Latest Posts

1971 සිට වර්තමාන රාජ්‍ය කොන්ත්‍රාත් අධිරාජ්‍යය දක්වා – විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නාර්ථයක්!

පසුගියදා හිටපු අමාත්‍ය චම්පික රණවක යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක් පිළිබඳව බරපතළ දේශපාලන ඉඟියක් පළ කළේය. ඔහුගේ ප්‍රකාශයෙන් ගම්‍ය වූයේ අදාළ සමාගම සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින සබඳතාව 1971 කැරැල්ල දක්වා ඈතට දිවයන බවයි. සමාගමේ නම සෘජුව ප්‍රකාශ නොකළද, ඒ හරහා ඉඟි කළේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තම සමාගම වන මාගා ඉංජිනියරින් පිළිබඳව බව රහසක් නොවේ. මෑතකදී ජවිපෙ පළමු පෙළ නායකයෙකු වූ ලයනල් බෝපගේ කළ ප්‍රකාශයකින්ද මෙම කතාව තවදුරටත් තහවුරු වන ස්වභාවයක් පෙනෙන්නට තිබේ.

මාගා නිර්මාතෘ කැප්ටන් එම්. ජී. කුලරත්න 1968 වසරේදී කැප්ටන් තනතුරට පත්වූ අතර, 1971 කැරැල්ල සමයේ ඔහු රාජ්‍ය හමුදාවක සේවය කරමින් සිටියද රහසිගතව රාජ්‍ය විරෝධී ජවිපෙ සන්නද්ධ අරගලයට සහාය දුන් බවට කතාවක් ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් තිස්සේ පැතිර පවතී. 1970 දශකයේ මැද භාගයේදී ජපන් සමාගම් කිහිපයකින් ලැබූ අත්දැකීම් මත 1983 වසරේදී ඔහු මාගා සමාගම ආරම්භ කළේය. සමාගමේ ආරම්භය 1983 දී සිදුවුවද, 1971 දී පැවති බව කියන පුද්ගලික හෝ දේශපාලන සබඳතාව සහ පසුව ගොඩනැඟුණු මහා පරිමාණ ව්‍යාපාරය අතර සබඳතාව අඛණ්ඩව වර්ධනය වූ බව ජවිපෙ සමීපතමයන්ට නොරහසකි. එදා හමුදා සේවයේ සිටි පුද්ගලයා අද වන විට මෙරට මහා පරිමාණ රාජ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක ප්‍රධානතම කොන්ත්‍රාත්කරුවා බවට පත්ව සිටීම දේශපාලනික හා ආර්ථික වශයෙන් ගැඹුරින් විමර්ශනය කළ යුත්තකි.

2025–2026: රාජ්‍ය කොන්ත්‍රාත් අධිරාජ්‍යය

තනි සමාගමක් ලෙස රජයේ මහා පරිමාණ කොන්ත්‍රාත් වැඩිම ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති මාගා සමාගමේ වර්තමාන ආර්ථික පරිමාණය වඩාත් පැහැදිලි වන්නේ 2025 සහ 2026 වසරවලදී ඔවුනට ලැබී ඇති රාජ්‍ය ව්‍යාපෘති දෙස බැලීමේදීය.

2025 වසරේදී සමාගමට හිමිවූ ප්‍රධාන ව්‍යාපෘති අතර රු. බිලියන 1.2ක් වටිනා දක්ෂිණ අධිවේගී මාර්ගයේ (කොට්ටාව–දොඩංගොඩ) අලුත්වැඩියාව, රු. බිලියන 1.53ක් වටිනා මහනුවර දුම්රිය දෙපාර්තමේන්තුවේ මහල් හතක ගොඩනැගිල්ල, රු. මිලියන 650.9ක් වටිනා කොළඹ වරායේ JCT-V අංගනයේ පදිකරණ කටයුතු සහ රු. මිලියන 696.75ක් වටිනා විලියම් ගොපල්ලව මාවත පුළුල් කිරීම ප්‍රමුඛ වේ. මීට අමතරව මධ්‍යම අධිවේගී මාර්ගයේ (පොතුහැර–ගලගෙදර) තුන්වන අදියරේ පැකේජයක්ද 2025 අගෝස්තු මාසයේදී අනුමත විය. (ඊට පෙර සිටම ඔවුන් නියැලී සිටි රු. බිලියන 22කට ආසන්න මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා නව රජය බලයට පත්වීමෙන් පසු වෙනස් කර සමාගමට හිතවාදී නිලධාරියෙකු පත් කරගත් බවද ක්ෂේත්‍රයේ පවතින චෝදනාවකි).

