රුපියල් බිලියන 5.7ක මහජන සංඛ්‍යාත නාඩගම ගැන රාජ්‍ය ලිපිගොනු සාක්ෂි | HariDeshaya.lk Exclusive
කළු සල්ලි සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවලට ලක්ව වැසී ගිය පැරණි CSN (Carlton Sports Network) නාලිකාවේ මහජන සංඛ්‍යාතය ‘අහස TV’ නමින් අලුත් ලේබලයක් ගසාගෙන යළි කරළියට ගෙන ඒමට දැරූ රුපියල් බිලියන 5.7ක (කෝටි 571ක) මහා මෙහෙයුමේ සියලු රෙදි ගැලවී ගොස් තිබේ. රටේ සීමිත මහජන සම්පතක් වන විකාශන සංඛ්‍යාත අවභාවිත කරමින් දියත් කිරීමට ගිය මෙම සැකකටයුතු ව්‍යාපෘතිය හමුවේ රාජ්‍ය නිල ලේඛන මගින්ම කරුණු තහවුරු වෙමින් පවතී. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) නිල ලියකියවිලි පිරික්සීමේදී ගවේෂණාත්මකව තහවුරු වන අමු නිරුවත් සත්‍යය නම්, “අහස කියලා වෙනම නාලිකාවක් නැත… අහස නමින් පෙනී සිටින්නේ CSN ම තමයි!” යන්නයි.
කමන්ත තුෂාර TRCSL හමුවේ තැබූ පුරවැසි අභියෝගය


2026 සැප්තැම්බර් 28 වන දින ‘අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්යක්ෂ ජනරාල්වරයා වෙත නිල ලිපියක් යොමු කරමින් මෙරට මහජන සම්පතක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ඉල්ලා සිටියේය.
එම ලිපියේ පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ අපරාධ හා මූල්‍ය අපරාධ විමර්ශන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කේ. වී. ඩී. ඒ. ජේ. කරවිට මහතා වෙතද යොමු කරමින් ඔහු කරුණු 10ක් යටතේ ප්‍රශ්න කර සිටියේය:
- CSN නාලිකාවට ලබාදී තිබූ මහජන සංඛ්‍යාතය ‘අහස TV’ හෝ ‘බිස්නස් මීඩියා ඉන්ටර්නැෂනල්’ විසින් භාවිත කරන්නේ කෙසේද?
- ඒ සඳහා TRCSL වෙතින් නිසි බලපත්‍රයක් හෝ විවෘත ටෙන්ඩර් (Open Tender) පටිපාටියක් අනුගමනය කර තිබේද?
- CSN, නිලංග කරුණාරත්න සහ යෝෂිත රාජපක්ෂ අතර කිසියම් රහස් ගිවිසුමක් TRCSL වෙත ඉදිරිපත් කර තිබේද?
- මාධ්‍ය වාර්තාවල සඳහන් වන මාසික රුපියල් මිලියන 23.8ක ගෙවීම සහ වසර 20ක දීර්ඝකාලීන ගනුදෙනුව (රු. බිලියන 5.71ක්) මගින් සිදුවන්නේ නීතිවිරෝධී උප-බදුදීමක් (Sub-leasing) නොවේද?
“CSN නාමයේ වෙනසක් නෑ!”: TRCSL අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත්ගේ ලිපියෙන් එළියට ආ යථාර්ථය

පුරවැසි බලය සංවිධානයේ ලිඛිත විමර්ශන ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, TRCSL අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් මහතා විසින් 2026 ඔක්තෝබර් 02 වන දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත TRC/SM/BT/0035/11/UHF/26-001 දරන නිල ලිපිය යොමු කර ඇත.
එම නිල ලිපියෙන් TRCSL අධ්යක්ෂ ජනරාල්වරයා පැහැදිලිවම සඳහන් කරන්නේ:
“...අප සතුව ඇති තොරතුරු අනුව Carlton Sports Network (Pvt) Ltd (CSN) ආයතන නාමයෙහි කිසිදු වෙනසක් සිදු වී ඇති බවට අප වෙත දැනුම් දී නොමැත. මේ සම්බන්ධයෙන් CSN ආයතනය වෙත ලබා දී ඇති ජනමාධ්‍ය බලපත්‍රය සම්බන්ධයෙන් ඔබගේ අදහස් අප වෙත ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.”
මෙම රාජ්‍ය ලේඛනයෙන් ගවේෂණාත්මකව තහවුරු වන නිරුවත් සත්‍යය කුමක්ද? රාජ්‍ය පද්ධතිය තුළ හෝ TRCSL නිල වාර්තාවල ‘අහස TV’ නමින් කිසිදු නව සංඛ්‍යාත වෙන්කිරීමක් හෝ නාම වෙනසක් සිදුව නැති බවයි!
එසේ නම්, බලපත්‍රය තවමත් පවතින්නේ CSN නමට පමණක් බව TRCSL ප්රධානියාම ලිඛිතව පිළිගන්නේ නම්, අලුත් නමකින් එළියට බස්සන්නට හදන ‘අහස’ යනු වෙන කිසිවක් නොව, පැරණි CSN නාලිකාවම හැර වෙන කවුද?
කිසිදු විවෘත ටෙන්ඩරයකින් තොරව, රජයට හොරෙන්, CSN සංඛ්යාතයම ‘අහස TV’ නමින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම පැහැදිලිවම මහජන දේපළක් අවභාවිත කරමින් සිදුකරන මහා පරිමාණ නීතිවිරෝධී උප-බදුදීමක් (Sub-leasing) බව මෙම නිල ලිපිය තුළින්ම මනාව තහවුරු වේ.
