පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට කැඳවීමක් කර තිබූ අතර, ඔහු මේ දිනවල කොළඹින් පිටත සිටින බැවින් අදාළ දිනයේදී පැමිණීමට නොහැකි බවට ලිඛිතව දැනුම් දී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. එම ලිපිය අල්ලස් කොමිසම විසින් නිල වශයෙන් භාරගෙන ඇති බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

තත්ත්වය එසේ තිබියදී, අද (29) පෙරවරුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් හදිසියේම පාර්ලිමේන්තු පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණීම මේ වන විට දැඩි ආන්දෝලනයක් මෙන්ම බරපතල ප්‍රශ්නාර්ථ රැසක් නිර්මාණය කර ඇත.
ඕනෑම චෝදනාවක් හමුවේ යම් පුද්ගලයෙකු වරදකරුද නැතහොත් නිවැරදිකරුද යන්න තීරණය කිරීමේ නිල බලය හිමිවන්නේ විමර්ශනවලින් අනතුරුව ස්වාධීන අධිකරණයට මිස අන් කිසිවෙකුටත් නොවේ. එමෙන්ම නීතිය හමුවේ ඕනෑම පුරවැසියෙකුට සාධාරණ විමර්ශනයකට ඇති අයිතිය සුරක්ෂිත විය යුතුය.
එහෙත් මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ, මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් කළ ලිඛිත දැනුම්දීම කොමිසම විසින් භාරගෙන තිබියදීත්, මෙලෙස ක්ෂණිකව නිවස වෙත නිලධාරීන් යැවීමට තරම් ඇති වූ හදිසි අවශ්‍යතාව කුමක්ද යන්නයි. මෙම ක්‍රියාමාර්ගය සාමාන්‍ය නීතිමය හා පරිපාලන ක්‍රියාපටිපාටියට අනුකූලව සිදුවූවක්ද, නැතහොත් කොමිසමේ ස්වාධීනත්වයට හානි වන අයුරින් යම් දේශපාලන බලපෑමක් හෝ අදෘශ්‍යමාන හස්තයක උවමනාවක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් සමාජය තුළ ගොඩනැගෙමින් පවතී.
ස්වාධීන කොමිෂන් සභාවල විනිවිදභාවය, අපක්ෂපාතීත්වය සහ විශ්වසනීයත්වය පිළිබඳ මහජනතාව තුළ පවතින විශ්වාසය සුරක්ෂිත කිරීමට නම්, මෙම හදිසි පියවර පිටුපස ඇති සැබෑ නීතිමය පදනම කුමක්දැයි පැහැදිලි කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.



