අජිත් විජේසේකර මහතා සභාපතිත්වය දරනු ලබන යුනියන් රිසෝට් ඇන්ඩ් ස්පා සමාගම (Union Resorts & Spa Ltd) හට අයත්, වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පිහිටි “ද බ්ලූ වෝටර් හොටේල් ඇන්ඩ් ස්පා” (The Blue Water Hotel & Spa) හට අයත් ඉඩමක ඇඳ තිබූ විදුලි කම්බි වැටකට හසුව සුනඛයින් සිව්දෙනෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
පොලිසිය අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ AWC (Animal Welfare Coalition AWC – Sri Lanka) විසින් සිදු කරන ලද පරීක්ෂණයකට අනුවය.
පොලිස් පරීක්ෂණවලට අමතරව, වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පශු වෛද්‍ය කාර්යාලය එක්ව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පැවසේ.
අදාළ සංචාරක හෝටලයට ඇතුළුවන සහ සංචාරක හෝටලය අවට ගැවසෙන සුනඛයින් මෙන්ම අනෙකුත් සතුන් හේතුවෙන් පෙරේදා (19 වැනිදා) රාත්‍රියේ එම ඉඩමේ වැටට විදුලිය සම්බන්ධ කර තිබීම හේතුවෙන් මේ සුනඛයින් මියගොස් ඇති බවට මේවන විට හෝටලයට චෝදනා එල්ලවී තිබේ.
ඒ අනුව එම මායිම් වැට හරහා ගමන් ගත් සුනඛයින් සිව්දෙනකු මෙලෙස විදුලිසර වැදී මිය ගොස් ඇති අතර එම සුනඛයින් ඉවත් කිරීමට පැමිණි එම සංචාරක හෝටලයේ සේවකයෙකුට ද විදුලිසර වැදී ඇති බව ප්‍රදේශවාසීහු කියති.
මේ අතර, AWC ( Animal Welfare Coalition AWC – Sri Lanka) විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ල සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබේ.
AWC වෙතින් සිදු කළ නිල පැමිණිල්ල පහත දැක්වේ.

වාද්දුව ප්‍රදේශයේ පිහිටි ‘බ්ලූ වෝටර්ස්’ (Blue Waters) හෝටලයට ඉදිරිපසින් පිහිටි, එම හෝටලයටම අයත් ඉඩමකදී අහිංසක සුනඛයින් සිව්දෙනෙකු (04) අතිශය කෲර ලෙස ඝාතනය කර තිබෙනවා. අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව, හිංසකයින් විසින් මුලින්ම මෙම සතුන්ගේ කෑමට වස මිශ්‍ර කර දී ඇති අතර, පසුව නීතිවිරෝධී ලෙස විදුලි රැහැන් ඇද විදුලි සැර වද්දවා මෙම ඝාතනයන් සිදු කර ඇත.
මේ ආයතනය මෙය සිදු කළ තුන්වන (3) වතාව බවත්, CCTV ඇතුළු සියළු සාක්ෂි සූක්ෂ්මව වසන් කරන බවටත් ප්‍රදේශවාසීන්ද චෝදනා කරයි. අදාල හෝටලය සම්බන්ධ කරගෙන විමසීමෙන් පසුව එහි නිළධාරීයෙක් පැවසුවේ වර්ෂාව නිසා වයර් අමුණා තිබූ වල වෙලුම් පටි බුරුල් වී කම්බි වැට හා සම්බන්ධ වී මෙම සිදුවීම සිදු වී ඇති බවයි. මෙවැනි හාස්‍යජනක කරුණු දැක්වීම් වලින් අපට අනුමාන කළ හැක්කෙ අදාල හෝටලයේ සියළු බලධාරීන් දැනුවත්ව මෙය සූක්ෂ්ම ලෙස සැලසුම් කරනු ලැබූ සාහසික සත්ව ඝාතනයක් බවයි.
මෙම අමානුෂික අපරාධය පිළිබඳව හෙළි වී ඇත්තේ, මියගිය සුනඛයන්ගේ සිරුරු ඉවත් කිරීමට පැමිණි පුද්ගලයෙකුට ද එම ස්ථානයේ ඇද තිබූ අනවසර විදුලි රැහැන්වලින් විදුලි සැර වැදීමත් සමඟයි. මෙලෙස අනවසරයෙන් සහ අනාරක්ෂිතව විදුලි රැහැන් ඇදීම මගින් අසරණ සතුන්ගේ පමණක් නොව, මිනිසුන්ගේ ජීවිත පවා දැඩි අනතුරකට ලක් කර තිබෙනවා. මේ පිළිබඳව ගම්වාසීන්ද චෝදනා එල්ල කරනු ලබනවා.
