Sunday, March 15, 2026
spot_img

Latest Posts

ඉන්දියන් සාගරයේ භූ දේශපාලනික අභියෝග

අනුරුද්ධිකා දිල්රංගි

2026 වසරේ මුල් කාර්තුව ජාත්‍යන්තර දේශපාලන කරළිය තුළ දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය. විශේෂයෙන් ම මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය වාතාවරණය ඉන්දියන් සාගරය දක්වා ව්‍යාප්ත වෙමින්, ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන් දැඩි රාජ්‍යතාන්ත්‍රික පරීක්ෂාවකට ලක් කරනසුලු විය. මෙම ලිපිය මඟින් විමසා බැලෙන්නේ, ඉරාන – අමෙරිකානු ගැටුම හමුවේ ශ්‍රී ලංකාව සිය ස්වෛරීභාවය සහ නොබැඳි පිළිවෙත ආරක්ෂා කරගනිමින්, නවදිල්ලියේ පැවති ‘රයිසිනා සංවාදය'( Raisina Dialogue 2026) හරහා ජාත්‍යන්තරය හමුවේ සිය රාජ්‍යතාන්ත්‍රික පරිණතභාවය ප්‍රදර්ශනය කළ ආකාරයයි.

පෙබරවාරි 28 දා

සමස්ත ලෝකයම කම්පනයට පත් කරමින් 2026 පෙබරවාරි 28වන දින අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කළ ඒකාබද්ධ මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර නායකයා වූ අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ නායකයන් රැසක් ඝාතනයට ලක්වූහ. මෙම සිදුවීමත් සමඟ ඉරානය සිය ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් අතර, අමෙරිකාව සහ ඊශ්‍රායලය කියා සිටියේ ඉරානය න්‍යෂ්ටික තර්ජනයක් වීම වැළැක්වීමට තමන් ක්‍රියා කරන බවයි. මෙම ගැටුම හුදෙක් ගොඩබිම් සීමාවන්ට පමණක් සීමා නොවී සාගර කලාපය දක්වා ද ව්‍යාප්ත විය.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ආ යුද්ධය

මෙම ගෝලීය ගැටුම ශ්‍රී ලංකාවට සෘජුවම බලපාන ලද්දේ 2026 මාර්තු 04 වන දිනයි. ඉන්දියාවේ පැවති ‘මිලාන් 2026’ ජාත්‍යන්තර නාවික අභ්‍යාසයට සහභාගි වී ආපසු යමින් තිබූ ‘අයිරිෂ් ඩිනා’ නමැති ඉරාන යුද නෞකාව ශ්‍රී ලංකාවේ විශේෂිත ආර්ථික කලාපයට (EEZ) ඇමරිකානු නාවුක සබ්මැරීනයකින් එල්ල කළ ටෝර්පිඩෝ ප්‍රහාරයකින් විනාශ විය.


මෙහිදී ශ්‍රී ලංකාවට පැවති අභියෝගය වූයේ මහා බලවතුන් දෙදෙනෙකුගේ ගැටුමකදී සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව 1949 දෙවන ජිනීවා ප්‍රඥප්තිය සහ 1982 සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (UNCLOS) යටතේ තමන්ට පැවරී ඇති බලතල අනුව ක්‍රියා කරමින්, විපතට පත් නාවිකයන් බේරා ගැනීමට කටයුතු කළේය. ඉන්දීය නාවික හමුදාවද මෙම මානූෂීය මෙහෙයුමට සහය ලබා දුන්නේය. අනතුරුව කාර්මික දෝෂයකට ලක් වූ ‘අයිරිෂ් බුෂර්’ නෞකාව සහ එහි නාවිකයන්ද හේග් ප්‍රඥප්තීන්ට අනුකූල ‘මධ්‍යස්ථ නීතිය’ (Law of Neutrality) යටතේ සිය භාරයට ගැනීමට ශ්‍රී ලංකා පියවර ගත්තේය.

