අද අපේ සමාජයේ හෝ ආයතන පද්ධතිය ඇතුළේ සේවකයෙක් අසනීප වුණොත්, නැත්නම් දීර්ඝකාලීන රෝගයකට ගොදුරු වුණොත් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මොකක්ද? “දැන් මෙයාගෙන් වැඩක් ගන්න බැහැ” කියලා හිමින් සැරේ පැත්තකට කරන එක, නැත්නම් රක්ෂාවෙන් අයින් කරලා දාන එක නේද? ලංකාවේ වේවා, වෙනත් රටක වේවා, බොහෝ පෞද්ගලික වගේම රාජ්‍ය අංශයේ පවා අපිට නිතරම දකින්න ලැබෙන්නේ ලාභය සහ පලදායිතාවය විතරක් මුල් කරගත්තු ඒ කෲර යථාර්ථයයි.
නමුත්, යුරෝපයේ ඉතාලියෙන් ඇහුණු මේ පුවත, ආයතන සංස්කෘතියට විතරක් නෙවෙයි සමස්ත ලෝකයටම දුන්නේ ඉතාම බලවත් මානුෂීය පාඩමක්.


ඉතාලි කාන්තා ‘සීරී ඒ’ (Serie A) පාපන්දු ලීගයට මුලින්ම සුදුසුකම් ලබාගනිමින් අලුත් බලාපොරොත්තුවකින් තරග බිමට පිවිසීමට සූදානම් වන ‘කෝමෝ 1907’ (Como 1907) ක්‍රීඩා සමාජය, තමන්ගේ දක්ෂ ඉදිරිපෙළ ක්‍රීඩිකා රොබර්ටා පිච්චි (Roberta Picchi) වෙනුවෙන් ගත්තු තීරණය අද මුළු ලෝකයේම හදවත් අතික්‍රමණය කරලා ඉවරයි.
පසුගිය තරග වාරයේදී ‘කෝමෝ’ කණ්ඩායම සීරී ‘බී’ ශූරතාව දිනාගනිමින් ඉතිහාසයේ පළමු වතාවට ඉහළම කාන්තා පාපන්දු ලීගයට සුදුසුකම් ලැබූ ගමනේදී 34 හැවිරිදි මෙම ඉතාලි ක්‍රීඩිකාව අමතක නොවන මෙහෙවරක් ඉටු කළා. නමුත් අලුත් ලීගයට යන්න ඔන්න මෙන්න තියෙද්දී ඇයට අසන්නට ලැබුණේ දෛවයේ අනුකම්පා විරහිත ආරංචියක්. ඒ, ඇය පියයුරු පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි.
සාමාන්‍යයෙන් ක්‍රීඩා ලෝකයේදී ක්‍රීඩකයෙකුට මෙවැනි දරුණු රෝගයක් හැදුණාම සිද්ධ වෙන්නේ කොන්ත්‍රාත්තුව අහෝසි වී ගෙදර යන්නට සිදුවීමයි. නමුත් ‘කෝමෝ’ බලධාරීන් කළේ මුළු ලෝකයම විශ්මයට පත් කළ මිනිස්කමේ ක්‍රියාවක්. ඇගේ කොන්ත්‍රාත් කාලය 2027-28 තරග වාරයේ අවසානය දක්වාම දීර්ඝ කිරීමට ඔවුන් කටයුතු කළා!
ඒ විතරක් නෙවෙයි, ඉදිරි මාස කිහිපයේදී ඇයට අවශ්‍ය සියලුම විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා උපරිම සහයෝගය ලබාදීමටත්, ඇගේ පවුලට අවශ්‍ය සෑම ශක්තියක්ම වීමටත් කෝමෝ වෛද්‍ය කණ්ඩායම සූදානම්.
මේ අනගි මිනිස්කම ගැන කෝමෝ ක්‍රීඩා සමාජය තැබූ සටහන ඕනෑම ආයතන ප්‍රධානියෙකුගේ ඇස්වලට කඳුළු උනන සුලුයි:
"මේ අමාරු මොහොතේදී කෝමෝ 1907 සමාජයේ සෑම දෙනාම රොබර්ටා වෙනුවෙන් පෙනී සිටිනවා. ඉදිරි මාස කිහිපය තුළ ඇයට සහ ඇගේ පවුලට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දීමට අපි සූදානම්. ඇගේ සුවපත් වීම සහ ප්‍රතිකාර කෙරෙහි අවධානය යොමු කිරීමට හැකි වන පරිදි, මේ අවස්ථාවේ ඇගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස අපි සැමගෙන් ඉල්ලා සිටිනවා."
තමන්ගේ ජීවිතයේ අමාරුම තරගයට මුහුණ දෙන රොබර්ටා පිච්චි, තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබුණේ ආයතනයකින් ලැබුණු ඒ මානුෂීය රැකවරණය ඇයට කොච්චර ශක්තියක් වුණාද යන්නයි.
"ජීවිතයේ කිසිම දෙයක් සුළු කොට තකන්න බැහැ. මේ වගේ ආදරයක් සහ රැකවරණයක් ලබන්න මම ඇත්තටම වාසනාවන්තයි. දැන් මට තියෙන්නේ මගේ ජීවිතයේ ලොකුම තරගයට මුහුණ දෙන්න... මම ඊටත් වඩා වැඩි ශක්තියකින් සහ අධිෂ්ඨානයකින් නැවතත් පිටියට එනවා නිසැකයි!"
අපේ රටේ වේවා, වෙනත් රටක වේවා, ලාභය පස්සෙම දුවමින් සේවකයා අසනීප වුණාම හුදකලා කරන සංස්කෘතියකට මෙය කදිම නිහඬ පිළිතුරක්. කෙනෙක් අසනීප වුණාම අතහැරලා දානවා වෙනුවට, “උඹ ආයෙත් හොඳ වෙලා එනකල් අපි උඹේ පස්සෙන් ඉන්නවා” කියන ඒ ආරක්ෂිත හැඟීම දෙන එක තරම් සේවකයෙකුට දිය හැකි ලොකුම ශක්තිය තවත් නැත.
සෙලීනා මැසන්ටිනිගේ (Selena Mazzantini) පුහුණුකාරීත්වය යටතේ කෝමෝ කණ්ඩායම ලබන සැප්තැම්බර් 26 වනදා ‘ඒසී මිලාන්’ කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතයි. පිටිය ඇතුළේ තරග ජයග්‍රහණය කිරීමටත් පෙර, මනුෂ්‍යත්වය හඳුනන ඒ උතුම් තීරණය නිසා ‘කෝමෝ 1907’ කණ්ඩායම මුළු ලෝකයේම ආදරය දිනාගෙන අවසන්!



