Latest Posts

අප නිදාගන්නා වේලාව තීරණය කරන්නේ උෂ්ණත්වය ද?

ශරීරයේ ජෛව ඔරලෝසුවල ක්‍රියාකාරිත්වය සකස් කිරීමේදී ආලෝකය තරමට ම උෂ්ණත්වයත් වැදගත් විය හැකි බව ඇතැම් විද්‍යාඥයෝ විශ්වාස කරති.

අදටත්, මානව විද්‍යාඥ ගාන්ධි යෙතිෂ්ට නිව් ජර්සි ප්‍රාන්තයේ ශීත ඍතුවේදී කුඩා කාලයේ නින්දට යාමට පෙර පුරුද්දක් ලෙස කළ දෙයක් මතක ය. ඔහු තම කාමරයේ ජනේලය විවෘත කර, හමා එන සීතල වාතයෙන් තම මුහුණ සිසිල් වීමට ඉඩ හැරියේ ය. එවිට ඔහුට ඉක්මනින් ම නිදිමත දැනුණත්, ක්‍රියාව නිසා කාමරය යළි උණුසුම් කිරීමට වැය වන මුදල වැඩි වීම ගැන තම මව කුමක් කියනු ඇත්දැයි ඔහු කල්පනා කළේය.

යෙතිෂ් එදා අනුගමනය කළ ක්‍රමයේ යම් සත්‍යයක් තිබෙන බවට සාක්ෂි දැන් මතු වෙමින් තිබේ. අප කෙතරම් ගැඹුරින් නිදාගන්නවා ද යන්නෙහි සිට අවදි වූ පසු කෙතරම් ප්‍රබෝධමත්ව සිටිනවා ද යන්න දක්වා, රාත්‍රියේ අප ලබන නින්දට උෂ්ණත්වය සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ය. ඇතැම් විද්‍යාඥයින් තවත් පියවරක් ඉදිරියට යමින් තර්ක කරන්නේ, අප නිදාගන්නා වේලාව තීරණය කිරීමේදී ආලෝකය මෙන් ම උෂ්ණත්වය ද වැදගත් විය හැකි බව ය.

මේ, අප දන්නා දේ සහ නොදන්නා දේ ගැන කරන විමසා බැලීමකි.

සූර්යයාගේ උණුසුම

වසර ගණනාවක් තිස්සේ, සිසිල් පරිසරයක නිදාගැනීමට තමන් තුළ ඇති කැමැත්ත හුදෙක් පෞද්ගලික පුරුද්දක් බව යෙතිෂ් සිතා සිටියේ ය. එහෙත්, කාර්මිකකරණයට ලක් නොවූ සමාජවල මිනිසුන්ගේ නින්ද පිළිබඳ පර්යේෂණ කරමින් සිටියදී, ඔහු බොලිවියාවේ ඇමසන් ප්‍රදේශයේ ජීවත් වන චිමානි (Tsimane) නම් ස්වදේශික ජන කණ්ඩායම සමග කාලය ගත කළේ ය.

නින්දට බලපාන පරිසරයේ වැදගත් ම සංඥාව ආලෝකයට නිරාවරණය වීම බවට විද්‍යාඥයන් අතර දිගු කලක් තිස්සේ පැවති එකඟතාව පිළිබඳව යෙතිෂ් හොඳින් දැන සිටියේ ය. එහෙත්, චිමානි ජනතාව සාමාන්‍යයෙන් හිරු බැස ගොස් පැය කිහිපයකට පසුව නිදාගන්නා බවත්, හිරු උදාවීමට පෙර අවදි වන බවත් ඔහු නිරීක්ෂණය කළේ ය. ඒ, කෘත්‍රිම ආලෝකය සඳහා විදුලිය නොමැති, දවසේ වැඩි කාලයක් එළිමහනේ ගත කරන පසුබිමක ය.

ඉන් අනතුරුව, යෙතිෂ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධ විශ්වවිද්‍යාලවල සගයන් පිරිසක් තවත් ස්වදේශික ජන කණ්ඩායම් දෙකක නින්ද පිළිබඳව අධ්‍යයනය කළහ. ඒ අතරට උතුරු ටැන්සානියාවේ හඩ්සා (Hadza) ජනතාව සහ දකුණු අප්‍රිකාවේ සැන් (San) ජනතාව ද ඇතුළත් වූහ. එම ජන කණ්ඩායම්වල නිදාගන්නා සහ අවදි වන වේලාවන් ද ආලෝකය සහ අඳුර මාරු වීමේ රටාවට අනුරූප නොවන බව පර්යේෂකයෝ සොයා ගත්හ. ඒ වෙනුවට, ඔවුන්ගේ නින්දේ වේලාවන් පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම හා පහළ යාම සමග වෙනස් වන බවක් පෙනෙන්නට තිබිණි.