අද දින (අගෝස්තු 20) මේ සම්බන්ධයෙන් නිල පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අප සංසදයේ නියෝජිතවරියක වාද්දුව පොලිස් ස්ථානය වෙත ගියද, මුලින් පොලීසිය විසින් මෙම පැමිණිල්ල භාර ගැනීමට දැඩි මැලි කමක් දැක්වූවා.
පසුව අපගේ නීතීඥ නේත්‍රපානි ඩයස් මහත්මිය විසින් වාද්දුව පොලිස් ස්ථානාධිපතිවරයාව සෘජුවම දුරකථනයෙන් සම්බන්ධ කරගෙන, කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුවයි පොලීසිය දීර්ග වෙලාවක් ගෙන අපගේ පැමිණිල්ල සටහන් කරගනු ලැබුවේ.
මෙම අපරාධයට සම්බන්ධ වූ සහ ඊට අනුබල දුන් අදාළ හෝටලයේ බලධාරීන් ඇතුළු සියලුම පුද්ගලයින්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කර ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අපි තරයේ ඉල්ලා සිටියා. එමෙන්ම, අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට එරෙහිව පහත නීතිමය ප්‍රතිපාදන යටතේ දැඩිව නඩු පවරන ලෙස අපි පොලීසියට අවධාරණය කළා:
- 1907 සතුන්ට හිංසා කිරීමේ ආඥාපනත (කෲර සත්ව හිංසනය)
- ලංකා විදුලිබල මණ්ඩල පනත (අනවසරයෙන් විදුලි රැහැන් ඇදීම)
- ලංකා දණ්ඩ නීති සංග්‍රහය (මිනිස් ජීවිතවලට හානි වන අයුරින් අනාරක්ෂිතව කටයුතු කිරීම)
පොලීසිය විසින් අපට ප්‍රකාශ කළ සිටියේ ඔවුන් සාක්ෂි සටහන් කරගෙන අදාල සුකඛ සිරුරු මරණ පරීක්ෂණයක් සඳහා යැවූ බවයි. කෙසේ වෙතත් අද දිනයේ පොලීසියේ හැසිරීමෙන්, වාද්දුව පොලීසිය විසින් මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරයිදෝ යන සාධාරණ සැකය අපට ඇත.
වාද්දූව Blue Waters වැනි සතුන්ගේ ජීවිත කෲර ලෙස අවසන් කරන මෙවැනි ආයතන ගැන සතුන්ට ආදරේ අපි අවදානයෙන්. අසරණ සතුන් වෙනුවෙන් ඔබේ හඬත් අවදි කරන්න!
හෝටලය කියන කතාව…..

මේ අතර, සිය කළමනාකාරිත්වය හෝ එහි සේවකයන් හෝටලය අසල මියගොස් සිටි සුනඛයන් සිව්දෙනාගේ මරණවලට කිසිදු සම්බන්ධයක් නැතැයි “ද බ්ලූ වෝටර්ස් හොටේල් ඇන්ඩ් ස්පා” (The Blue Water Hotel & Spa) නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.
හෝටලය නිකුත් කළ නිල නිවේදනයක දැක්වෙන්නේ, මියගිය සුනඛයන් සොයාගෙන ඇත්තේ සේවක පිවිසුම අසල හෝටල් දේපළේ සීමා තාප්පයෙන් පිටත ස්ථානයක බවයි.
එම සුනඛයන් කිසිදා හෝටල් පරිශ්‍රය තුළ නොසිටි බවත්, හෝටල් කළමනාකාරිත්වයේ හෝ සේවකයන්ගේ රැකවරණය යටතේ නොසිටි බවත් එහි සඳහන් වේ.
මියගිය සුනඛයන් මුලින්ම දැක ඇත්තේ හෝටල් සේවකයන් බවත්, ඔවුන් වහාම පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) දැනුවත් කළ බවත් හෝටලය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවද කළමනාකාරිත්වය සඳහන් කර ඇත.
සිද්ධිය පිළිබඳ තමන් ද කනස්සල්ලට පත්ව සිටින බවත්, සැබෑ ලෙස සිදුවූයේ කුමක්දැයි අනාවරණය කරගැනීමට ප්‍රජාවට ඇති උනන්දුව තමන්ද බෙදාගන්නා බවත් හෝටලය පවසයි.
විමර්ශන අවසන් වන තුරු අනුමාන කිරීමෙන් වැළකී තහවුරු කළ තොරතුරු මත පමණක් විශ්වාසය තබන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා ඇත.
නිල විමර්ශන වාර්තා ලැබුණු පසු වැඩිදුර තොරතුරු ලබාදෙන බවත්, සත්ත්ව සුබසාධනය සහ මහජන විශ්වාසය රැකගැනීම තම ප්‍රධාන ප්‍රමුඛතා අතර පවතින බවත් හෝටල් කළමනාකාරිත්වය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
Source: slleader.lk



