Latest Posts

මාසයක් ගෙවී ගියත් වරාය නගරය නිහඬ ඇයි? DG රෙවාන්ගේ මඟහැරීම සහ රාධිකාගේ ‘ද්විත්ව කිරුළ’: හර්ෂ ද සිල්වාගේ මුදල් කාරක සභාවේ (COPF) ඊළඟ තීරණාත්මක පියවර කුමක්ද?

කොළඹ වරාය නගරය (Port City) යනු මෙරට සාමාන්‍ය නීතිය, මූල්‍ය විනය සහ රාජ්‍ය පරිපාලන මූලධර්ම කිසිවක් වලංගු නොවන ‘වෙනම බූදලයක්ද?’ එසේත් නැතිනම් ජාත්‍යන්තර ආයෝජන කලාපයක නාමයෙන් පෙනී සිටිමින් තමන්ගේම හිතවතුන්ට හිතුමනාපයේ වරප්‍රසාද සහ අසීමිත බලතල බෙදාදෙන පෞද්ගලික පාරාදීසයක්ද?

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (CPCEC) තුළ රාජ්‍ය බඳවාගැනීමේ පටිපාටි මෙන්ම යහපාලන සම්ප්‍රදායන් අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදුකර ඇති අත්තනෝමතික පත්වීම් මාලාව පිළිබඳව මේ වන විට දැඩි ආන්දෝලනයක් මතුව තිබේ. විශේෂයෙන්ම, කොමිසමේ අතිශය තීරණාත්මක තනතුරක් වන ‘වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ’ (Director – Commercial & Operations) ධුරයට රධිකා ඔබේසේකර නමැත්තිය පත්කිරීම සහ ඇය යටතටම නීති අංශයේ අධීක්ෂණ බලතලද කේන්ද්‍රගත වීම හරහා බරපතළ විෂමාචාරයක් මෙන්ම දැවැන්ත අවශ්‍යතා ගැටුමක් (Conflict of Interest) නිර්මාණය වී ඇති බවට ක්ෂේත්‍රයේ දැඩි විවේචන එල්ල වේ.

මෙම අර්බුදය හමුවේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම පරිපාලනයේ ඉහළම වගකිවයුත්තා වන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් (Director General) රෙවාන් වික්‍රමසූරිය (Revan Wickramasuriya) අනුගමනය කරන ‘ගල් ගැසුණු නිහඬතාව’ සහ මඟහැරීමේ පිළිවෙත හරහා මතු වන්නේ සාධාරණ මහජන සැකයකි.

මාසයක් පිරුණත් උත්තර නෑ: DG රෙවාන්ගේ ලේඛනගත ‘වගකීම් පැහැරහැරීම’!

වරාය නගරය වැනි දැවැන්ත ජාත්‍යන්තර ආයෝජන කලාපයක පාලනාධිකාරිය රටේ ජනතාවට සහ මාධ්‍යයට සෘජුව වගවීමට බැඳී සිටී. රාධිකා ඔබේසේකරගේ සුදුසුකම් හා නීති අංශයේ බලතල ඒකාබද්ධ වීම සම්බන්ධයෙන් නිල පැහැදිලි කිරීමක් ලබාගැනීමට HariDeshayaLk ප්‍රධාන කර්තෘ විසින් පසුගිය ඔක්තෝබර් 02 වන දින විද්‍යුත් තැපෑලෙන් මෙන්ම දුරකථන සංවාද දෙකක් මඟින් ද අධ්‍යක්ෂ ජනරාල් රෙවාන් වික්‍රමසූරියගෙන් කරුණු විමසන ලදී.

එහිදී DG රෙවාන් වික්‍රමසූරිය නිල පිළිතුරක් එවමින් කියා සිටියේ, “ප්‍රතිපත්තියක් ලෙස කොමිසම මාධ්‍ය වාර්තා පිළිබඳව සාමාන්‍යයෙන් අදහස් දක්වන්නේ නැත” (the Commission does not generally comment on media reports) යන සුපුරුදු ආයතනික ආවරණයයි. එහෙත් එම මාධ්‍ය විමසීම කොමිසමේ ඉදිරි රැස්වීමට ඉදිරිපත් කර උපදෙස් ලබාගන්නා බවට ඔහු ලිඛිතව පොරොන්දු විය.

අද නොවැම්බර් 02 වන දිනට එම විමසීම සිදුකර හරියටම මාසයක් ගතවී හමාරය. එහෙත් අද වන තුරුත් කොමිසමෙන් හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඊට කිසිදු නිල පැහැදිලි කිරීමක් ලැබී නොමැත.