“හිරු බැස යාම සහ හිරු උදාවීම වැදගත් වීමට හේතුව ආලෝකය බවට අපි උපකල්පනය කරනවා,” යෙතිෂ් පවසයි. “හොඳයි, උෂ්ණත්වයත් පැමිණෙන්නේ සූර්යයාගෙන්.”

නින්දට යාමට පෙර සිසිල් වීම

දශක ගණනාවක් පුරා රැස් කර ඇති සාක්ෂිවලින් පෙනී යන්නේ, අප නින්දට සූදානම් වන විට ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය පහළ යාමට පටන් ගන්නා බව ය. අප බොහෝ දෙනාගේ ශරීර උෂ්ණත්වය රාත්‍රිය පුරා ක්‍රමයෙන් පහළ යන අතර, සාමාන්‍යයෙන්, දිවා කාලයේදී ඉහළ ම අගයක පවතින එම උෂ්ණත්වය රාත්‍රියේදී අවම අගයට ළඟා වන විට සෙල්සියස් අංශකයකින් පමණ අඩු වේ.

කාමරය ප්‍රමාණවත් තරම් සිසිල් නොවන විට මිනිසුන්ගේ නින්දේ කාලය අඩු වීමටත්, නින්දට බාධා ඇති වීමටත් හේතුව මෙයින් පැහැදිලි වන බව බර්ලිනයේ නින්ද පිළිබඳ අන්තර්විෂය මධ්‍යස්ථානයේ නින්ද පිළිබඳ වෛද්‍යවරයකු සහ විද්‍යාඥයකු වන සෙබස්තියන් හර්බර්ගර් පවසයි. “අධික ලෙස උණුසුම් හෝටල් කාමරයක නිදාගෙන ඇති ඕනෑ ම කෙනෙකුට මේ වගේ බලපෑම් ගැන අත්දැකීමක් ඇති,” ඔහු පවසයි.

2007 වසරේ සිදු කළ අධ්‍යයනයකදී, සහභාගිවන්නන් නිදාගත් කාමරයේ උෂ්ණත්වය වෙනස් කර, එය නින්දට බලපාන ආකාරය පර්යේෂකයෝ විමර්ශනය කළහ. මෙහිදී සහභාගි වූ පිරිසට නින්ද සඳහා පරිසර තත්ත්වයන් දෙකක් අත්විඳීමට සලස්වන ලදී. පළමු අත්හදා බැලීමේදී, සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාමරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 සිට 24 දක්වා ක්‍රමයෙන් අඩු කෙරිණි. ඉන්පසු අලුයම 3 සිට උදෑසන 7 දක්වා එය යළිත් සෙල්සියස් අංශක 27 දක්වා ක්‍රමයෙන් ඉහළ නංවා, දිවා කාලය පුරා ම එම උෂ්ණත්වයේ පවත්වා ගන්නා ලදී. මෙලෙස සිදු කළේ රාත්‍රිය පුරා පරිසරයේ උෂ්ණත්වය ස්වභාවිකව ඉහළ පහළ යන ආකාරය අනුකරණය කිරීම සඳහා ය. දෙවන අත්හදා බැලීමේදී, සහභාගි වූවන් නිදාගත්තේ නියතව සෙල්සියස් අංශක 27ක උෂ්ණත්වයක් පවත්වා ගත් කාමරයක ය.

කාමරයේ උෂ්ණත්වය ඉහළ පහළ යන පරිසරයක නිදාගත් සහභාගිවන්නන්ගේ ශරීරයේ මෙලටොනින් හෝමෝනයට අදාළ ජෛව සලකුණක මට්ටම, නිරන්තරයෙන් සෙල්සියස් අංශක 27ක උෂ්ණත්වයක් පැවති කාමරයක නිදාගත් අයගේ මට්ටමට වඩා රාත්‍රිය පුරා ඉහළ අගයක පැවතිණි. මෙලටොනින් යනු, ශරීරය විසින් ස්වභාවිකව නිපදවනනු ලබන හෝමෝනයකි. නින්දට යන වේලාව ළං වන විට එහි මට්ටම ඉහළ යන අතර, සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී එය උපරිම මට්ටමට ළඟා වේ. ශරීරය සන්සුන් කර නින්දට සූදානම් වීමට සංඥා ලබා දෙන්නේ මෙම හෝමෝනයයි.

