විශේෂ විමර්ශනාත්මක ලිපියකි
සමස්ත ලෝකයම ඩිජිටල් මාධ්‍ය අවකාශය වෙත වේගයෙන් සංක්‍රමණය වෙමින්, අධික පිරිවැයක් දරන සාම්ප්‍රදායික රූපවාහිනී සංඛ්‍යාත (TV Frequencies) අත්හරිමින් සිටින යුගයක, ශ්‍රී ලංකාව තුළ අතිශය විකාරරූපී මෙන්ම සැකකටයුතු මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ වී තිබේ. ඒ, මීට පෙර දේශපාලන බලහත්කාරකම්, මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ (Money Laundering) චෝදනාවලට ලක්ව වැසී ගිය CSN (Carlton Sports Network) නාලිකාවේ සංඛ්‍යාත ඔස්සේ ‘මාතා ටීවී’ (Matha TV) නමින් නව නාලිකාවක් විකාශනය කිරීමට සූදානම් වීමයි.

මෙම මෙහෙයුම පිටුපස සිටින්නේ ‘Agro Ventures’ නම් සැකකටයුතු වගා ආයෝජන ජාලයට අනුබද්ධිත ‘බිස්නස් මීඩියා ඉන්ටර්නැෂනල්’ (Business Media International) නම් සමාගමයි. HariDeshaya.lk හරහා අප විසින් සිදුකළ මූලික හෙළිදරව්වෙන් පසු, එම සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස කටයුතු කරන ප්‍රවීණ ඉංජිනේරු නිලූප රණවීර මහතා ෆේස්බුක් පිටුව හරහා “Show the evidence” (සාක්ෂි පෙන්වන්න) යැයි පවසමින්, නීතිමය පියවර ගන්නා බවට තර්ජනාත්මක ‘ඩිස්ක්ලේමරයක්’ ද සහිතව දීර්ඝ ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කර තිබිණි.
ඔහු අසන්නේ තමන්ගෙන් කිසිදු විමසීමක් නොකර, පිළිතුරු දීමේ අයිතිය (Right of reply) නොදී ලිපිය පළ කළේ මන්දැයි කියාය. ඇත්තෙන්ම හාස්‍යයට කරුණ නම්, පසුගිය ජූලි 14 වනදා එතුමාගේ පෞද්ගලික WhatsApp අංකයටම මේ සියලු අර්බුදකාරී මුදල් ගනුදෙනු, වගා මාෆියාව සහ සංඛ්‍යාත ප්‍රශ්න පිළිබඳව පැහැදිලි ප්‍රශ්න 11ක් ප්‍රධාන කතෘවරයා විසින් යොමු කර තිබියදී, එදා කිසිවක් නොදන්නා සේ මුණිවත රැක අද ‘සාක්ෂි කෝ’ කියා ප්‍රසිද්ධියේ මොරදීමයි.
රුපියල් බිලියන 5.7ක (කෝටි 571ක) CSN ‘මාතා ටීවී’ ගණිත ආශ්චර්යය!
මේ කියන අමුතු මාධ්‍ය ඩීල් එකේ ඇත්ත තරම සහ මූල්‍යමය පරිමාණය රටේ ජනතාවට පැහැදිලි වන්නේ ගණන් හදලා බැලුවාමය:
- මාසික බදු කුලිය: රුපියල් මිලියන 23.8 (රු. 23,800,000)
- වසර 1ක කුලිය (මාස 12ට): රුපියල් මිලියන 285.6 (රු. 285,600,000)
- වසර 20ක දීර්ඝකාලීන බදු ගනුදෙනුව: රුපියල් බිලියන 5.71ක් හෙවත් රුපියල් කෝටි 571කට අධික මුදලක්!
- ඉන් 50%ක් යෝෂිත රාජපක්ෂට ලැබෙන්නේ නම්:
- මාසිකව යෝෂිතගේ සාක්කුවට: රුපියල් මිලියන 11.9ක් (රු. කෝටි 1.19ක්)
- වසර 20ට සමස්ත මුදල: රුපියල් බිලියන 2.85ක් හෙවත් රුපියල් කෝටි 285කට වැඩි ධනස්කන්ධයක්!
