Latest Posts

“නීති අධ්‍යක්ෂ නැතිව වසර 2ක් වරාය නගරයේ කළේ මොනවාද?” ශානකියන්ගෙන් වරාය නගර සභාපති හර්ෂ අමරසේකරට සැර ප්‍රහාරයක්!

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂවරයෙකු බඳවා ගැනීම සඳහා විටින් විට විශාල ප්‍රචාරණයක් ලබා දෙමින් දැන්වීම් පළ කළද, පසුගිය වසර දෙක පුරාම එම තනතුරට කිසිවෙකුත් බඳවා නොගෙන හිටි අඩියෙන්ම මඟහැර සිටින්නේ කුමන ගූඪ හේතුවක් නිසාද? නීතිමය අධීක්ෂණය හිතාමතාම වසන් කරමින්, තමන්ට අවශ්‍ය පරිදි හිතුමනාපයේ තීරණ ගැනීමට ඉඩ සැලසෙන පරිදි මෙම තනතුර පුරප්පාඩුව තබාගත්තේ කාගේ වුවමනාවටද? කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතාගෙන් අද මුළු රටටම දැනගැනීමට ඇති ප්‍රධානම ප්‍රශ්නය එයයි! පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේදී එල්ල කරන ලද බරපතළ ප්‍රහාරාත්මක හෙළිදරව්ව හමුවේ, සභාපති හර්ෂ අමරසේකර මහතාගේ නායකත්වය සහ කොමිෂන් සභාවේ සමස්ත පාරදෘශ්‍යභාවයම දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක්ව ඇත.

ශානකියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ සහ කෙළින්ම නැඟූ ප්‍රහාරාත්මක ප්‍රශ්න සියල්ල මෙන්න:

1. නීති අධ්‍යක්ෂවරයෙක් නැතිව වසර 2ක් තිස්සේ ගත් තීරණ නීත්‍යානුකූලද?

ලංකාවේ විශාලතම ආයෝජන කලාපය පාලනය කරන, පුළුල් නියාමන හා නීතිමය වගකීම් සහිත කොමිෂන් සභාව වසර දෙකක් තිස්සේ නීති අධ්‍යක්ෂවරයෙකු පවා නොමැතිව ක්‍රියාත්මක වීම මහා පරිමාණ නීති විරෝධී ජිල්මාට් එකකට මඟපාදා ගැනීමක් බව ශානකියන් රාසමාණික්කම් මහතා පෙන්වා දුන්නේය.

  • ශානකියන් නැඟූ සෘජු ප්‍රශ්නය: “මෙවැනි කොමිෂන් සභාවක් නීති අධ්‍යක්ෂවරයෙකු නොමැතිව වසර දෙකක් ක්‍රියාත්මක වන්නේ කෙසේද? කොමිෂන් සභාව තීරණ ගනිමින් සහ සිය කාර්යයන් ඉටු කරන්නේ නම්, එම තීරණ නීත්‍යානුකූල බව සහතික කිරීම සඳහා නීතිමය උපදෙස් හා අධීක්ෂණය ලබා දෙන්නේ කවුරුන්ද?”
  • සභාපති හර්ෂ අමරසේකරගෙන් අසන ප්‍රශ්නය: ජනාධිපති නීතිඥවරයෙකු ලෙස ඔබ සභාපතිත්වය දරන ආයතනයක නීතිමය ප්‍රධානියෙකු නොමැතිව වසර දෙකක් තිස්සේ ලබාගත් තීරණ, අත්සන් කළ ගිවිසුම් සහ නියාමන අනුමැතීන්වල නීත්‍යානුකූලභාවය සහතික කරන්නේ කෙසේද?

2. වැටුප් විස්තර හොරෙන් හංගන්නේ කාගේ මඩිස්සල පිරෙන නිසාද?

කොමිෂන් සභාවේ නිලධාරීන් ලබාගන්නා අධික වැටුප් සහ වරප්‍රසාද පිළිබඳ තනි තනි විස්තර ශානකියන් රාසමාණික්කම් මහතා විසින් ඉල්ලා සිටියදී, බලධාරීන් විසින් සමස්ත වැටුප් වියදම පමණක් ඉදිරිපත් කර තනි තනි නිලධාරීන්ගේ වැටුප් තොරතුරු වසන් කර ඇති බව ඔහු හෙළි කළේය.

  • ශානකියන් නැඟූ සෘජු ප්‍රශ්නය: “මම එක් එක් නිලධාරියාගේ වැටුප් විස්තර විශේෂයෙන් ඉල්ලා සිටියා. නමුත් ලබාදී තිබෙන්නේ සමස්ත වැටුප් වියදම පමණයි. එය මා ඉදිරිපත් කළ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් නොවේ. තනි තනි නිලධාරීන්ගේ වැටුප් තොරතුරු හෙළි නොකරන අතරම, වසර දෙකක් තිස්සේ නීති අධ්‍යක්ෂවරයෙකුද නොමැති නම්, කොමිෂන් සභාවේ පාරදෘශ්‍යභාවය පිළිබඳ සාධාරණ ප්‍රශ්න මතුවෙනවා. මේ කාලය තුළ කොමිෂන් සභාව ක්‍රියාත්මක වූ ආකාරය සහ අවශ්‍ය නීතිමය අධීක්ෂණය ලබාදීම සඳහා ගෙන ඇති විධිවිධාන මොනවාද යන්න රජය පැහැදිලි කළ යුතුයි.”