  • ජාත්‍යන්තර ආයෝජන දිනාගැනීමට සැරසෙන රාජ්‍ය ආයතනයක පරිපාලන ප්‍රධානියා වන අධ්‍යක්ෂ ජනරාල්වරයා, බඳවා ගැනීම්වල විනිවිදභාවය ගැන නඟන මූලික ප්‍රශ්න හමුවේ මාසයක් තිස්සේ මුණිවත රකින්නේ ඇයි?
  • සුදුසුකම් පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකිව පසුබට වන්නේ තමන් කළ පත්වීමේ කිසියම් බරපතළ වරදක් හෝ පැහැදිලි කළ නොහැකි ගැටලුවක් පවතින නිසාද?
  • මාධ්‍ය වාර්තාවලට පිළිතුරු නොදෙන බව පවසමින් මහජන විගණනයෙන් හා වගවීමෙන් රිංගා යාමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇති අයිතිය කුමක්ද?

මෙය DG ට මඟහැර යා හැකි සුළු සිදුවීමක්ද? ප්‍රධාන විධායකයා ලෙස රෙවාන්ගේ සෘජු වගකීම!

මෙම සමස්ත අර්බුදයේදී අධ්‍යක්ෂ ජනරාල් රෙවාන් වික්‍රමසූරියට කිසිසේත්ම අත සෝදාගෙන පසෙකට විය නොහැක. 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත ප්‍රකාරව, කොමිසමේ සමස්ත දෛනික පරිපාලනය, මෙහෙයුම් කටයුතු සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ සෘජු නීතිමය සහ වෘත්තීය වගකීම පැවරෙන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතය.

  • බඳවා ගැනීමේ නිල නිවේදනය ප්‍රසිද්ධ කළේ කාගේ අනුමැතියෙන්ද?
  • MBA සුදුසුකම නොසලකා හරිමින් ඩිප්ලෝමාධාරිනියක් වන රාධිකා ඔබේසේකර තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ අනුමත කළේ කවුද?
  • නීති අධ්‍යක්ෂ ධුරය පුරප්පාඩු කර තබා, නීති අංශයේ බලතල වාණිජ අධ්‍යක්ෂවරියගේ මේසය මතට පැවරූ පරිපාලන නියෝගය නිකුත් කළේ කාගේ අත්සනින්ද?

මේ සියලු ප්‍රශ්නවලට සෘජුව මුහුණ දිය යුතු ප්‍රධාන විධායක නිලධාරියා DG රෙවාන් වික්‍රමසූරියයි. “ප්‍රතිපත්තියක් ලෙස මාධ්‍යවලට පිළිතුරු දෙන්නේ නැත” යනුවෙන් පවසමින් රටේ නීතියෙන්, තොරතුරු දැනගැනීමේ අයිතියෙන් සහ මහජන විගණනයෙන් පලායාමට ඔහු දරන උත්සාහය හුදු වගකීම් විරහිත ක්‍රියාවක් පමණක් නොව, රාජ්‍ය නිලධාරියෙකු සතු විනිවිදභාවයේ මූලධර්මය බිඳදැමීමකි.

MBA එකට මොකද වුණේ? මාකටින් ඩිප්ලෝමාවෙන් සුපිරි පුටුවක් ලැබුණු හැටි!

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (CPCEC) විසින් ‘වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ’ තනතුර සඳහා 2025 පෙබරවාරි මාසයේදී ප්‍රසිද්ධ කළ නිල බඳවා ගැනීමේ පටිපාටියට අනුව මූලික සුදුසුකම් පැහැදිලිව සඳහන් කර තිබුණි:

  • ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් (MBA) හෝ ඊට සමාන පිළිගත් ඉහළම සුදුසුකමක්.
  • දැවැන්ත වාණිජ ක්ෂේත්‍රයක වසර 10කට නොඅඩු මෙහෙයුම් කළමනාකාරීත්ව පළපුරුද්දක්.

එහෙත් එම ධුරයට පත්කර ඇති රාධිකා ඔබේසේකර සතුව ඇත්තේ නීතිවේදී (LLB) මූලික උපාධියක් සහ අලෙවිකරණය (Marketing) පිළිබඳ ඩිප්ලෝමාවක් පමණක් බව වාර්තා වේ.