රුපියල් බිලියන 5.7ක (කෝටි 571ක) කළු සල්ලි ගණිතය සහ නිලංගගේ වැනිලා ව්‍යාපෘතිය
මේ කියන අමුතු මාධ්‍ය මෙහෙයුමේ ඇත්ත තරම සහ මූල්‍යමය පරිමාණය රටේ ජනතාවට පැහැදිලි වන්නේ ගණන් හදලා බැලූ විටය:
- මාසික බදු කුලිය: රුපියල් මිලියන 23.8 (රු. 23,800,000)
- වසර 1ක කුලිය (මාස 12ට): රුපියල් මිලියන 285.6 (රු. 285,600,000)
- වසර 20ක දීර්ඝකාලීන බදු ගනුදෙනුව: රුපියල් බිලියන 5.71ක් හෙවත් රුපියල් කෝටි 571කට අධික මුදලක්!
ඉන් 50%ක් යෝෂිත රාජපක්ෂට ලැබෙන්නේ නම්:
- මාසිකව යෝෂිතගේ සාක්කුවට: රුපියල් මිලියන 11.9ක් (රු. කෝටි 1.19ක්)
- වසර 20ට සමස්ත මුදල: රුපියල් බිලියන 2.85ක් හෙවත් රුපියල් කෝටි 285කට වැඩි ධනස්කන්ධයක්!
මුළු ශ්‍රී ලංකාවේම වාර්ෂික සමස්ත වැනිලා අපනයන ආදායමම රුපියල් කෝටි 35ක් පමණක් වෙද්දී, රූපවාහිනී සංඛ්‍යාතයක බද්දට පමණක් රුපියල් බිලියන 5.7ක් විසි කරන්නට නිලංග කරුණාරත්නට මුදල් උල්පත් පෑදුණේ කෙසේද?
මේ විසි කරන්නේ අහිංසක මහජනතාව ‘කොටස්කරුවන්’ කරගනිමින් එකතු කරගත් අනාරක්ෂිත තැන්පතු මුදල්ද? නැතහොත් දේශපාලන ප්‍රබලයින්ගේ මුදල් විශුද්ධිකරණය කිරීමේ ක්‍රමවේදයක්ද?
TRCSL සංඛ්‍යාත සඳහා FIU මූල්‍ය පරීක්ෂාව අනිවාර්ය කිරීමට රජය සූදානම් වෙයි!
මහජන සංඛ්‍යාත මෙලෙස කළු සල්ලි සේදුම්හල් බවට පත්වීම වැළැක්වීම වෙනුවෙන් විකාශන බලපත්‍ර නිකුත් කිරීමේ සහ අලුත් කිරීමේ සමස්ත නියාමන රාමුවම සංශෝධනය කිරීමට වත්මන් රජය විශේෂ අවධානය යොමු කර තිබේ.
මෙතෙක් කල් සලකා බලනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ (MoD) සාම්ප්‍රදායික ආරක්ෂක නිෂ්කාශනයක් පමණි. එහෙත් ජාතික ආරක්ෂාවේ ප්‍රමුඛතම මුරගල වන්නේ ‘ජාතික ආර්ථිකය සුරක්ෂිත කිරීම’ බව පිළිගනිමින්, ඉදිරියේදී TRCSL සංඛ්‍යාත බලපත්‍ර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ (FIU) පූර්ණ මූල්‍ය විමර්ශන වාර්තාවක්ද අනිවාර්ය කිරීමට රජය සූදානම් වේ:
- ප්රාග්ධනයේ සැබෑ මූලාශ්‍රය (Source of Funds) විගණනය කිරීම: නාලිකාවක් පවත්වාගෙන යාමට යොදවන මුදල් සැබවින්ම උපයාගත් නීත්‍යානුකූල මූලාශ්‍රය පරීක්ෂා කිරීම.
- සැබෑ අවසාන ප්‍රතිලාභියා (Ultimate Beneficial Owner) තහවුරු කරගැනීම: නාමික අධ්යක්ෂවරුන් සහ ළමා අධ්යක්ෂවරුන් පිටුපස සැඟවුණු සැබෑ කළු සල්ලි හිමියන් හෙළිදරව් කිරීම.
- සංඛ්‍යාත Sub-leasing (උප-බදුදීම) සපුරා තහනම් කිරීම: ලබාගත් මහජන සංඛ්‍යාත කිසිදු තෙවන පාර්ශ්වයකට කුලියට දීම හෝ පැවරීම තහනම් කරමින්, හොර රහසේ උප-බදු දී ඇති බව හෙළි වුවහොත් වහාම එම සංඛ්‍යාතය අවලංගු කර රජයට පවරා ගැනීම.
අවසාන නිගමනය
කමන්ත තුෂාර මහතාගේ විමර්ශන ඉල්ලීම සහ TRCSL අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත යැවූ ලිපිය සංසන්දනය කිරීමේදී පැහැදිලි වන සත්‍යය නම්, ‘අහස TV’ යනු CSN හි නීතිවිරෝධී සෙවනැල්ලක් පමණක් බවයි.
මහජන සංඛ්‍යාත පලිහක් කරගනිමින්, වැනිලා ලේබල් අලවාගෙන මෙරට ක්‍රියාත්මක වන රුපියල් බිලියන 5.7ක මූල්‍ය නාඩගම්වලට තිත තැබීමට TRCSL, ජනමාධ්‍ය අමාත්‍යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙන්ම මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයද (FIU) වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුය.



