Latest Posts

“දුම සුවඳයි – මරුව ළඟයි”: ශ්‍රී ලංකාවේ හඳුන්කූරු ඛේදවාචකයේ විද්‍යාත්මක යථාර්ථය

අද නිකිණි පුර පසළොස්වක පෝහෝ දිනයයි. දිවයින පුරා විහාරස්ථාන, බෝ මළු මෙන්ම සෑම නිවසකම පාහේ අද දවසේ සුවඳ දුම් සහ හඳුන්කූරු දහනය කරන්නේ අතිශය දැඩි ආගමික භක්තියකිනි. ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සංකේතවත් කිරීම සඳහා අප දල්වන මෙම හඳුන්කූරෙන් නැගෙන සුවඳ දුමාරය, සැබවින්ම ඔබේත් ඔබේ දරුවන්ගේත් පෙනහළු විනාශ කරන මාරාන්තික රසායනික ආයුධයක් බව ඔබ මොහොතකට හෝ සිතුවාද?

වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ හඳුන්කූරු මිලියන 600 කට අධික ප්‍රමාණයක් පරිභෝජනය කෙරේ. මින් 40% ක් පමණම කිසිදු ප්‍රමිතිකරණයකින් හෝ පරීක්ෂාවකින් තොරව විදේශ රටවලින් ආනයනය කෙරෙන ලාභදායී නිෂ්පාදනයන්ය. දේශීයව නිපදවන බහුතරයක් සඳහා ද යොදා ගැනෙන්නේ ආනයනික කෘත්‍රිම සුවඳ කාරක සහ රසායනික ද්‍රව්‍යයි.

හුස්ම හිරවන හෙට දවසක්

හඳුන්කූරක් දැල්වීම යනු විද්‍යාත්මකව අසම්පූර්ණ දහන ක්‍රියාවලියකි. සාමාන්‍යයෙන් එක් සිගරට්ටුවක් දහනය වීමේදී ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 10 ක පමණ අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණයක් වාතයට එක්වන විට, හඳුන්කූරු ග්‍රෑම් එකක් දහනය වීමේදී මිලිග්‍රෑම් 45 කට වඩා වැඩි අතිවිශාල අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණයක් වාතයට එක් වේ. දුම්වැටියට වඩා හඳුන්කූර භයානක වන්නේ එතැනිනි.

මෙම ඝන දුමාරය තුළ අතිශය භයානක අංශුමය ද්‍රව්‍ය (PM2.5 සහ PM0.1) අන්තර්ගතය. මින් PM0.1 වැනි අති ක්ෂුද්‍ර අංශුවලට ශරීරයේ ස්වභාවික පෙරහන් මඟහැර පෙනහළුවල ගැඹුරුම ස්ථානය වන ගර්ත (Alveoli) දක්වා ගමන් කර, එතැනින් සෘජුවම රුධිර සංසරණ පද්ධතියට එක්වීමේ හැකියාව පවතී.

වඩාත් කම්පනය දනවන විද්‍යාත්මක හෙළිදරව්ව වන්නේ හඳුන්කූරු වර්ණ ගැන්වීමට යොදාගන්නා ඔරමයින් O (Auramine O) නම් රසායනිකයයි. තාපයට ඔරොත්තු දෙන මෙම කහ පැහැති වර්ණකාරකය දහනයේදී විනාශ නොවී වාතයට මුදා හැරේ. ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ නියෝජිතායතනය (IARC) මගින් පිළිකා කාරකයක් ලෙස නම් කර ඇති මෙය, පෙනහළු සෛල තුළ ඇති ALDH1A1 නම් එන්සයිමය සක්‍රීය කරයි. එමගින් දැනටමත් පවතින පෙනහළු පිළිකා සෛල ශරීරය පුරා අතිශය ආක්‍රමණශීලී ලෙස පැතිරී යාම (Metastasis) ශීඝ්‍රයෙන් උත්තේජනය කරනු ලබයි.

මීට අමතරව ලාභදායී හඳුන්කූරුවල ජාත්‍යන්තරව තහනම් කර ඇති ප්‍රබල පිළිකා කාරක වන කෘත්‍රිම කස්තුරි (Musk, Musk ambrette, Musk xylol) අන්තර්ගත වේ. එමෙන්ම දහනයේදී නිකුත් වන බෙන්සීන්, ටොලියුඊන් සහ ෆෝමල්ඩිහයිඩ් වැනි වාෂ්පශීලී කාබනික සංයෝග (VOCs) සහ බහුචක්‍රීය ඇරෝමැටික හයිඩ්‍රොකාබන (PAHs) සෛලීය ඩීඑන්ඒ (DNA) ව්‍යුහය විකෘති කිරීමට සමත්ය.

මෙම රසායනික ත්‍රස්තවාදයේ සෘජු වින්දිතයින් බවට පත්ව ඇත්තේ අපේම දරුවන් සහ වැඩිහිටියන්ය. වෛද්‍ය දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල වෙසෙන ළමුන්ගේ ඇදුම සහ හතිය (Wheezing) රෝග අවදානම ග්‍රාමීය දරුවන්ට වඩා දෙගුණයකින් ඉහළ ගොස් ඇත්තේ ගෘහස්ථ වායු දූෂණය සහ මෙම හඳුන්කූරු දුමාරය නිසාවෙනි.

