Latest Posts

CID විමර්ශනයේ හිඩැස් වසන්න නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී කිරිහාගම දැඩි උත්සාහයක: නීතිපතිගේ “අත්සන” ගැන අහද්දී මතු කළ විරෝධය අධිකරණයේදී ප්‍රශ්න කෙරේ!

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) දුර්වල විමර්ශන ක්‍රියාවලිය විත්තියේ ප්‍රහාර හමුවේ දෙදරුම් කද්දී, එම බිඳවැටීම වසන් කරගැනීමට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී කිරිහාගම දැරූ උත්සාහය ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දැඩි අවධානයට ලක් විය.

ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන මෙම නඩුවේදී, විත්තියේ නීතිඥවරුන් එල්ල කළ නීතිමය තර්ක හමුවේ CID සාක්ෂි එකින් එක බිඳවැටෙද්දී, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මතු කළ විරෝධතාවල නීතිමය සාධාරණත්වය සහ වලංගුභාවය විවෘත අධිකරණය තුළ සෘජුවම අභියෝගයට ලක් කෙරුණි.

නීතිපතිගේ ලිපියේ අත්සන කාගේද? නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී කිරිහාගම කලබල වූ හැටි

නඩු විභාගයේ වඩාත්ම සංවේදී නීතිමය ගැටුම නිර්මාණය වූයේ කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනීමේ නීතිමය පදනම අධිකරණය හමුවේ ප්‍රශ්න කළ මොහොතේදීය. හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ එවකට නීතිපති සංජය රාජරත්නම් නිකුත් කළ උපදෙස් ලිපියක් අනුව බව ප්‍රධාන විමර්ශන නිලධාරී පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි පිළිගත්තේය.

එහෙත්, අටවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර එම උපදෙස් ලිපිය ඉදිරිපත් කරමින්, “මෙම උපදෙස් ලිපියේ ඇති අත්සන කාගේද?” යනුවෙන් සාක්ෂිකරුගෙන් නිශ්චිතව විමසා සිටීමත් සමඟ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී කිරිහාගම ක්ෂණිකව ඊට බාධා කරමින් දැඩි විරෝධයක් මතු කළාය.

නීතිපතිවරයාගේ උපදෙස් ලිපියක අත්සන තැබූ නිලධාරියා කවුරුන්දැයි විත්තියට ප්‍රශ්න කළ නොහැකි බවට ඇය තර්ක කළද, පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මුල් වූ තීරණාත්මක නිල ලේඛනයක අත්සන හෙළිදරව් කිරීම වැළැක්වීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙතරම් කලබල වන්නේ මන්දැයි විත්තිය අධිකරණය හමුවේ ප්‍රශ්න කළේය. සාක්ෂිවල නීතිමය නිරවද්‍යතාවය තහවුරු කරනු වෙනුවට, විමර්ශනයේ පැවති ක්‍රියාපටිපාටික හිඩැස් වසන් කිරීමට රජයේ නීතිඥවරිය දරන උත්සාහය එමගින් මනාව නිරාවරණය විය.

ලිපිගොනු නැති අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට පැමිණිල්ලට හැකිද?

අධිකරණයට ඉදිරිපත් කළ අදාළ ප්‍රසම්පාදන ලිපිගොනු හතරෙන් එකදු ගොනුවක් හෝ කෙහෙළිය රඹුක්වැල්ල වෙත නිල වශයෙන් යොමු වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව විමර්ශන නිලධාරියාට විවෘත අධිකරණයේදී පිළිගැනීමට සිදුවිය.

නීතිඥවරයා: “මේ එක ගොනුවක්වත් අටවන චූදිතට යොමු වූ බව අනාවරණය වුණාද?” සාක්ෂිකරු: “මෙම ගොනු යොමු වූ බව අනාවරණය වුණේ නෑ. එහෙත් කැබිනට් සංදේශය හා ඊට අදාළ ඇමුණුම් යොමු වූ බව අනාවරණය වුණා.”

එපමණක් නොව, 2024 පෙබරවාරි 02 වැනිදා කෙහෙළිය රඹුක්වැල්ල CIDය හමුවට කැඳවා, ඔහු “සැකකරුවෙකු” බව කල්තියා දැනුම් දීමකින් පවා තොරව පැය 11ක් තිස්සේ ප්‍රකාශ සටහන් කරගෙන අනතුරුව අත්අඩංගුවට ගැනීම හරහා මූලික නීතිමය ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කර තිබේ. ලිපිගොනුවක් හෝ අතට පත්ව නැති පසුබිමක, මෙවැනි අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමක් සාධාරණීකරණය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී කිරිහාගම නඩුව ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන්නේ කුමන නීතිමය පදනමකින්ද යන්න විත්තිය ප්‍රශ්න කළේය.

“නිවුස් බලන්න වෙලාවක් නෑ” – සෞඛ්‍ය අර්බුදය නොදත් විමර්ශකයින් වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුව

හදිසි ප්‍රසම්පාදනයක් සිදුකිරීමට පැවති පසුබිම සහ එකල රට තුළ පැවති උග්‍ර ඖෂධ හිඟය පිළිබඳව සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේදී CID නිලධාරියා දුන් පිළිතුරු මුළු අධිකරණයම මවිතයට පත් කළේය.