එම කණ්ඩායම අවදි වූ විට වඩාත් ප්‍රබෝධමත්ව සිටින බව ද දැනී තිබිණි. සවස් කාලයේ සහ අලුයම පරිසරයේ උෂ්ණත්වය ස්වභාවිකව ඉහළ පහළ යාමේ බලපෑම යටතේ වඩාත් ගැඹුරු නින්දක් ලබා ගැනීමට හැකි වන පරිදි මිනිසුන් පරිණාමය වී ඇතැයි පර්යේෂකයෝ අනුමාන කළහ.

කෙසේ වෙතත්, නින්දට වැටීම සඳහා උෂ්ණත්ව නිශ්චිත වශයෙන් කොපමණ ප්‍රමාණයක් අඩු විය යුතු ද යන්න තවමත් පැහැදිලි නැත. එසේ ම, උෂ්ණත්වය අපගේ ජෛව ඔරලෝසුවලට සහ නිදාගන්නා වේලාවන්ට කෙතරම් බලපෑමක් ඇති කරන්නේ ද යන්න පිළිබඳව ද තවමත් විවාද පවතී.

අපගේ අභ්‍යන්තර ඔරලෝසු සැකසීම

උෂ්ණත්වය සහ නින්ද අතර පවතින සම්බන්ධතාව හේතුවෙන් මතු වන එක් ප්‍රශ්නයක් වන්නේ අපගේ අභ්‍යන්තර ජෛව ඔරලෝසු සකස් කිරීමට උෂ්ණත්වයට හැකියාවක් තිබේ ද යන්නත්, එසේ නම් එහි බලපෑම කෙතරම් ද යන්නත් ය. මෙම ජෛව ඔරලෝසු මගින් අපගේ “සර්කේඩියානු රිද්ම” නම් ක්‍රියාවලීන් සම්බන්ධීකරණය කරනු ලබයි. එනම්, පැය 24ක කාලයක් තුළ සිදුවන මානසික, ශාරීරික සහ චර්යාත්මක වෙනස්කම්වල චක්‍රයයි. අප නිදාගන්නා වේලාවේ සිට ආහාර ගන්නා වේලාව දක්වා බොහෝ දේ ඊට ඇතුළත් වේ. සාම්ප්‍රදායිකව සැලකෙන්නේ, මෙම සර්කේඩියානු රිද්ම ප්‍රධාන වශයෙන් තීරණය වන්නේ අප ආලෝකයට නිරාවරණය වන ආකාරය අනුව බව ය.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සර්කේඩියානු ස්නායු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු සහ ‘Life Time’ කෘතියේ කතුවරයා වන රසල් ෆොස්ටර් පවසන්නේ, නින්දට සූදානම් වන විට අපගේ ශරීර උෂ්ණත්වය පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ සර්කේඩියානු රිද්මය බවයි.

එහෙත්, ෆොස්ටර් පැහැදිලි කරන්නේ උෂ්ණත්වය අපගේ ජෛව ඔරලෝසුවල බලපෑමට ලක්වන සාධකයක් පමණක් නොවන බව ය. ජෛව ඔරලෝසුවල ක්‍රියාකාරිත්වය හැඩගැස්වීමට උපකාරී වන අතිරේක සංඥාවක් ලෙස ද උෂ්ණත්වය ක්‍රියා කළ හැකිය. “නින්ද පාලනය කරන පද්ධති වෙත සංඥාවක් ලෙස උෂ්ණත්වය සැබවින් ම සිදු කරන්නේ කුමක් ද යන්න අප දන්නේ නැහැ,” ඔහු පවසයි.

උෂ්ණත්වය ද අපගේ ජෛව ඔරලෝසු සකස් කිරීමට උපකාරී වන බවට අදහසට යම් සහයක් සත්වයින් යොදාගෙන සිදු කළ පර්යේෂණවලින් ලැබී තිබේ.

පරිසරයේ උෂ්ණත්වය ඉහළ පහළ යන චක්‍ර පමණක් යොදාගෙන, පළතුරු මැස්සන්ගේ සිට ඔටුවන් දක්වා විවිධ සත්ව විශේෂවල සර්කේඩියානු රිද්ම සකස් කළ හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ. එසේ ම, ශරීර උෂ්ණත්වය ඉහළ පහළ යන ආකාරය අනුකරණය කිරීමෙන් මිනිස් සෛලවල අභ්‍යන්තර ජෛව ඔරලෝසු ද සකස් කිරීමට විද්‍යාඥයන් සමත් වී තිබේ.

