Latest Posts

පොලීසියේ සියලු නිලධාරීන්ට අවදානම් දීමනාවක් – ජනපතිගෙන් සුබ ආරංචියක්

ශ්‍රී ලංකා පොලීසියේ සියලුම නිලධාරීන් වෙනුවෙන් විශේෂ අවදානම් දීමනාවක් ලබා දීමටත්, පොලිස් සේවයේ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම අවශ්‍ය මානව සම්පත කඩිනමින් බඳවා ගැනීමටත් පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03) පස්වරුවේ තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පැවැති 160 වන පොලිස් දින සැමරුම් උත්සවයට එක්වෙමිනි.

නව තාක්ෂණය සහ මුද්දරයක් එළිදැක්වේ

මහජනතාව සහ පොලීසිය අතර සන්නිවේදනය වඩාත් කාර්යක්ෂම කිරීම උදෙසා ‘SRI LANKA POLICE MOBILE APP’ ජංගම යෙදවුම සහ නවීකරණය කරන ලද www.police.lk නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය. ඊට අමතරව 160 වන පොලිස් දින සැමරුම් සමරු මුද්දරය සහ මුල් දින කවරය ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

උසස්වීම් ප්‍රදානය සහ ඇගයීම්

  • නිලධාරීන් 1,642කට උසස්වීම්: දීර්ඝ සේවා පදනම යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරෙන් පහළ නිලධාරීන් 1,489 දෙනෙකුට සහ විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් 153 දෙනෙකුට සංකේතාත්මකව උසස්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.
  • අපරාධ මැඩලීම: පසුගිය වසර දෙක තුළ සිදුකළ වාර්තාගත මත්ද්‍රව්‍ය වැටලීම්, අත්අඩංගුවට ගැනීම් සහ විදේශයන්හි සැඟව සිටි සන්නද්ධ අපරාධකරුවන් 74 දෙනෙකු මෙරටට ගෙන ඒමට දැක්වූ දායකත්වය ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.

“තමන්ගේ වෘත්තීය ගෞරවය රැකගැනීම නිලධාරීන්ගේ වගකීමක්”

උත්සවය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, අතීතයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා පොලීසිය කෙරෙහි මහජනතාව තුළ අවිශ්වාසයක් ගොඩනැගුණද, අදටත් ජනතාව ආරක්ෂාව පතා ඉල්ලන්නේ පොලීසියම බවයි. එබැවින් වත්මන් නිලධාරීන් සිය වෘත්තීය ගෞරවය සහ විශ්වාසය සුරක්ෂිත කරගත යුතු බව ඔහු අවධාරණය කළේය.

එසේම, විමර්ශන කටයුතු සහ අධිකරණ ක්‍රියාමාර්ග ප්‍රමාද වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ඒ මහතා, වැටලීම් මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීම සහ දඬුවම් පැමිණවීම ද වේගවත් කළ යුතු බව සඳහන් කළේය. මෙරට අපරාධ රාජ්‍යයක සිට සාමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ නීතිමය ප්‍රගතිය ලබාදීමට රජය කැපවන බව ද හෙතෙම පැවසීය.

Latest Posts

spot_imgspot_img