Latest Posts

ගොවියා මරන – මෝල් හිමියන් රකින ආණ්ඩුවේ හෙළුව මෙන්න: කන්න හතරක් තිස්සේ දීපු කෙබර අහවරයි!

කුඹුරට බැහැලා ලේ වතුර කරලා හදපු වී ටිකට සාධාරණ මිලක් ඉල්ලද්දී ආණ්ඩුව කරන්නේ මොකක්ද? ප්‍රශ්නයට විසඳුම් දෙනවා වෙනුවට වේදිකා උඩ නාට්‍ය දානවා! “හොරු අල්ලනවා” කියලා ජනතාවට විනෝදය සපයමින්, ගොවියාගේ අඳෝනාව යටගහන්න හදන මේ නින්දිත සෙල්ලම දැන්වත් නතර කරපල්ලා! අද (2026.09.14) නුගේගොඩදී මාධ්‍ය හමුවක් තියමින් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව හෙළි කළේ ආණ්ඩුවේ මේ නිරුවතයි.

“ඊළඟ කන්නේ බලමු” – කන්න හතරක් තිස්සේ දීපු පච අතේ පත්තුයි!

“මේ කන්නේ ඉවසන්න, ඊළඟ කන්නේ විසඳුමක් දෙන්නම්…” ජනාධිපතිවරයා රැස්වීම්වල කියන්නේ එකම සින්දුවයි. හැබැයි මේ වෙනකොට ආණ්ඩුව කන්න හතරක් තිස්සේ ගොවියන්ව ඇන්දුවා!

  • එක පාරක් කිව්වා ගබඩා නෑ කියලා!
  • ඊළඟ පාර කිව්වා සංඛ්‍යා දත්ත නෑ කියලා!

දැන් කතන්දර කියන එකම රජයේ රස්නෙ වෙලා. ඇමැතිවරු කියනවා “ගොවියා රජකමට සුදුසුයි කිව්වේ වැරදිලා” ලු! ගොවියාට අපහාස කරමින්, ප්‍රශ්නය යටගහන්න හදන ආණ්ඩුවට දත්තවලින්ම උත්තර මෙන්න!

අක්කරයකට රුපියල් 24,890ක පොල්ලක්!

පසුගිය කන්නයට සාපේක්ෂව මෙවර අක්කරයක වී නිෂ්පාදන වියදම රුපියල් 24,890කින් අහස උසට ගිහින්! ආණ්ඩුව සංඛ්‍යා දත්තවලට ආස හින්දා මෙන්න ගණන් හිලව්:

  • යූරියා කිලෝ 100ක්: රු. 2500කින් ඉහළට!
  • MOP කිලෝ 25ක්: රු. 2400කින් ඉහළට!
  • TSP කිලෝ 12ක්: රු. 610කින් ඉහළට!
  • බිත්තර වී වියදම: රු. 1000කින් ඉහළට!
  • ටැක්ටර් කුලිය: රු. 5000කින් ඉහළට!
  • කම්කරු කුලිය (10 දෙනෙකුට): රු. 5000කින් ඉහළට!
  • අස්වැන්න නෙළන යන්ත්‍ර වියදම: රු. 5000කින් ඉහළට!
  • වල් නාශක සහ කෘමිනාශක: රු. 3150කින් ඉහළට!

මෙන්න ආණ්ඩුව රටට හංගන ඇත්ත! වියදම මෙහෙම වැඩි වෙද්දී ගොවියා සාධාරණ මිලක් ඉල්ලන එක වැරදිද?

සහතික මිල යන්නේ මෝල් මුදලාලිලාගේ සාක්කුවට!

ආණ්ඩුව “සහතික මිලක්” ගැන කියවන්නේ ජනතාවගේ ඇස්වලට වැලි ගහන්න. රටේම තියෙන්නේ මෙට්‍රික්ටොන් ලක්ෂ 15-20 අතර ගබඩා පහසුකම්. ඒකෙනුත් ආණ්ඩුවට තියෙන්නේ මෙට්‍රික්ටොන් ලක්ෂ 2-3ක සොච්චමක් විතරයි! හැබැයි ඩඩ්ලි සිරිසේනට විතරක් මෙට්‍රික්ටොන් ලක්ෂ එකහමාරක ගබඩා තියෙනවා.

ඒකාධිකාරී මෝල් හිමියන් ඉදිරියේ දණින් වැටුණු ආණ්ඩුව නිසා, පෞද්ගලික අංශය තවමත් වී ගන්නේ උද්ධමනයටත් කලින් තිබුණු පරණ කුණු කොල්ලයටමයි! (වියලි වී කිලෝව රු. 100-105යි, තෙත වී රු. 85-90යි). ගොවියාගෙන් අඩු ගාණට අරන්, පාරිභෝගිකයාට සහල් කරලා විකුණන්නේ එකට දෙකක් ලාභ තියාගෙන.

වේදිකා නාට්‍ය නතර කරපල්ලා: නැත්නම් මහපාරේදී හමුවෙමු!

ජනතාව ජාජබයට බලය දුන්නේ පරණ දූෂිත විපක්ෂය වගේ සංදර්ශන පවත්වන්න නෙවෙයි! දුප්පත් ගොවියාගේ, කම්කරුවාගේ පැත්තේ හිටගනී කියලා හිතලා. හැබැයි අද ආණ්ඩුව කරන්නේ පන්නපු රාජපක්ෂලාටයි, රනිල්ලාටයි ආයෙත් අත් තටු එන වැඩ විතරයි!

වහාම වී සඳහා සාධාරණ මිලක් දීපල්ලා! කෘෂි යෙදවුම්වල බදු වහාම අඩු කරපල්ලා! නැත්නම් රටේම ගොවි ජනතාව එකතු කරගෙන මහපාරේ දැවැන්ත අරගලයකින් මේ ආණ්ඩුවට උත්තර දෙන්න ජන අරගල සන්ධානය ලෑස්තියි!

Latest Posts

spot_imgspot_img