රටේ නීතිය, මූල්‍ය කල්බදු පනත හෝ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග තුට්ටුවකටවත් මායිම් නොකරමින්, මහමඟ නවතා ඇති වාහන හොර රහසේ ‘උස්සන’ කුප්‍රකට ලීසිං සීසර් පාතාල මැරකම්වලට එරෙහිව නුවරඑළිය නානුඔය පොලිසියෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ.
වාරික නොගෙවූ බව කියමින්, කිසිදු පූර්ව නීතිමය දැනුම්දීමකින් තොරව පාර අයිනේ නවතා තිබූ වෑන් රථයක් බලහත්කාරයෙන් පැහැරගෙන යාමට පැමිණි Mercantile Investments and Finance PLC සමාගමේ සීසර්වරයෙකු වෑන් රථය ද සමඟ මහමඟදීම කොටුකර ගැනීමට පොලිසිය සමත් වී ඇත.

මහදවාලේ කළ වාහන කොල්ලය සහ පොලිස් හඹායාම
නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ තම නිවස ආසන්නයේ ප්‍රධාන මාර්ගය අයිනේ නවතා තිබූ වෑන් රථය පුද්ගලයන් දෙදෙනෙකු විසින් අනවසරයෙන් රැගෙන යන බවට ලද තොරතුරක් මත, අදාළ වාහනයේ හිමිකරු වහාම එම රථය පසුපස ලුහුබැඳ ගොස් තිබේ.
වහාම ක්‍රියාත්මක වූ නානුඔය පොලිසිය, නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගයේ ෆාමස්ටන් ප්‍රදේශයේදී වෑන් රථය වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් අතර අනෙක් පුද්ගලයා පලාගොස් ඇත.
වාහනය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් කිසිදු පූර්ව ලිඛිත නීතිමය නොතීසියක් හෝ සාධාරණ දැනුම්දීමක් අදාළ මූල්‍ය සමාගම විසින් සිදුකර නොතිබූ බවත්, මෙය දහවල් කාලයේ සිදුවූ නග්න කොල්ලයක් බවත් පීඩාවට පත් හිමිකරු පෙන්වා දෙයි.
පොලිස් උපදෙස් කුණු කූඩයට දැමූ ‘Mercantile’ පාතාල ක්‍රමය
මෙම සිද්ධියේ ඇති බරපතළම කරුණ වන්නේ, අදාළ සමාගම මීට පෙර වාහනය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පවසමින් නානුඔය පොලිසියට පැමිණිල්ලක් පවා දමා තිබීමයි.
මේ පිළිබඳව කරුණු දැක්වූ නානුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ජේ.කේ.එන්. විජේරාම මහතා පැහැදිලි කළේ, වාහනයේ හිමිකරු සමඟ සාකච්ඡා කර ඔහුගේ කැමැත්ත මත පමණක් වාහනය ලබාගන්නා ලෙස පොලිසිය අදාළ පාර්ශ්වයට තරයේ අවවාද සහ උපදෙස් ලබාදී තිබූ බවයි. එහෙත් එම පොලිස් උපදෙස් සහ නීතිමය මාර්ගයන් පයින් ගසා දමා, හිමිකරු දැනුවත් කිරීමකින් තොරව යතුරු කඩා හෝ වෙනත් ආකාරයකින් වාහනය රැගෙන යාම පැහැදිලි සාපරාධී වරදක් බව ස්ථානාධිපතිවරයා අවධාරණය කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු වෑන් රථය ද සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පලාගිය අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට ද විමර්ශන ක්‍රියාත්මකය.
ලීසිං සමාගම් උල්ලංඝනය කළ පනතේ නීතිමය ප්‍රතිපාදන
ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව කිසිදු මූල්‍ය සමාගමකට හෝ කුලියට ගන්නා සීසර් කල්ලිවලට මෙලෙස මහා මඟදී වාහන පැහැරගැනීමට නීතිමය ඉඩක් නොමැත:
- 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනතේ 21 වන වගන්තිය: වාරික පැහැර හැරියද, සම්පූර්ණ මුදල් එකවර ඉල්ලා සිටීමට හෝ ගිවිසුම අවලංගු කිරීමට ප්‍රථම හිඟ මුදල් පියවීමට අවම වශයෙන් දින 7 ක කාලයක් ලබාදෙමින් ලියාපදිංචි තැපෑලෙන් පූර්ව ව්‍යවස්ථාපිත නොතීසියක් (Statutory Notice) එවීම අනිවාර්ය වේ.
- පනතේ 27 සහ 28 වගන්ති: වාහනයක් නැවත අත්පත් කරගැනීමට බදු දෙන්නාට හිමිකම පැවතුණ ද, එය කළ යුත්තේ සාමකාමීව පමණි. හිමිකරුගේ විරෝධයක් පවතින්නේ නම් හෝ සාමකාමීව භාරය ලබාගත නොහැකි නම් බලහත්කාරකම් පෑම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වන අතර, වාහනය ලබාගත යුත්තේ අදාළ දිසා අධිකරණයෙන් (District Court) නිසි නියෝගයක් ලබාගැනීමෙන් පසුව පමණි.
- ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව (S.C. CHC. Appeal No. 19/2022) සහ මහ බැංකු නියෝග: නීත්‍යානුකූල පූර්ව දැනුම්දීම් සහ අධිකරණ ක්‍රියාමාර්ග මඟහැර බලහත්කාරයෙන් සිදුකරන අත්පත් කරගැනීම් නීතිවිරෝධී බවත්, එවැනි ක්‍රියා සාපරාධී සොරකම් ගණයට වැටෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම අධිකරණ තීන්දු මඟින් ද තහවුරු කර ඇත.
ලීසිං මාෆියාවට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි
පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩනයට පත්ව සිටින පාරිභෝගිකයන්ගේ අසරණකම ගසාකමින්, මැර කල්ලි යොදවා මහමඟ වාහන පැහැර ගැනීමට Mercantile Investments ඇතුළු කිසිදු ලීසිං සමාගමකට අයිතියක් නැත.
මූල්‍ය සමාගම් ක්‍රියාත්මක විය යුත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, මූල්‍ය කල්බදු පනතට සහ අධිකරණ නියෝගවලට යටත්ව මිස පාතාල මැර නීතියෙන් නොවන බව නානුඔය පොලිසිය ලබාදුන් මෙම ආදර්ශමත් පිළිතුරෙන් සමස්ත ලීසිං ක්ෂේත්රයම තේරුම් ගත යුතුය.