3. රාජ්‍ය බැංකුවලින් ගහපු බිලියන ගණන්වල ණය කපා හැරියේ කාගේ ගිණුම් රැකගන්නද?

ශානකියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා හෙළිදරව් කළ පරිදි, ප්‍රතිව්‍යුහගත කිරීම් නාමයෙන් රාජ්‍ය බැංකු පද්ධතිය තුළ රුපියල් බිලියන ගණනක ණය අයකර ගැනීමකින් තොරව අත්තනෝමතික ලෙස කපා හැර ඇත. “බැංකු රහස්‍යභාවය” නැමැති පලිහට මුවා වී පාර්ලිමේන්තුවේ මූල්‍ය අධීක්ෂණ බලය හිරකිරීමට සහ විගණනයෙන් බේරීමට උත්සාහ දරන බවටද ඔහු සෘජුවම චෝදනා කළේය.

  • ශානකියන් නැඟූ සෘජු ප්‍රශ්න සහ හෙළිදරව්:


    1. “රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු අවස්ථා තිබෙන බව මම පිළිගන්නවා. නමුත් රටේ මූල්‍ය බලය පාර්ලිමේන්තුව සතුයි. ඒ නිසා අවම වශයෙන් මෙම ගනුදෙනු සම්බන්ධ ප්‍රධාන ලේඛන සහ තොරතුරු අදාළ පාර්ලිමේන්තු කමිටුවලට ලබාදිය යුතුයි.”
    2. “මෙම අයකර නොගත් ණය ජනතාවගේ බදු මුදල් සමඟ සෘජුව සම්බන්ධයි. ඒ නිසා රාජ්‍ය බැංකු ණය ලබාදෙන ආකාරය, විශාල ණය අයකර ගැනීම, ප්‍රතිව්‍යුහගත කිරීම හෝ කපා හැරීම සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගැනීමේ අයිතියක් ජනතාවට තිබෙනවා.”
    3. “මෙහි ප්‍රශ්නය වන්නේ කිසියම් ණයගැතියෙකුගේ රහස්‍ය තොරතුරු මහජනතාවට හෙළි කළ යුතුද යන්න පමණක් නොවේ. ප්‍රශ්නය වන්නේ රාජ්‍ය ආයතන නිසි ලෙස කටයුතු කර තිබේද සහ මහජන සම්පත් ආරක්ෂා කර තිබේද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුවට ප්‍රමාණවත් තොරතුරු තිබේද යන්නයි.”
    4. “රුපියල් බිලියන ගණනක ණය අයකරගෙන නොමැති නම්, එම මුදලට සිදුවූයේ කුමක්ද, වගකිවයුත්තන් කවුරුන්ද, ණය අයකර ගැනීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද සහ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද යන්න පාර්ලිමේන්තුවට ප්‍රශ්න කිරීමට හැකි විය යුතුයි.”

4. මන්ත්‍රීවරුන්ට බැංකු එව් තර්ජනාත්මක ලිපි ගැන හෙළිදරව්ව!

2021 සහ 2022 වසරවලදී තමන් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (COPE) හමුවේ මෙම කරුණු ප්‍රශ්න කළ බව මතක් කර දුන් ශානකියන් රාසමාණික්කම් මහතා, ජනතා නියෝජිතයෙකු ලෙස තම වගකීම ඉටු කරමින් මහජන මුදල් වෙනුවෙන් පෙනී සිටීම නිසා ඇතැම් රාජ්‍ය බැංකු තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනාත්මක ලිපි පවා එවා තිබූ බව හෙළි කළේය.

ශානකියන් අවසාන වශයෙන් තැබූ දැඩි ප්‍රකාශය: “මහජන මුදල් භාවිත කරන්නේ කෙසේද සහ රාජ්‍ය ආයතන එම සම්පත් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න දැනගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා. ජනතා නියෝජිතයෙකු ලෙස රජයෙන් ප්‍රශ්න කිරීම, රාජ්‍ය ආයතනවලින් ප්‍රශ්න කිරීම සහ ඒවා වගවීමට ලක් කිරීමට අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටීම මගේ වගකීමක්.”

සභාපති හර්ෂ අමරසේකර මහතාට කෙළින්ම කියන කතාව!

ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා වරාය නගර කොමිෂන් සභාවේ සභාපති පුටුවේ වාඩිවී සිටින්නේ මහජන සම්පත් සහ ජාතික අයිතීන් පාලනය කිරීමට මිස, නීතිමය හිඩැස් තබාගෙන තොරතුරු සඟවන අඳුරු ගනුදෙනුවලට ආවරණය සැපයීමට නොවේ.

ශානකියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී නැඟූ මෙම බරපතළ ප්‍රශ්න හමුවේත්, නීති අධ්‍යක්ෂවරයෙකු බඳවා ගැනීමට දැන්වීම් දමා නාඩගම් නැටීම හමුවේත් සභාපතිවරයා ඇතුළු කොමිෂන් සභාව වහාම රට හමුවේ කරුණු පැහැදිලි කළ යුතුය. එසේ නොමැති නම්, මෙම මෙගා ජිල්මාට් එක පිටුපස ඇති වගකීමෙන් මිදීමට සභාපතිවරයාට කිසිසේත්ම හැකියාවක් නැත!

Latest Posts

spot_imgspot_img