සත්වයින් සහ සෛල යොදාගෙන සිදු කරන අධ්‍යයනවලින් ලැබෙන ප්‍රතිඵල සැබෑ ජීවිතයේ මිනිසුන්ට ද අදාළ වන බව අනිවාර්යයෙන් ම කිව නොහැකිය. එසේ ම, මිනිසුන්ගේ ජෛව ඔරලෝසු සකස් කිරීමේදී උෂ්ණත්වය සැබවින් ම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නේ ද යන්න තහවුරු කිරීම ඉතා අසීරුය. උදාහරණයක් ලෙස, උෂ්ණත්වය ඉහළ යන විට යමෙකුට නින්ද යාමට වැඩි අපහසුවක් ඇති වන්නේ නම්, එය ඔහුගේ හෝ ඇයගේ සර්කේඩියානු රිද්මයට කිසිදු සම්බන්ධයක් නොතිබිය හැකිය. ඒ වෙනුවට, එයට හේතුව ශරීරය විවේකී තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය වන කායික තත්ත්වයන් විය හැකිය.

එහෙත්, කුඩා පරිමාණයෙන් සිදු කළ ඇතැම් අධ්‍යයනවල සොයාගැනීම්වලින් පෙනී යන්නේ, එයට තවත් බොහෝ දේ තිබිය හැකි බව ය. 1974 වසරේ සිදු කළ එක් අධ්‍යයනයකදී, සහභාගිවන්නො තමන් අවදිව සිටින විට පැවති උෂ්ණත්වයට වඩා නිදා සිටින විට කාමරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 6කින් පමණ අඩු වන සේ සකස් කර ගත්හ. මෙම වෙනස හේතුවෙන් ඔවුන්ගේ නින්ද සහ අවදිව සිටීම අතර චක්‍රය මිනිත්තු 23කින් පමණ දිගු විය. මේ අනුව, මිනිසුන්ගේ සර්කේඩියානු රිද්ම පාලනය කිරීමේදී “උෂ්ණත්වයේ බලපෑම ආලෝකයේ බලපෑමට බෙහෙවින් සමාන ය” යනුවෙන් එම අධ්‍යයනයේ සඳහන් විය.

මේ අතර, 2007 වසරේ සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ පරිසරයේ උෂ්ණත්වය මුලින් අඩු කර පසුව යළි ඉහළ නැංවීම සහභාගිවන්නන්ගේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වයට ද බලපෑ බවයි. ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය අවම මට්ටමට ළඟා වන වේලාව අනුව, සර්කේඩියානු රිද්මයේ කුමන අවධියක ඔබ සිටින්නේ ද යන්න පිළිබඳව අදහසක් ලබා ගත හැකිය. කාමරයේ උෂ්ණත්වය ඉහළ පහළ යන පරිසරයක නිදාගත් සහභාගිවන්නන්ගේ ශරීර උෂ්ණත්වය අවම මට්ටමට ළඟා වූයේ, කාමරයේ උෂ්ණත්වය නියත මට්ටමක පැවති අවස්ථාවට වඩා සාමාන්‍යයෙන් පැයකට පමණ පෙර රාත්‍රියේදීය. මෙයින් පෙනී යන්නේ නිදන කාමරයේ උෂ්ණත්වය අපගේ ජෛව ඔරලෝසු සකස් කිරීමට උපකාරී විය හැකි බව ය.

නමුත් තවත් බොහෝ පර්යේෂණ අවශ්‍ය වේ.

උෂ්ණත්වය අපගේ සර්කේඩියානු රිද්මවල ක්‍රියාකාරිත්වය යම් තරමකට පාලනය කිරීමට උපකාරී විය හැකි බව බාසල් විශ්වවිද්‍යාලයේ කාල ජෛව විද්‍යාඥයකු වන ක්‍රිස්ටියන් කේජකන් පවසයි. එහෙත්, මේ පිළිබඳව විමර්ශනය කර ඇත්තේ ඉතා සුළු පර්යේෂණ සංඛ්‍යාවකදී පමණි. එබැවින්, මේ වන විට තමන්ගේ අදහස අනුව, ශරීරයේ ජෛව ඔරලෝසු සකස් කිරීම සම්බන්ධයෙන් “උෂ්ණත්වය යනු ‘නව ආලෝකය’ නොවේ” යැයි ඔහු පවසයි.

ජීවිතයේදී උෂ්ණත්වය අපගේ නින්දට බලපාන ආකාරය

නින්ද කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම සලකා බැලීමේදී තත්ත්වය තවත් සංකීර්ණ වන්නේ, නින්ද යනු විවිධ බහුමානීය කායික ක්‍රියාවලියක් වන බැවිනි.

