(එක්සත් ජාතික පක්ෂයේ හිටපු සහකාර මහ ලේකම් අනුර රත්නායක මහතා විසින්, මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු කතානායකවරයෙකු සහ ආණ්ඩුකාරවරයෙකු වූ අල්හාජ් එම්. ඒ. බාකීර් මාකාර් ශ්‍රීමතාණන්ගේ චරිතාපදානය හා සේවය ඇගයීමට ලක් කරමින් තබන ලද සම්පූර්ණ මතක සටහන පහතින් දැක්වේ.)
මම 1973 දී එක්සත් ජාතික පක්ෂයට බැඳෙන විට වයස 17 පහු වුනා පමණි.එවකට මම ආනන්ද විද්‍යාලයේ සාමාන්‍ය පෙළ දෙවැනි වර විභාගයට පෙනී සිටීමට සූදානම් අවදියයි.ඒ කාලයේ අප විදුහලේ විවාද කණ්ඩායමේ නායකත්වය දැරූ ඉම්තියාස් බාකීර් මාකාර් සොයුරාගේ ඉල්ලීම පරිදි එක්සත් සමවාදී ශිෂ්‍ය පෙරමුණ ට බැඳී දිගටම කටයුතු කළෙමි.

ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස 1973-77 අතර යුගයේ මා ලංකාවේ මැතිවරණ කොට්ඨාස සෑහෙන ප්‍රමාණයක සංවිධායකවරුන් රැසක් සමග වැඩ කළා. නමුත්, මගේ වැඩි ඇල්ම බැල්ම තිබුණේ බේරුවල මැතිවරණ කොට්ඨාසයටයි.
ඒ අන් කිසිවක් නිසා නොව ප්‍රධාන සංවිධායක ව සිටි බාකීර් මාකාර් මහතාගේ දයාබර කාරුණික සරල හැසිරීම අප ඇද බැඳීමට සමත් වූ නිසාමය.
1977 මහා මැතිවරණයේ මැද කොළඹ, බටහිර කොළඹ හැර ඊළඟට වැඩිම වැඩි ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට එතුමාගේ සංවිධායකත්වයෙන් යුත් බේරුවල ආසනය සමත් විය. ඒ වැඩි ඡන්ද විසිහත්දහසකිනී.
එම චන්ද ප්‍රතිපල වලින් පසු ජේ.ආර්.ජයවර්ධන රජයේ නියෝජ්‍ය කතානායක පදවිය හෙබ වූ ඔහු අප වැනි තරුණයන්ට එවකට පැරණි පාර්ලිමේන්තුවේ වාද විවාද නැරඹීම සඳහා අවසර පත් ලබා දීමට තරම් නිහතමානී කෙනෙක් විය.තවද අප වැනි අයට පාර්ලිමේන්තුව යන්න හරි අවබෝධයක් ලබාගැනීමට එය බොහෝ මහෝපකාරී විය.
1978 සැප්තැම්බර් මස පාර්ලිමේන්තුවේ ගරු කතානායක පදවියට පත් එතුමා භාෂා පහක් පමණ චතුර ලෙස කතා කළ හැකි අයකු නිසා විවිධ ජාතීන් මන්ත්‍රීවරුන් වශයෙන් නියෝජනය කරන මෙම ජාතික සභාවේ කොයි කා අතරත් දැක්වූ ප්‍රියමනාප ස්වරූපය හේතුවෙන් ම වාද විවාද කාල කළමනාකරණය අනුව හැසිරවීමට හේ සමත් කමක් දැක්වීය.
එතුමාගේ නිල නිවාසය එවකට මා රාජකාරි කළ සිරිකොත මන්දිරයට නුදුරින් පිහිටි මුම්ටාස් මන්දිරයයි.ඒ නිසා, අපට ද එම නිල නිවස නුපුරුදු තැනක් නොවීය.
මේ කාලය තුළ බේරුවල මැතිවරණ කොට්ඨාශයේ පක්ෂ සංවිධාන කටයුතු හි වැඩි බරක් දැරීමට සිදු වූයේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන තරුණ නීතිඥ ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට ය.එහි දී බේරුවල පක්ෂ බල මණ්ඩලය සඳහා නියෝජිතයන් ඡන්දයකින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිලවරණයක් මගින් තෝරා පත්කර ගන්නා ලදී.අවස්ථා තුනක දී එම ඡන්ද විමසීම් මෙහෙයවීම සඳහා නිලවරණ කොමසාරිස් ගේ භූමිකාව මා වෙත පවරන ලදී.ඒ බාකීර් මාකාර් මහත්වරු මා කෙරෙහි දැක්වූ විශ්වාසයයි.
1981 දී එංගලන්තයේ මහ රැජිනගේ පුත් චාල්ස් කුමරුගේ විවාහ මංගල්‍යය සඳහා ජනාධිපති, අගමැති දෙපළ බ්‍රිතාන්‍ය බලා පිටත් ව ගිය නිසා වැඩ බලන රාජ්‍ය නායක වශයෙන් එතුමාට එම කාලය ආවරණය කිරීමට ලැබීම එතෙක් කිසිවකුට නොලද අතිශය දුර්ලභ අවස්ථාවක් විය.
මේ කාලය තුළ විවිධ රාජ්‍යතාන්ත්‍රික සංචාරයන් සඳහා ද හෙතෙම සහභාගී වු අතර 1983 අගෝස්තු මස එතුමා කතානායක තනතුරින් ඉල්ලා අස් වූයෙන් කාර්ය නියමයක් නොමැති ඇමතිතුමා වශයෙන් කැබිනට් මණ්ඩලයට තෝරා ගන්නා ලදී.
එතැන් සිට 1988 ජූනි මස 03 දක්වා පාර්ලිමේන්තුව තුල කටයුතු කල හෙතෙම ජුනි මස 13 සිට දකුණු පළාතේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් රාජකාරි ආරම්භ භාර ගෙන 1993 දෙසැම්බර් මස 21 දක්වා සේවය කරන ලදී.
මින් අනතුරුව සියළුම කටයුතු වලින් නිදහස් ව දරු මුණුපුරන් සමග එතුමන් තම අවසන් කාලය ගත කළේය. 1997 සැප්තැම්බර් මස 10 වන දින ජාති, ආගම්, ධනවත්, දුප්පත් භේදයක් නොමැතිව ජනතාව වෙනුවෙන් කැපවූ මේ උදාරතර දේශපාලන පුරුෂයා ලක් මෑණියන් සහ මෙලොව අතහැර අල්ලාහ් දෙවියන් වහන්සේගේ කැමැත්තට එකගව අවසන් ගමන් ගිය දින බේරුවලට රැස් වූ කලගුණ දත් ජන සේනාව පෙන්නුම් කළේ, ඔහු කොතරම් ජන හද බැඳ ගත් ජනතා සේවකයකුද යන වගයී.
අනුර රත්නායක.
හිටපු සහකාර මහ ලේකම්,
එක්සත් ජාතික පක්ෂය.