උගුල් ප්‍රශ්න

මෙවන් පසුබිමක් තුළ නවදිල්ලියේ පැවති ‘Raisina Dialogue 2026’ සමුළුව ශ්‍රී ලංකාවට තීරණාත්මක විය. ‘ඉන්දියානු සාගරයේ අනාගතය’ තේමාව යටතේ පැවති සංවාදයේ දී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වෙත ප්‍රවීණ ඉන්දීය මාධ්‍යවේදිනියකගෙන් ‘උගුල් ප්‍රශ්න’ මාලාවක් එල්ල විය. මාධ්‍යවේදින් මෙබඳු ප්‍රශ්න නගන්නේ නායකයින්ගේ සැබෑ ස්ථාවරයන් හෙළිකර ගැනීමට සහ විවාදාත්මක ප්‍රකාශ ලබා ගැනීමට වුවද, අමාත්‍යවරයා එම සියලු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන්නේය.


එහිදී එල් වූ පළමු උගුල් පැනය වූයේ ශ්‍රී ලංකා මුහුදු සීමාව අසලදී එල්ල වූ ඇමරිකානු ප්‍රහාරය ශ්‍රී ලංකාව සලකන්නේ කෙසේද යන්නයි. මෙය ශ්‍රී ලංකාව ඇමරිකාවට හෝ ඉරානයට පක්ෂව ස්ථාවරයක් ගන්නේ ද යන්න පරීක්ෂා කිරීමකි. මීට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතිය සහ මානුෂය මූලධර්ම අනුගමනය කරන බවයි. එමගින් කිසිදු බලවතෙකු අමනාප කර නොගෙන සිය නොබැඳි පිළිවෙත ආරක්‍ෂා කර ගැනීමට ඔහුට හැකි විය.
දෙවනුව, ශ්‍රී ලංකාව මෙම ගැටුමේදී කිසියම් පාර්ශ්වයකට සහාය දක්වනවාද යන්න විමසූ විට, ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකාව පැත්තක් නොගන්නා බවත්, ජාත්‍යන්තර නීතියට ගරු කරන බවත්ය. තෙවනුව, ඉරාන නාවිකයන් ආපසු යැවීම සම්බන්ධයෙන් ඇමරිකාව බලපෑම් කරන්නේද යන්නට ඔහු දුන් පිළිතුර වූයේ, දිවිගලවාගත් පුද්ගලයන්ට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතියට අනුව මානුෂිකව සලකන බවයි.

නෛතික සහ ආරක්ෂක අභියෝග

ගලවගත් නාවිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නෛතික වගකීම් පිළිබඳවද ප්‍රශ්න මතු විය. ඇමරිකා එක්සත් ජනපදය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර තිබුණි.


ඔවුන්ව වහාම ඉරානයට නොයැවීම, රඳවාගෙන අධීක්ෂණය කිරීම් සහ ඔවුන්ව ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීමට ඉරානයට ඉඩ නොදීමයි. කෙසේ වෙතත්, ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ශ්‍රී ලංකාවට පූර්ණ ස්වාධීනත්වය ඇති බව ඇමෙරිකාවද පිළිගෙන තිබුණි. විදේශ අමාත්‍යවරයා මෙහිදී UNCLOS සහ මානුෂික නීතියට අනුකූලව ක්‍රියා කරන බව පවසමින් සියලු පාර්ශවයන් සමබර කිරීමට සමත් විය.


තවද, ශ්‍රී ලංකාවට මෙතරම් ආසන්නව ප්‍රහාරයක් එල්ල වීම හරහා මෙරට ආරක්ෂක සහ නිරීක්ෂණ දුර්වලතා පවතින බව පෙන්වීමට මාධ්‍යවේදනය උත්සාහ කළාය. අමාත්‍ය විජිත හේරත් මහතා එම තර්කය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතාව වන්නේ මුහුදේ දී අනතුරට පත්වන ජීවිත බේරා ගැනීම සහ ආරක්ෂා කිරීම බවයි.

