපයක් මතු කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට (නඩු අංක 35882/24) ඉදිරිපත් කර තිබේ. 2026 නොවැම්බර් 20 වැනි දින අධිකරණ මුද්‍රාව සහිතව ගොනු කර ඇති මෙම වාර්තාව මගින්, මීට පෙර පත් කළ විශේෂඥ කමිටුවක් විසින් “බරපතළ හිංසනයක් සිදුව ඇති බවට” ඉදිරිපත් කර තිබූ නිගමන සම්බන්ධයෙන් නව විද්‍යාත්මක සහ නෛතික සීමාවන් සලකුණු කර ඇත.

විශේෂඥ මණ්ඩලය සිය වාර්තාව මගින් අනාවරණය කරන වැදගත්ම කරුණ වන්නේ, සිද්ධිය පිළිබඳ පූර්ණ තක්සේරුවක් කිරීමට අවශ්‍ය මූලික සාක්ෂි තමන් හමුවේ නොතිබූ බවයි. ඒ අනුව, සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ සහ සෙසු රැඳවියන්ගේ ප්‍රකාශ, අදාළ කාලසීමාවේ සීසීටීවී (CCTV) දර්ශන සහ රැඳවුම් භාරයට අදාළ මෙහෙයුම් වාර්තා (Operational Records) මණ්ඩලය හමුවේ නොතිබීම සිය තක්සේරුව තවදුරටත් සීමා කළ බව වාර්තාව පැහැදිලිව සඳහන් කරයි.
පෙර කමිටුව ඉදිරිපත් කළ කරුණු හා සැසඳීමේදී නව මණ්ඩලය ඉස්තාන්බුල් ප්‍රොටෝකෝලය (Istanbul Protocol) පදනම් කර ගනිමින් වඩාත් සූක්ෂ්ම විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, වසර 38ක යුද හමුදා සේවයකින් පසු 2026 පෙබරවාරි 25 වැනිදා අත්අඩංගුවට ගැනුණු සුරේෂ් සලේ මහතාට පශ්චාත් ව්‍යසන ක්ලමථ ආබාධය (PTSD) හෝ දරුණු විෂාදයක් (Severe Depression) නොමැති බව තහවුරු කරන මණ්ඩලය, ඔහු තුළ පවතින්නේ අත්අඩංගුවට ගැනීම සහ නෛතික ක්‍රියාවලිය හේතුවෙන් ඇති වූ ‘අනුගත වීමේ ආබාධයක්’ (Adjustment Disorder) සහ සුළු කාංසා ලක්ෂණ පමණක් බව පෙන්වා දෙයි.
ඔහුගේ මානසික පීඩනයට චෝදනා එල්ල වන ශරීර පරීක්ෂාව සහ රැඳවුම් තත්ත්වයන් ලැජ්ජාව හා කෝපය හරහා දායක වී ඇති බව මණ්ඩලය පිළිගත්තද, ඊට වඩා ප්රබලව බලපා ඇත්තේ පවතින අපරාධ විමර්ශනය පිළිබඳ අවිනිශ්චිතතාව, කීර්තිනාමය සහ පවුල පිළිබඳ කනස්සල්ල බව වාර්තාවේ දැක්වේ. එමෙන්ම, 2026 ජූනි 7 වැනිදා රෝහල්ගත කිරීමට තුඩු දුන් ඔහුගේ උපවාසය සියදිවි නසා ගැනීමේ අරමුණකින් කළ එකක් නොව, සැලකිය යුතු විරෝධතා අරමුණකින් කළ එකක් බවට ද මණ්ඩලය නිගමනය කර ඇත. මීට අමතරව, චෝදනා එල්ල වන බලහත්කාරයෙන් නිරුවත් කිරීමේ සිදුවීම (1289 වගන්තිය) සම්බන්ධයෙන් අදහස් දක්වන මණ්ඩලය, ඔහුගේ කලිසම පහතට දැමූ බවට පවතින තොරතුරුවලින් පිටුබලය ලැබුණද, ශරීරය නිරාවරණය වූ ප්‍රමාණය සහ එම ක්‍රියාවලියේ සැබෑ අරමුණ තවමත් අවිනිශ්චිතව පවතින බව අවධාරණය කරයි.
මනෝ වෛද්‍ය සාක්ෂි මත පමණක් පදනම්ව යම් සිදුවීමක් “වධහිංසාවක්” හෝ කෲර, අමානුෂික, අවමන් සහගත සැලකීමක් ද යන්න තීරණය කළ නොහැකි බව අවධාරණය කරන මණ්ඩලය, 1290 වැනි වගන්තිය මගින් ඒ පිළිබඳ අවසන් කරුණුමය සහ නෛතික තීන්දුව ගරු අධිකරණය වෙත පවරා තිබේ. එමෙන්ම, සුරේෂ් සලේ මහතාට අඛණ්ඩ මනෝ වෛද්‍ය පසු විපරම් ලබා දිය යුතු බවත්, ඔහුගේ HOCM හෘද රෝග තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඕනෑම ඖෂධීය ප්‍රතිකාරයක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සම්බන්ධීකරණයෙන් සිදු කළ යුතු බවත් මණ්ඩලය නිර්දේශ කර ඇත. වාර්තාවේ අවසාන නිර්දේශය (1294 වගන්තිය) මගින්, රැඳවුම් තත්ත්වයන් සහ ආක්‍රමණශීලී ශරීර පරීක්ෂාව පිළිබඳ සත්‍යය තහවුරු කර ගැනීමට වෙනම ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම යෝග්‍ය බව නිර්දේශ කර තිබීම මෙම සිදුවීමේ ගවේෂණාත්මක වැදගත්කම තවදුරටත් තීව්ර කරයි.
මෙම වාර්තාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති නිල ලේඛනයක කරුණු පදනම් කරගනිමින් මහජන දැනුවත්භාවය උදෙසා සකස් කරන ලද්දකි. මෙම කරුණු මේ වන විට අධිකරණ ක්‍රියාවලියකට යටත්ව පවතින බැවින් සියලු කරුණුමය හා නෛතික තීරණ ගරු අධිකරණය සතු වන අතර, මෙහි සඳහන් ඕනෑම පාර්ශ්වයකට සිය පිළිතුරු දීමේ අයිතිය (Right of Reply) ඒ ආකාරයෙන්ම හිමි වේ.



