Latest Posts

“මෙත් සිසිලෙන් – සුවබර දිවියකට”

දේශීය ආහාර සංස්කෘතියේ කාලීන වටිනාකම

වත්මන් සමාජය කෘත්‍රිම ආහාර රටාවන්ට සහ රසායනික පොහොර යෙදූ ගොවිතැනට හුරුවීම හේතුවෙන් බෝ නොවන රෝග රැසකට ගොදුරු වී ඇත. මෙවන් පසුබිමක් තුළ, පෝෂණ ගුණයෙන් හා ඖෂධීය වටිනාකමින් අනූන අපගේ දේශීය ආහාර සංස්කෘතිය යළි නඟා සිටුවීම යුගයේ ප්‍රබල අවශ්‍යතාවකි.

කාබනික වගාව යනු හුදෙක් විෂ රහිත ආහාර නිෂ්පාදනයක් පමණක් නොව, එය පරිසරයේ ජෛව විවිධත්වය සුරකින ප්‍රබල පරිසර හිතකාමී ක්‍රියාවලියකි. තම ගෙවත්තේ වගා කරගන්නා නැවුම් එළවළු සහ පලතුරු තම මුළුතැන්ගෙයිදීම සකසා ගැනීම තුළින් පවුලේ සෞඛ්‍යය මෙන්ම ආර්ථික සුරක්ෂිතභාවයද තහවුරු වන අතර, එය සැබෑ තිරසර ජීවන රටාවක පදනම වේ.

මෙත් සිසිල විවෘත කිරීමේ මහෝත්සවය

මෙම කාලීන අවශ්‍යතාවය මනාව හඳුනාගනිමින්, දේශීය ආහාර සංස්කෘතිය සංරක්ෂණය කිරීම, කාබනික වගාව ප්‍රවර්ධනය කිරීම සහ තිරසර ජීවන රටාවක් ප්‍රායෝගිකව සමාජගත කිරීමේ අරමුණින් “මෙත් සිසිල” දේශීය මුළුතැන්ගෙය ජනතා අයිතියට පත් කිරීමේ උත්කර්ෂවත් මහෝත්සවය 2026 අගෝස්තු 30 වැනි ඉරිදා දින පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

“මෙත් සිසිලෙන් – සුවබර දිවියකට” යන තේමාව ඔස්සේ ක්‍රියාත්මක වන මෙම නව වැඩපිළිවෙළ මගින්, තමන්ගේම වගාවෙන් තමන්ගේම මුළුතැන්ගෙය වෙත ආහාර සපයා ගැනීමේ සරල ජීවන රටාව ප්‍රවර්ධනය කිරීම මූලිකව අපේක්ෂා කෙරේ. ආගමික වතාවත්වලට මූලිකත්වය දෙමින් ආරම්භ වූ මෙම උත්සවය සඳහා ප්‍රදේශයේ ප්‍රභූ නායකයින් සහ දේශපාලන නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

උත්සවයේ ආගමික වටිනාකම තවදුරටත් තීව්‍ර කරමින් ප්‍රදේශයේ ප්‍රමුඛ විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නය මේ සඳහා වැඩම කළහ. ඊට අමතරව, ඉන්දියාවේ සිට වැඩම කළ පූජ්‍ය ධම්මජෝති හිමි, පූජ්‍ය සංඝරතන හිමි සහ පූජ්‍ය රෝහිත හිමි යන ස්වාමීන් වහන්සේලා තෙනමගේ සහභාගීත්වය උත්සවයට ජාත්‍යන්තර ආගමික වටිනාකමක්ද එක් කළේය.

ආයතනයේ ආගමික, සංස්කෘතික හා සමාජ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති පූජ්‍ය බලංගොඩ සීලරතන ස්වාමීන් වහන්සේ විසින් සිය අනුශාසනාව මඟින් මෙම ව්‍යාපෘතියේ වැදගත්කම සහ ආයතනික කාර්යභාරය සභාවට මනාව පැහැදිලි කරන ලදී.

අනතුරුව, දහම් පාසල් සිසු සිසුවියන්ගේ ජයමංගල ගාථා සජ්ඣායනය මධ්‍යයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අශෝක රංවල මහතාගේ සුරතින් “මෙත් සිසිල” දේශීය මුළුතැන්ගෙය නිල වශයෙන් විවෘත විය.

පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ ලේඛකාධිකාරී ආචාර්ය ෂර්මිලා මිල්රෝයි මහත්මියගේ ජන්ම දිනය ද එදිනට යෙදී තිබූ බැවින් එය නිමිති කරගනිමින්, ඇයගේ සුරතින් සම්බුද්ධ පූජාව සඳහා ප්‍රථමයෙන් කිරි ආහාර සකස් කොට මුළුතැන්ගෙයි කටයුතු ආරම්භ කිරීම උත්සවයේ සුවිශේෂී මෙන්ම ආදර්ශමත් අවස්ථාවක් බවට පත්විය.

දේශීය ආහාර සංස්කෘතිය සහ ඉවුම් පිහුම් රටාව මනාව සංකේතවත් කරන අංග රැසකින් සමන්විතව “මෙත් සිසිල” නිර්මාණය කර ඇත. උත්සව සභාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල ප්‍රකාශ කළේ මෙය සමස්ත ප්‍රදේශයටම කදිම ආදර්ශයක් බවත්, තම නිවෙස්වලද මෙවැනි කාබනික වගා ක්‍රම ආරම්භ කරන ලෙසත්ය.

අන්තර්ජාතික බෞද්ධ මහා සමිති සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම්, බෞද්ධ සහෝදරත්ව පදනමේ නිර්මාතෘ සහ පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ ගරු සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ සභාව අමතමින් ‘මෙත් සිසිල’ වැඩසටහන ඉදිරියේදී ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපෘතියක් බවට පත් කරන බව අවධාරණය කළේය.

තවද, බියගම ප්‍රාදේශීය සභාවේ ගරු උපසභාපති සුගත් දිසානායක මහතා මෙම සත්කාරය ඇගයීමට ලක් කරමින් ඒ සඳහා සිය උපරිම සහයෝගය ඉදිරියටත් ලබාදෙන බව ප්‍රකාශ කළේය.

දහම් පාසල් දරුවන්, ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් අතිසාර්ථක වූ මෙම වැඩපිළිවෙළ, අනාගතයේදී දැනුම හා අත්දැකීම් හුවමාරු කරගත හැකි ප්‍රායෝගික පරිසරයක් බවට පත් කිරීම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ අපේක්ෂාවයි.

දේශීය ආහාරයක රසය තුළින් සංස්කෘතිය රැකගෙන, වගාව තුළින් ස්වයංපෝෂිතභාවය ගොඩනඟා, තිරසර ජීවන රටාවක් වෙත සමාජය යොමු කිරීමේ මෙම පියවර, අනාගත පරපුර වෙනුවෙන් වඩාත් යහපත් සමාජයක් ගොඩනැගීමට දෙනු ලබන අගනා දායාදයක් වනු නිසැකය.

“මෙත් සිසිලෙන් – සුවබර දිවියකට” දේශීයත්වයෙන් තිරසර අනාගතයකට…

Source: slleader.lk

Latest Posts

spot_imgspot_img