සක්‍රීය මධ්‍යස්ථභාවය

මෙම සිදුවීම් මාලාව හරහා ශ්‍රී ලංකාව ලොවට පෙන්නුම් කළේ ‘සක්‍රීය මධ්‍යස්ථභාවය’ (Active Neutrality) නැමැති ප්‍රතිපත්තියයි. එහි අර්ථය වන්නේ ගැටලු මගහැර සිටීම නොව, ජාත්‍යන්තර නීති රීතිවලට අනුකූලව ප්‍රශ්න විසඳීමට අපක්ෂපාතීව සහ සක්‍රීයව දායක වීමයි. බලවතුන් සිය මිලිටරිමය ශක්තිය ප්‍රදර්ශනය කරන විට, කුඩා රාජ්‍යයකට ඇති එකම සහ ශක්තිමත් ආරක්ෂක පවුර වන්නේ ‘ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යය’ බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

එසේම, සාම්ප්‍රදායික ආරක්ෂක දෘෂ්ටිකෝණයෙන් ඔබ්බට ගොස් ඉන්දියානු සාගරය ‘තිරසර සංවර්ධන’ කලාපයක් ලෙස දැකීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය. ඉන්දියානු සාගර කලාපීය සංගමයේ ( IORA) වත්මන් නායකත්වය දරන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන් ‘නිල් ආර්ථික රාමුව’ (Blue Economy Framework) සහ දේශගුණික විපර්යාස පිළිබඳව වැඩපිළිවෙළ මෙහිදී ඇගයීමට ලක්විය. සාගර යනු යුද නැව් ගැවසෙන පිටියක් නොව, කලාපීය ආර්ථිකයන් සවිබල ගන්වන පොදු සම්පතක් බව ඔහු ලොවටම සිහිපත් කළේය.

ප්‍රතිමත්තිමය ගැඹුර

සමාජ මාධ්‍ය තුළ ඇතැම් පිරිස් අමාත්‍යවරයාගේ ඉංග්‍රීසි භාෂා හැසිරවීම විවේචනය කළද, විචාරශීලී විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ වැදගත් වන්නේ වචනවල හැඩය හැඩය නොව පිළිතුරේ ඇති උපායමාර්ගික ගැඹුර බවයි. ලෝකයේ ප්‍රබල නායකයන් පවා සිය ස්වදේශික අනන්‍යතාව සමග පෙනී සිටින බවත්, වැදගත් වන්නේ ප්‍රශ්නයට දෙන පිළිතුරේ තාර්කික වැදගත්කම බවත් මෙහිදී අවධාරණය විය. විජිත හේරත් මහතා රයිසිනා වේදිකාවේ දී ශ්‍රී ලංකාවේ නොබැඳි ප්‍රතිපත්තිය පාවා නොදෙමින් කටයුතු කිරීම ලොව පිළිගත් ජයග්‍රහණයකි.

අනාගතයට මඟපෙන්වීම

ඉරාන ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාව ගත් ස්ථාවරය අනුමත කරමින් ඇමෙරිකානු රජය පවා නිල සහතිකයක් නිකුත් කිරීම, මෙරට රාජතන්ත්‍රික නිලධාරීන්ගේ වෘත්තීය මට්ටම විදහා පෑමකි. රයිසනා සංවාදය 2026 යනු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ වැදගත් කඩඉමකි. මහා බලවතුන්ගේ යුදමය හා ආර්ථික අභිලාෂයන් මැද, කුඩා රාජ්‍යකට සිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා හැකි ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාව ලොවටම ආදර්ශයක් සපයා ඇත.


අවසාන වශයෙන්, ශ්‍රී ලංකාව දැන් ලෝකය සමඟ ගනුදෙනු කරන්නේ රාජතාන්ත්‍රික පරිණතභාවයකින් යුතුවය. ශ්‍රී ලංකාව කිසිදු ලෝක බලවතෙකුගේ ගැති රාජ්‍යයක් නොව, ස්වාධීන තීන්දු ගන්නා ස්වෛරී රාජ්‍යයක් බව රයිසිනා සමුළුවේදී යළිත් තහවුරු විය. වත්මන් රජයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නිවැරදි මාවතක ගමන් කරන බවට මෙය කදිම සාක්ෂියකි.

අනුරුද්ධිකා දිල්රංගි

Latest Posts

spot_imgspot_img