අපට නිදිමත දැනෙන්නේ කවදා ද සහ කොතරම් දුරට ද යන්න තීරණය කරන ප්‍රධාන පද්ධති දෙකක් තිබේ. පළමුවැන්න, නින්ද සඳහා ඇති වන ජෛව අවශ්‍යතාව යි. එනම්, අප වැඩි වේලාවක් අවදිව සිටින තරමට නිදිමත වැඩි වීමයි. දෙවැන්න, සර්කේඩියානු රිද්මයයි. මෙය ශරීරයේ ජෛව ඔරලෝසු කිහිපයකින් සමන්විත වන අතර, අපට නිදිමත දැනෙන සහ අවදියෙන්, සීරුවෙන් සිටින වේලාවන් තීරණය කිරීමට උපකාරී වේ.

එහෙත්, මෙම පද්ධති දෙකට අමතරව තවත් තුන්වන පද්ධතියක් ද නින්දට බලපායි. එය “අවදියෙන් සිටීම ප්‍රවර්ධනය කරන පද්ධතිය” ලෙස හැඳින්වේ. සුදුසු තත්ත්වයන් යටතේ, අනෙක් පද්ධති දෙකේ බලපෑම අභිබවා ගොස් අප අවදියෙන් තැබීමට මෙම පද්ධතියට හැකියාව තිබේ. රාත්‍රී 3ට වුව ද ගින්නක් පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥාවක් ඇසුණු විට ඔබ ඇඳෙන් නැගිටිනු ඇත්තේ මේ හේතුව නිසා ය.

මෙම පද්ධති සියල්ල එකිනෙක සම්බන්ධ වී ක්‍රියා කළ ද, තමන් චිමානි, සැන් සහ හඩ්සා ජන කණ්ඩායම් අතර අධ්‍යයනය කළ නින්දේ රටාවන්ට හේතුව උෂ්ණත්වය නොව, මෙම අනෙකුත් ක්‍රියාවලීන්ගෙන් එකක් විය හැකි බව යෙතිෂ් පිළිගනියි.

මෙම ස්වදේශික ජන කණ්ඩායම් පිළිබඳ පර්යේෂණයට නායකත්වය දුන්නේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ලොස් ඇන්ජලීස් මණ්ඩපයේ (UCLA) ස්නායු විද්‍යාඥයෙකු සහ නින්ද පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයකු වන ජෙරොම් සීගල් ය. “මගේ අදහස අනුව, ආලෝකයට වඩා උෂ්ණත්වය වැදගත්,” ඔහු පවසයි. නූතන සමාජයේ සෞඛ්‍යය සම්බන්ධයෙන් මෙය පුළුල් බලපෑම් ඇති කරන බව ඔහුගේ අදහසයි.

උදාහරණයක් ලෙස, දිවා කාලයේදීත් රාත්‍රියේදීත් එක ම උෂ්ණත්වයක් පවත්වා ගන්නා නිවාසවල ජීවත් වීමට අප තුළ ඇති නැඹුරුව, නූතන සමාජයේ මිනිසුන් මුහුණ දෙන නින්ද පිළිබඳ ගැටලුවලට හේතු විය හැකි බව සීගල් තර්ක කරයි. කාර්මිකකරණයට ලක් වූ සමාජවල, එවැනි සමාජවලට සාපේක්ෂව කාර්මිකකරණයට ලක් නොවූ සමාජවලට වඩා බොහෝ ඉහළ මට්ටමකින් නින්ද නොයාමේ ගැටලුව (insomnia) වාර්තා වීම ද ඊට ඇතුළත් ය.

චිමානි සහ සැන් ජන කණ්ඩායම් අතර නින්ද නොයාමේ ගැටලුවකෙතරම් සුලභ ද යන්න පර්යේෂකයන් විමර්ශනය කළ විට, එම ජන කණ්ඩායම් දෙකේ ම භාෂාවල මෙම තත්ත්වය හැඳින්වීමට වචනයක් නොමැති බව ඔවුහු සොයා ගත්හ.

“අපි පරිණාමය වූයේ යම් පරිසරයකට ද, අපි දැන් ජීවත් වන්නේ ඒ පරිසරය තුළ නොවේ,” යැයි සීගල් පවසයි.

නින්දට බාධා කිරීමට උෂණ්ත්වය භාවිත කිරීම සඳහා ඇති හොඳම මාර්ගය සෙවීම සඳහා තවත් පර්යේෂණ අවශ්‍ය වේ. නමුත් දැනට, යෙටිෂ් සිදු කළ පරිදි රාත්‍රියේදී ජනේලයක් විවෘත කර තැබීම වටිනවා විය හැක.

Source: BBC

Latest Posts

spot_imgspot_img