කොමිසමේ බඳවා ගැනීමේ දැන්වීමෙන් අනිවාර්ය කළ MBA පශ්චාත් උපාධි සුදුසුකම ඇයගේ අලෙවිකරණ ඩිප්ලෝමාවට ‘සමාන සුදුසුකමක්’ ලෙස තක්සේරු කර බැලූ නිර්ණායකය කුමක්ද? මෙරට අතිවිශාල සුදුසුකම්ලත් විෂය ප්‍රවීණයන් සිටියදී, ප්‍රකාශිත සුදුසුකම් සපුරා නොමැති අයෙකු මෙවන් ඉහළ පුටුවකට ඔසවා තැබීමට ක්‍රියා කළ බලධාරීන් කවුද? අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳ තොරතුරු හෙළි නොකර සඟවන්නේ කාගේ වුවමනාවටද?

නීති අංශයත් අතයටට: තමන්ම තීරණ අරන් තමන්ම අනුමත කරගන්නා ‘ද්විත්ව සෙල්ලම’!

මෙම සමස්ත සිදුවීමේ ඇති වඩාත්ම අවදානම් සහගත තත්ත්වය වන්නේ, කොමිසමේ නීතිමය අධීක්ෂණය ද එකම පුද්ගලයෙකු අතට නතු වීමට ඉඩහැර තිබීමයි.

‘නීති අධ්‍යක්ෂ’ තනතුර සඳහා ද එකවර අයදුම්පත් කැඳවා තිබියදී, ඊට සුදුස්සෙකු බඳවා ගැනීම පසෙකලා නීති අංශයේ අධීක්ෂණ කටයුතු ද වාණිජ අධ්‍යක්ෂවරිය වන රාධිකා ඔබේසේකර වෙතම යොමු කර ඇති බවට වාර්තා පළවී ඇත. මීට පෙර එම ධුරය හෙබවූයේ ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ වසර 26ක ජ්‍යෙෂ්ඨ පළපුරුද්දක් සහිත විෂය ප්‍රවීණයෙකි.

ආයතනික පාලන (Corporate Governance) මූලධර්ම අනුව:

  • වාණිජ අංශය: ආයෝජන, ඉඩම් බදුදීම් සහ මූල්‍යමය ගිවිසුම් සැලසුම් කරයි.
  • නීති අංශය: එම ගනුදෙනු නීත්‍යානුකූලද, රටේ පනතට එකඟද යන්න ස්වාධීනව විමසා බලයි.

එහෙත්, වාණිජ තීන්දු ගන්නා අධ්‍යක්ෂවරියම නීති අංශයත් පාලනය කරන්නේ නම්, තමන් ගන්නා තීරණ තමන් විසින්ම නීත්‍යානුකූල යැයි සහතික කරගැනීමේ බරපතළ අනතුරක් මෙහි නිර්මාණය නොවේද? අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවන් පාලන හිඩැසක් ආයතනය තුළ නිර්මාණය වීමට ඉඩදී බලා සිටින්නේ මන්ද?

පාර්ලිමේන්තුවෙන් වැටුප් වසන් කිරීම සහ හර්ෂ ද සිල්වාගේ COPF කාරක සභාවේ ඊළඟ පියවර කුමක්ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පසුගියදා පාර්ලිමේන්තුවේදී මතු කළ පරිදි, ස්වාධීන නීති ප්‍රධානියෙකු නොමැතිව මෙවැනි විශේෂ ආර්ථික කලාපයක් (SEZ) මෙහෙයවීම නීත්‍යානුකූල පදනම ප්‍රශ්න කරන්නකි.

එමෙන්ම, මෙම නිලධාරීන් ලබන සුපිරි වැටුප් හා දීමනා පිළිබඳ තොරතුරු ඉල්ලා සිටියදී, එක් එක් නිලධාරියාගේ තනි වැටුප් විස්තර ලබානොදී සමස්ත වැටුප් බිල පමණක් ඉදිරිපත් කර තොරතුරු වසන් කිරීමට කොමිසම කටයුතු කර තිබුණි. ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන පාර්ලිමේන්තුවට පවා වැටුප් විස්තර හෙළි නොකරන්නේ මන්ද?

මෙහිදී රටේ ඉහළම මූල්‍ය නිරීක්ෂකයා වන ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රමුඛ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ දැන් පැවරී ඇත්තේ බරපතළ ඓතිහාසික කාර්යභාරයකි. මීට පෙරද රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය හා වගවීම සම්බන්ධයෙන් දැඩි තීන්දු ගත් COPF කමිටුවේ ඊළඟ ක්‍රියාමාර්ගය විය යුත්තේ කුමක්ද?