මුළු ශ්‍රී ලංකාවටම වාර්ෂිකව වැනිලා අපනයනයෙන් ලැබෙන සමස්ත ආදායමම රුපියල් කෝටි 35ක් පමණක් වෙද්දී, රූපවාහිනී සංඛ්‍යාතයක බද්දට පමණක් රුපියල් බිලියන 5.7ක් විසි කරන්නට මුදල් උල්පත් පෑදුණේ කෙසේදැයි රටට හෙළිදරව් කළ යුතු නොවේද?
1. මහ බැංකුව ගිණුම් එකින් එක බ්ලොක් කරද්දී, මේ සල්ලි කාගෙද?
පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා දිගින් දිගටම අනතුරු ඇඟවූයේ නියාමනය නොවන වගා ආයෝජන (Plantation Schemes) වංචාවලට නොරැවටෙන ලෙසයි. හුදෙක් අනතුරු ඇඟවීම්වලින් පමණක් නොනැවතී, මහජන මුදල් තැන්පතු ලෙස එකතු කරගත් එවැනි වගා ආයෝජන ආයතන කිහිපයකම බැංකු ගිණුම් අත්හිටුවීමට (Freeze කිරීමට) පවා මහ බැංකුව මේ වන විටත් තීරණය කර තිබේ.
එවන් බරපතළ පසුබිමක රටේ සාමාන්‍ය ජනතාවට ඇති ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ:
- මේ ‘මාතා ටීවී’ සහ Agro Ventures පිටුපස කැරකෙන මහා ධනස්කන්ධය කාගේ මුදල්ද?
- මේවා අයිතිකරුගේ තනි පෞද්ගලික ආයෝජනද? නැතහොත් මීට පෙර ගිණුම් අත්හිටුවූ ආයතන මෙන්ම, මහජනතාව ‘කොටස්කරුවන්’ කරගනිමින් එකතු කරගත් අහිංසක මිනිසුන්ගේ අනාරක්ෂිත තැන්පතු මුදල්ද?
- මහ බැංකුවේ නියාමනයක් නැති මෙවැනි මුදල් කන්දරාවක් රූපවාහිනී නාලිකා පවත්වාගෙන යාමට යොදවන්නේ කාගේ කළු සෙවනැලි සුදු කරගැනීමටද?
2. TRCSL සංඛ්‍යාත ‘සබ්ලීස්’ දීමේ අරුම පුදුම නීතිය කුමක්ද?
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මගින් සංඛ්‍යාත (Frequencies) නිකුත් කරන්නේ රජයේ පොදු මහජන දේපළක් ලෙසය. මීට පෙර බරපතළ චෝදනා මැද අක්‍රිය වූ CSN එකට ලබාදුන් රජයේ සංඛ්‍යාතයක්, තුන්වන පාර්ශ්වයකට—එනම් ‘Business Media International’ හෝ ‘Agro Ventures’ වැනි බාහිර සමාගමකට—වසර 20ක දීර්ඝකාලීන බදු පදනමකට (Sub-lease) දෙන්නට නීතියෙන් ඉඩක් තිබේද?
- මේ සංඛ්‍යාතය නැවත විවෘත ටෙන්ඩර් කැඳවීමක් (Open Tender) හරහා ලබාගත් එකක්ද?
- නැතහොත්, පැරණි දේශපාලන ගනුදෙනුවලම දිගුවක් ලෙස රජයේ සංඛ්‍යාතය බලහත්කාරයෙන් ‘මාතා ටීවී’ ලෙස කරළියට එන්නේ කාගේ ආශිර්වාදයෙන්ද?
3. ප්‍රමුඛ නාලිකා වැටෙද්දී ‘වගාකරුවන්ට’ මාධ්‍ය පදින්න සල්ලි කොහෙන්ද?
රටේ ප්‍රමුඛ පෙළේ දැවැන්ත මාධ්‍ය ජාල පවා ආර්ථික අර්බුදය හමුවේ ආදායම් අහිමිව සේවකයින් කප්පාදු කරද්දී, හාල්-පොල් පවා පිටරටින් ගෙන්වන රටක “වැනිලා වගාකරුවෙකු” රුපියල් බිලියන 5.7ක් විසි කරමින් රූපවාහිනී නාලිකාවක් පවත්වාගෙන යන්නේ කෙසේද?
- වැනිලා කිලෝවක්වත් විකුණාගත නොහැකි පසුබිමක, මේ තරම් සුවිසල් මුදල් කන්දරාවක් ගලා එන්නේ කොහෙන්ද?