චීන විහාරස්ථාන ආශ්‍රිතව සිදුකළ පුළුල් පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, දෛනිකව ඝන හඳුන්කූරු දුමාරයට නිරාවරණය වන සේවකයින්ගෙන් 82.4% කගේම පෙනහළු ක්‍රියාකාරීත්වය ස්ථිරවම අඩාල වී ඇති බවයි. එමෙන්ම, ගෘහස්ථව හඳුන්කූරු භාවිත කරන නිවෙස්වල වෙසෙන දියවැඩියා රෝගීන්ගේ පෙනහළු ක්‍රියාකාරීත්වය අඩාල වීමේ අවදානම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා 130% කින් ඉහළ යයි.

ප්‍රමිතිකරණයේ මායාව සහ නියාමන හිඩැස

මෙතරම් විද්‍යාත්මක සාක්ෂි තිබියදීත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් හඳුන්වා දී ඇති SLS 758 ප්‍රමිතිය 1986 වසරේ සකස් කළ යල්පැනගිය ලියවිල්ලකි. එය හුදෙක් කර්මාන්තශාලාවේ පිරිසිදුභාවය සහ හඳුන්කූරේ දිග පළල මනින “ක්‍රියාපටිපාටි සංග්‍රහයක්” පමණි. දුමාරයේ ඇති පිළිකා කාරක, බර ලෝහ හෝ විෂ වායු විශ්ලේෂණය කිරීමේ කිසිදු නෛතික හෝ රසායනාගාර නිර්ණායකයක් ඊට ඇතුළත් කර නැත. ඊටත් වඩා ඛේදවාචකය වන්නේ මෙම අතිශය දුර්වල SLS සහතිකය පවා හඳුන්කූරු සඳහා ලබාගැනීම නීතියෙන් අනිවාර්ය කර නොතිබීමයි.

තීරණාත්මක මැදිහත්වීමක අවශ්‍යතාව

සංස්කෘතික භක්තිය හේතුවෙන් හඳුන්කූරු දුමෙහි ඇති විෂ සහිත බව සමාජය විසින් සාමාන්‍යකරණය කිරීම අප මුහුණ දෙන ප්‍රධානතම ඛේදවාචකයයි. සිගරට් දුමාරයට එරෙහිව දැඩි සමාජ විරෝධයක් සහ නීති පද්ධතියක් ක්‍රියාත්මක වුවද, ඊට සමාන හෝ ඊට වැඩි විෂ ද්‍රව්‍ය ප්‍රමාණයක් පිට කරන හඳුන්කූරු දුමාරය සංවෘත නිවාස තුළට මුදා හැරීම අප තවදුරටත් ඉවසා සිටිය යුතුද?

කර්මාන්තයේ ආර්ථික වටිනාකම සහ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ජීවනෝපාය කෙතරම් වුවද, ඒ වෙනුවෙන් ඉදිරි පරම්පරාවේ පෙනහළු සෞඛ්‍යය බිලි දිය නොහැක. එබැවින් ජාතික ආර්ථිකයට සහ දේශීය කර්මාන්තයට සිදුවන බලපෑම සමනය කර ගැනීම සඳහා ස්වාභාවික ආදේශක භාවිතය වැනි විකල්ප වෙත යොමු වන අතරම, 1986 දී සකස් කළ SLS 758 ප්‍රමිතිය වහාම සංශෝධනය කර, දහනයේදී නිකුත් වන විෂ වායු සඳහා ජාත්‍යන්තර නිර්දේශ මත පදනම් වූ උපරිම විමෝචන සීමාවන් හඳුන්වා දී එය නීතියෙන් අනිවාර්ය කළ යුතුය.

එමෙන්ම පිළිකා කාරක වර්ණකාරක (Auramine O) සහ කෘත්‍රිම කස්තුරි සුවඳ කාරක භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු අතර, හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක පමණක් දහනය කරන ලෙසට සහ දුමාරය සෘජුව ආඝ්‍රාණය කිරීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අනතුරු ඇඟවීමේ ලේබලයක් ඇසුරුම්වල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කළ යුතුය.

අද මේ නිකිණි පෝහෝදා බුදුන් වැඳීමට අප දල්වන සුවඳ දුමාරයෙන් අපගේම දරුවන්ගේ පෙණහලු පිළිකා සෛලවලින් පුරවා ගන්නවාද යන්න තීරණය කළ යුත්තේ අන්ධ භක්තියෙන් නොව, ආනුභවික විද්‍යාත්මක සාක්ෂි මත පදනම්වය.

(මූලාශ්‍ර: ශ්‍රී ලංකාවේ හඳුන්කූරු කර්මාන්තය සහ සෞඛ්‍ය බලපෑම පිළිබඳ වසංගත රෝග විද්‍යාත්මක සහ වෛද්‍ය පර්යේෂණ වාර්තා ඇසුරෙනි.)

(මතු සම්බන්ධයි…)

Latest Posts

spot_imgspot_img