  1. DG ඇතුළු පාලනාධිකාරිය වහාම COPF හමුවට කැඳවීම: මාධ්‍ය ප්‍රශ්න කිරීම්වලින් පලායන DG රෙවාන් වික්‍රමසූරිය ඇතුළු කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ පාලනාධිකාරිය වහාම පාර්ලිමේන්තු මූල්‍ය කාරක සභාව හමුවට කැඳවිය යුතුය.
  2. සම්මුඛ පරීක්ෂණ ලකුණු ලේඛන විගණනය කිරීම: වාණිජ අධ්‍යක්ෂ ධුරයට රාධිකා ඔබේසේකර තෝරාගැනීමේදී ලකුණු දුන් පදනම සහ අනෙකුත් සුදුසුකම්ලත් අයදුම්කරුවන් කපාහැරීමේ ක්‍රමවේදය පිළිබඳ සියලු ලේඛන COPF වෙත කැඳවිය යුතුය.
  3. සඟවා ඇති පෞද්ගලික වැටුප් හා දීමනා විස්තර නිරාවරණය කිරීම: මහජන විගණනයෙන් වසන් කර ඇති නිලධාරීන්ගේ සුපිරි වැටුප් ලේඛන පාර්ලිමේන්තු මේසය මත තැබීමට නියෝග කිරීම.
  4. නීති අධ්‍යක්ෂ ධුරය හිතාමතා හිස්ව තැබීම විමර්ශනය කිරීම: ස්වාධීන නීති අධීක්ෂණයක් නොමැතිව පසුගිය කාලසීමාවේදී අත්සන් කරන ලද සියලු වාණිජ සහ ඉඩම් බදුදීම් ගිවිසුම් පිළිබඳ විශේෂ අධිකරණමය විගණනයකට (Forensic Audit) යොමු කිරීම.

සුදුස්සාට තැන දෙන පාලනයක්ද? නිලධාරීවාදයේ වගවීමක් නැති සෙල්ලමක්ද?

ඩුබායි සහ සිංගප්පූරුව වැනි කලාපීය මූල්‍ය මධ්‍යස්ථාන සමඟ තරග කරමින් ඩොලර් බිලියන ගණනක විදේශ සෘජු ආයෝජන (FDI) මෙරටට ගෙන ඒමට නම්, නීතියේ ආධිපත්‍යය, විනිවිදභාවය සහ ස්වාධීන නියාමනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය. පත්වීම් පිළිබඳ සැකසංකා පවතිද්දී සහ නීති අධීක්ෂණය එකම තැනැත්තියක වටා කේන්ද්‍රගත වෙද්දී ආයෝජක විශ්වාසය බිඳවැටීම වැළැක්විය නොහැක.

මහජන ප්‍රශ්න කිරීම් හමුවේ “අපි මාධ්‍යවලට උත්තර දෙන්නේ නැතැයි” පවසමින් පලායන නිලධාරීවාදයකට තවදුරටත් ජාතික සම්පත් පාලනය කිරීමට ඉඩ දිය නොහැක.

  • වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ ධුරයට රාධිකා ඔබේසේකර පත්කිරීමේදී මූලික සුදුසුකම් සලකා බැලූ පදනම කුමක්ද?
  • ස්වාධීන නීති අධ්‍යක්ෂවරයකු පත් නොකර එම අංශයේ වගකීම් ද ඇය වෙතම පවරා ආයතනික පාලනය හෑල්ලු කළේ ඇයි?
  • නිලධාරීන්ගේ සුපිරි වැටුප් ලේඛන පාර්ලිමේන්තුවට සඟවා තබාගන්නේ කුමන හේතුවක් නිසාද?
  • DG රෙවාන් වික්‍රමසූරිය තමන්ගේ විධායක වගකීමෙන් පලායමින් මාසයක් තිස්සේ මුණිවත රකින්නේ කාගේ රැකවරණයෙන්ද?

මෙම බරපතළ ගැටලුවලට නිසි පිළිතුරු ලබාදී විනිවිදභාවය තහවුරු කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු වරාය නගර කොමිසමේ පාලනාධිකාරිය වහා පියවර ගත යුතුය. නොඑසේ නම්, වරාය නගර ආර්ථික කොමිසම යනු ශ්‍රී ලංකාවේ නීතියට හා විගණනයට යටත් ආයතනයක් නොව, තමන්ගේම හිතවතුන් නඩත්තු කරන රහස් කලාපයක් බවට වන මහජන සැකය තවදුරටත් තහවුරු වනු ඇත.

Latest Posts

spot_imgspot_img