2026 වසර වන විට මෙම කොන්ත්‍රාත් පරිමාණය දැවැන්ත ව්‍යාප්තියක් පෙන්නුම් කරයි

  • මධ්‍යම අධිවේගී මාර්ගය (රඹුක්කන–ගලගෙදර): පැකේජ 2A සහ 2G සඳහා රු. බිලියන 34ක කොන්ත්‍රාත්තුවක්.
  • සෙත්සිරිපාය තුන්වන අදියර: ඉතිරි වැඩ අවසන් කිරීම සඳහා රු. බිලියන 25.58ක සංශෝධිත ගිවිසුමක්.
  • වරකාපොළ අතුරු මාර්ගය: රු. බිලියන 4.99ක කොන්ත්‍රාත්තුවක්.
  • බණ්ඩාරනායක ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තය: රු. බිලියන 3.77ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 7.26ක්.
  • බේස්ලයින් මාර්ගය පුළුල් කිරීම (තුන්වන අදියර): රු. බිලියන 2.89ක්.
  • අනුරාධපුර උතුරු ජල සැපයුම් ව්‍යාපෘතිය (දෙවන අදියර): රු. මිලියන 2,660.70ක් සහ ජපන් යෙන් මිලියන 628.10ක්.
  • කොළඹ කොටුව දුම්රිය ස්ථානය වැඩිදියුණු කිරීම: රු. මිලියන 2,162.64ක්.

2026 වසරේ ව්‍යාපෘති අටක පමණක් රුපියල්වලින් ප්‍රකාශිත කොන්ත්‍රාත් සහ සංශෝධිත ගිවිසුම් වටිනාකම්වල එකතුව රු. බිලියන 76.05කට ආසන්නය. මෙයට පෙර කළ වැඩවල ගෙවීම්ද ඇතුළත් වුවත්, සමස්ත රාජ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය තුළ සමාගමේ ඒකාධිකාරය මින් පැහැදිලි වේ.

කොන්ත්‍රාත් මුදලට ඔබ්බෙන් ඇති “අමතර ආර්ථිකය”

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්තුවක් ලබාගැනීම යනු එහි සඳහන් මුලික මුදලට පමණක් වැඩ අවසන් කිරීම නොවේ. ඉතා අඩු ලංසු ඉදිරිපත් කරමින් කොන්ත්‍රාත් ලබාගෙන, පසුව බලය සහ හිතවත්කම් භාවිත කරමින් විචල්‍ය වැඩ අයිතම (Variation Orders), කාලය දීර්ඝ කිරීම් (EOT) සහ විවිධ හිමිකම් (Claims) හරහා මුල් කොන්ත්‍රාත් මුදලට වඩා අතිවිශාල මුදලක් උපක්‍රමිකව ලබාගැනීම ප්‍රකට ක්‍රමවේදයකි. සෙත්සිරිපාය තුන්වන අදියර ව්‍යාපෘතියේ මුල් ඇස්තමේන්තුගත වියදම රු. බිලියන 16.7ක් වුවද, පසුව සම්පූර්ණ වියදම රු. බිලියන 38.48ක් දක්වා සංශෝධනය වීම මීට කදිම නිදසුනකි.

එකල කැප්ටන් කුලරත්න රාජ්‍ය ආරක්ෂක අංශයක සේවය කරමින් රජයට එරෙහි කැරැල්ලකට සහාය දුන්නා සේ, අද රජයේ ඉහළ නිලධාරීන් මහජන මුදල් වියදම් කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවලදී මාගා ආයතනයට අසාධාරණ වාසි ලබාදෙන යාන්ත්‍රණයක් නිර්මාණය වී ඇත්දැයි බරපතළ සැකයක් මතුවේ. මෙම තත්ත්වය පැහැදිලි කරගැනීමට පහත කරුණු විගණනයට ලක්විය යුතුය:-