නීතිඥවරයා: “පසුගිය දවස්වල පිළිකා රෝහලට ඖෂධ නෑ කියලා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ගියා, ඔබ ඒ බව දන්නවාද?” සාක්ෂිකරු: “ප්‍රවෘත්ති බලන්න වෙලාවක් නෑ.” නීතිඥවරයා: “පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ 125ක් ශුන්‍ය මට්ටමේ සහ තවත් 65ක් අතිශයින් හිඟව පැවති බව ඔබ දන්නේ නැද්ද?” සාක්ෂිකරු: “දන්නේ නෑ ස්වාමීනී.” නීතිඥවරයා: “විමර්ශනයකදී සියලු කරුණු සොයා බැලිය යුතුයි. එසේ නොකළහොත් අසාධාරණයක් සිදුවන බව ඔබ පිළිගන්නවාද?” සාක්ෂිකරු: “එසේය ස්වාමීනි.”

රටේ ජාතික සෞඛ්‍ය හදිසි තත්ත්වය පිළිබඳව අවම හෝ අවබෝධයක් නැති නිලධාරීන් සිදුකළ මෙවැනි අසම්පූර්ණ සහ ඒකපාර්ශ්වික විමර්ශනයක් මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුව අධිචෝදනා ගොනු කිරීම හරහා විත්තිකරුවන්ට බරපතළ අගතියක් සිදුකර ඇති බව විත්තියේ ස්ථාවරය විය.

ඇමතුම් 163ක මහ මොළකරුවන් අතහැරියේ කාගේ උවමනාවටද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී කිරිහාගම ඇතුළු පැමිණිල්ලේ පාර්ශ්වය විත්තිය හමුවේ වඩාත්ම අපහසුතාවට පත් වූයේ, නඩුවේ තීරණාත්මක චරිත සහ සැබෑ සාක්ෂි හිතාමතා මඟහැර ඇති බවට විත්තිය හෙළිදරව් කළ කරුණු හමුවේය:

  • ඇමතුම් 163ක තොග පාලක නිලධාරියා අතහැරීම: අංක 7 ගබඩාවේ තොග පාලක නිලධාරී ප්‍රියන්ත කස්තුරිසිංහ සහ පළමු විත්තිකරු අතර දුරකථන ඇමතුම් 163ක් හුවමාරු වී තිබියදීත්, ඔහු විදේශගතව ඇතැයි පවසමින් CIDය කිසිදු විමර්ශනයක් කර නොතිබීම.
  • දත්ත ඇතුළත් කළ නිලධාරියා විදේශගත වීමට ඉඩහැරීම: ප්‍රසම්පාදන තොරතුරු පරිගණක පද්ධතියට ඇතුළත් කළ සතිශ් කුමාර නැමැත්තාගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර නොගෙන විමර්ශනය අවසන් කිරීම.
  • පරණ ලියවිල්ලක් මත වෛද්‍යවරයෙකු හිරකිරීම: බ්‍රිතාන්‍යයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී සිය පෞද්ගලික වියදමින් මෙරටට පැමිණ CIDයට භාර වූ 11 වන විත්තිකරු වෛද්‍ය තුසිත සුදර්ශනට එරෙහිව චෝදනා නගා ඇත්තේ, ඔහු අත්සන් පවා නොකළ 2007 වසරේ පැරණි රාජකාරි ලැයිස්තුවක් මත බව අනාවරණය වීම.

මෙවැනි තීරණාත්මක චරිත විමර්ශනයෙන් මුළුමනින්ම ගලවා ඉවත් කර තිබියදී, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය තෝරාගත් විත්තිකරුවන් පිරිසකට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීම පක්ෂග්‍රාහී ක්‍රියාවක් බව විත්තිය අධිකරණයට පෙන්වා දුන්නේය.

විමර්ශනයේ හිඩැස් මතින් ගොඩනැගූ නඩුවක්

හරස් ප්‍රශ්න කිරීම් අවසානයේදී සාක්ෂිකරු ලවා කරුණු කිහිපයක් සනාථ කරගැනීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය උත්සාහ කළාය. එහිදී ඖෂධවලින් සංකූලතා වාර්තා වී තිබියදීත් රුපියල් මිලියන 44ක මුදලක් සැපයුම්කරුට ගෙවා ඇති බවත්, හදිසි ප්‍රසම්පාදනයක් සඳහා සැබෑ අවශ්‍යතාවක් විමර්ශනයේදී අනාවරණය නොවූ බවත් සාක්ෂිකරු පැවසීය.

කෙසේ වෙතත්, සැබෑ වරදකරුවන් සහ තීරණාත්මක නිලධාරීන් විමර්ශනයෙන් ඉවත් කරමින්, අත්සනක් හෝ තහවුරු නොකළ නීතිපති උපදෙස් ලිපි පිටුපස සැඟවෙමින් සිදුකළ මෙම CID විමර්ශනය හුදු පූර්ව නිගමන මත ගොඩනැගූ එකක් බව විත්තියේ නීතිඥවරු තර්කානුකූලව සනාථ කළහ. විමර්ශනයේ පවතින මෙම බරපතළ නීතිමය හිඩැස් හමුවේ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී කිරිහාගම ප්‍රමුඛ පැමිණිල්ලේ පාර්ශ්වය අධිකරණය ඉදිරියේ දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර නඩුවේ වැඩිදුර විභාගය ඉදිරියට නියමිතය.

(ලිපියේ මූලාශ්‍රය – The Leader අධිකරණ වාර්තාව)

Latest Posts

spot_imgspot_img