- මහජන මුදල් එකතු කරන ‘අනාරක්ෂිත තැන්පතු’ (Unregulated Deposits) මෙලෙස මාධ්‍ය ආයතනයකට පොම්ප කරමින් සිටින්නේ දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින නිසා නේද?
එදා ජූලි 14 වැනිදා නිලූප රණවීර මහතා මගහැරි නිශ්චිත WhatsApp ප්‍රශ්නාවලිය:
- මෙය පිරමිඩ් ජාවාරමක් (Pyramid Scheme) නොවන බව ඔප්පු කිරීමට ඇති සාක්ෂි මොනවාද?
- ‘BIO’ ආයතන 25ම වතු වගා (Plantation) ක්ෂේත්‍රයට අයත් ඒවද?
- ඔබේ ආයතනයේ ප්‍රධානතම හෝ විශාලතම ආදායම් මාර්ගය කුමක්ද?
- ආයතනයේ වාර්ෂික ආදායම කොපමණද?
- මෙහි සියලුම ආයෝජන නිලංග කරුණාරත්න මහතාගේ පුද්ගලික ආයෝජනද?
- එසේ නොමැති නම්, මෙහි වෙනත් කොටස්කරුවන් (Shareholders) සිටීද?
- වෙනත් කොටස්කරුවන් සිටී නම්, එම කොටස්කරුවන්ගේ නම් හෙළි කළ හැකිද?
- යෝෂිත රාජපක්ෂගේ ‘Proxy’ (නියෝජිත) අයෙකුට මාසිකව රුපියල් මිලියන 20කට අධික මුදලක් ගෙවන බවත්, ඉන් 50%ක් යෝෂිත රාජපක්ෂට ලැබෙන බවත් සමාජයේ කතාබහක් පවතී. මෙහි සත්‍යතාවක් තිබේද?
- වර්තමානයේ රටේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික නාලිකාවලට පවා ආදායම් උපයා ගැනීමේ ගැටලු පවතිද්දී, වගාකරුවෙකු මෙවැනි රූපවාහිනී නාලිකාවක් ආරම්භ කර පවත්වාගෙන යන්නේ කෙසේද? මෙහි ඇති යටි අරමුණ කුමක්ද?
- නිලංග කරුණාරත්න මහතාගේ පුත් ආකාශ් කරුණාරත්න වයස අවුරුදු 16ක හෝ 17ක පසුවන්නෙකු වුවත්, ඔහු මෙම ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනවා නේද?
- අතිරේක ප්‍රශ්නය: ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගත් අයෙකු බව පැවසුවත්, ඔහුගේ පාසල් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු කොතැනකවත් සඳහන් වී නැත. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?
උසාවි යන්න කලින් ගණන් හදලා ඉන්න!
වසර 25ක් ඉංජිනේරු වැඩ කළ මහත්මයෙකුට, රජයේ සංඛ්‍යාත හොර පාරෙන් අරන් ‘මාතා ටීවී’ දාන හැටි, මහ බැංකුව එකින් එක වගා එකවුන්ට් බ්ලොක් කරද්දී ඒ මහජන මුදල්වලින් මාධ්‍ය ආයතන නඩත්තු වෙන හැටි, සහ ජූලි 14 එවපු පණිවිඩ WhatsApp එකෙන් නොපෙනී ගිය හැටි තේරුම් ගන්න බැරිවීම ඇත්තෙන්ම විහිළුවකි.
“Show the Evidence” කියා මාධ්‍යවේදීන්ට නඩු දමන්නට පෙර, CSN සංඛ්‍යාත ටෙන්ඩර් නැතුව සබ්ලීස් ගත්තේ කොහොමද කියන එකයි, මහජනතාව කොටස්කරුවන් කරගත් මුදල්වලින් ‘මාතා ටීවී’ එක වෙනුවෙන් රුපියල් බිලියන 5.7ක් ගෙවන්න යන්නේ කොහොමද කියන එකයි ගැන රටට “Evidence” ටිකක් දුන්නොත් නේද වඩාත් විහිළු අඩු, ගෞරවනීය පිළිතුරක් වන්නේ?
නඩු දාන දවසට CSN එකට ගෙවන කෝටි 571ක බිල්පත් ටිකත්, මහ බැංකුවට ඉදිරිපත් කළ ‘වැනිලා ගිණුම් වාර්තා’ ටිකකුත් අරගෙනම එන්නැයි අපි ඉතා කාරුණිකව මතක් කර සිටිමු!