  • මුල් කොන්ත්‍රාත් වටිනාකම සහ අවසාන ගෙවීම් අතර වෙනස කොපමණද?
  • Variation Orders ලබාදී ඇත්තේ කුමන නිශ්චිත හේතු මතද? ඒ සඳහා අමතරව කොපමණ මුදලක් ගෙවා තිබේද?
  • ව්‍යාපෘති අවසන් කිරීමේ කාලය (EOT) කොපමණ වාරයක් දීර්ඝ කර තිබේද? ප්‍රමාදයන් හේතුවෙන් රජයට දැරීමට සිදුවූ අමතර වියදම කෙතරම්ද?
  • මුල් සැලසුම්වල දෝෂ තිබුණේ නම් ඒ සඳහා වගකිව යුතු පාර්ශ්ව කවුරුන්ද?

ජාතික ජන බලවේග ආණ්ඩුව සහ වගවීම

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණියේ දූෂණයට, රාජ්‍ය සම්පත් අවභාවිතයට සහ දේශපාලන හිතවත්කම් මත රාජ්‍ය පාලනය සිදුකිරීමට එරෙහිව ප්‍රබල සමාජ සම්මුතියක් ගොඩනඟමිනි. එවැනි පාලනයක් යටතේ කොන්ත්‍රාත් ලබාදීමේ ක්‍රියාවලියේ උපරිම විනිවිදභාවයක් අපේක්ෂා කිරීම සාධාරණය. කොන්ත්‍රාත් ලබාදීමේදී ජාතික තරගකාරී ලංසු ක්‍රියාවලිය අනුගමනය කළද, සැබෑ ගැටලුව මතුවන්නේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමෙන් පසු සිදුවන අධීක්ෂණ ක්‍රියාවලිය තුළය.

අමතර ගෙවීම් අනුමත කිරීම්, කාලය දීර්ඝ කිරීමේ තීරණ සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේදී දේශපාලන මැදිහත්වීම් සිදුවන්නේද යන්න විමර්ශනය කළ යුතුව ඇත. ජාතික ජන බලවේගයේ වෘත්තික බලමුළුව වන NIO (National Intellectuals Organization) සමඟ මාගා ආයතනය යම් අදිසි සබඳතාවක් හෝ බලපෑම් සහගත ක්‍රියාවලියක් පවත්වන්නේදැයි සොයා බැලීමද ආණ්ඩුවේ වගකීමකි. රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය, අමාත්‍යාංශ, ප්‍රසම්පාදන කමිටු සහ ඉංජිනේරු ආයතන වෙත බලපෑම් කිරීමට තරම් විශාල කොන්ත්‍රාත්කරුවෙකුට ඇති හැකියාව කිසිසේත් නොසලකා හැරිය නොහැක.

1971 දේශපාලන සබඳතා පිළිබඳ කතාව ඉතිහාසයට අයත් වුවද, 2026 වසරේදී මහජන මුදලින් ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යාපෘති පිළිබඳ පැනනඟින ප්‍රශ්න වර්තමානයට අදාළය. රාජ්‍ය කොන්ත්‍රාත් යනු දේශපාලන හිතවත්කම් නඩත්තු කිරීමේ උපකරණයක් නොවිය යුතුය. දූෂණයට එරෙහිව බලයට පැමිණි ආණ්ඩුවක් යටතේ ක්‍රියාත්මක වන සෑම ව්‍යාපෘතියක්ම විනිවිදභාවයෙන් යුක්ත බව ඔප්පු කිරීමේ වගකීම ඔවුන් සතුය. මාගා සමාගම ලබාගත් කොන්ත්‍රාත් ප්‍රමාණයට වඩා, එම කොන්ත්‍රාත් හරහා වැයවන බිලියන ගණනක මහජන මුදලට සාධාරණ වටිනාකමක් ලැබෙන්නේද යන්න සහ ඒ වෙනුවෙන් වගවන්නේ කවුරුන්ද යන්න අද මතු වී ඇති ප්‍රමුඛතම අර්බුදයයි. මීට පිළිතුරු දිය යුත්තේ සමාගම හෝ දේශපාලනඥයන් පමණක් නොව, මේ රටේ මහජන මුදල් කළමනාකරණය කරන සමස්ත රාජ්‍ය පද්ධතියමය.

Source: slleader.lk

Latest Posts

spot_imgspot_img