ආචාර්ය නන්දා මාලිනී මහත්මිය ගායනා කළ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිත කිසිදු ගීතයක් වාණිජ්‍ය පරමාර්ථයෙන් යුතුව නැවත ගායනා කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම හෝ ප්‍රචාරය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ උපදෙස් මත ‘කැපිටල් සිටි ලෝ’ (Capital City Law) නීතිඥ සමාගම විසින් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.
පැනවූ තහනමට අයත් කරුණු:
- වාණිජ ගායනා සහ ප්රතිනිර්මාණ: අදාළ ගීත වාණිජ අරමුණින් යුතුව නැවත ගායනා කර පටිගත කිරීම, ‘කවර් වර්ෂන්ස්’ (Cover Versions) ලෙස ප්‍රතිනිර්මාණය කිරීම හෝ ප්‍රචාරය කිරීම සපුරා තහනම් වේ.
- ප්‍රසංගවල ගායනා කිරීම: උපහාර හෝ අනුස්මරණ ප්‍රසංග නාමයෙන් ගෘහස්ථ හෝ එළිමහන් වේදිකාවල මෙම ගීත ගායනා කිරීම වළක්වා ඇත.
- මාධ්‍ය විකාශනය සහ අයිතීන්: ගීත වාණිජ පරමාර්ථයෙන් මහජනතාව වෙත විකාශය කිරීම හෝ රචකයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන අයුරින් භාවිත කිරීම නීති විරෝධී වේ.
මෙම නීතිමය ක්‍රියාමාර්ගය 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 9 සහ 10 වන වගන්තිවලට අනුකූලව ගෙන ඇත. එමෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්න සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) සහ සේ මියුසික් (Cey Music) යන සාමූහික කළමනාකරණ සංවිධානවල රෙගුලාසිද ඊට පදනම් වී තිබේ.
මීට පෙර මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු අංක 22070/05 සහ අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තහවුරු කරන ලද SC Appeal No: 155/2014 තීන්දුව මඟින්ද මෙම ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය සහ වාණිජ අයිතිය තහවුරු කර ඇත.
තහනම අදාළ නොවන අවස්ථා:
මෙම වළක්වාලීම වාණිජ්‍ය නොවන අරමුණින් පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළ සිදුකරන අධ්‍යාපනික ගායනා සඳහා මෙන්ම ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන ආධුනික ගායනා තරග සඳහා අදාළ නොවන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



