Latest Posts

“ඌරු මස් ගෙන්නලා බලෙන් කැවුවා” — පාස්කු නඩුවේ 2 වන විත්තිකරු CIDයේ අමානුෂික වධහිංසා ගැන විත්ති කූඩුවේදී හඬා වැටෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ විත්තිවාචක ඉදිරිපත් කිරීමේ දෙවන දිනය ඊයේ (18) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සූක්ෂ්ම විමර්ශනයකට ලක් විය. එහිදී තහවුරු වූයේ, සාක්ෂි මත පදනම් වූ විමර්ශනයකට එහා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) බරපතල වධහිංසා, අත්තනෝමතික රැඳවුම් සහ බලහත්කාරයෙන් පාපොච්චාරණ ලබාගැනීමේ අඳුරු සංස්කෘතියයි.

ආගමික විශ්වාසයන් කෙලෙසමින් කළ අමානුෂික හිංසනය

නඩුවේ දෙවන විත්තිකරු වන මොහොම්මදු සරීපු අදාම් ලෙබ්බේ හෙවත් ‘ගෆූර් මාමා’ පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ කළ විත්තිවාචකය, CIDය විමර්ශන මෙහෙයවූ අමානුෂික ආකාරය ගවේෂණාත්මකව එළිදරව් කරනු ලැබීය.

ඉස්ලාම් ආගමික විශ්වාසයන්ට අනුව ඌරු මස් අනුභවය සපථ කළ තහනම් (හරාම්) ක්‍රියාවක් වන අතර, විමර්ශන නිලධාරීන් එකී ආගමික සංවේදීතාවන් පවා ආයුධයක් කර ගනිමින් මානසික හා ශාරීරික වධහිංසා පැමිණවූ බව ඔහු අධිකරණය හමුවේ හඬා වැටෙමින් අනාවරණය කළේය:

“මගේ ඉස්සරහා ඌරු මස් ගෙන්නලා, කවරයක ඔතලා ‘ඔක්කොම කපලා කාපන්’ කියලා ගැහැව්වා. අපේ ආගමට අනුව කැප නැති දෙයක් අපිට කළාට පස්සේ, මං කෑවාට පස්සේ උන් ඇහුවා ‘රසද’ කියලා… මං කොහොමද රසයි කියන්නේ? මං සහරාන්ගේ මාමා වුණ එකයි මුන්ගේ කෝපය.”

සාක්ෂි ගොතමින් සහ වධදී පාපොච්චාරණ ලබාගැනීමේ රටාව

ගෆූර් මාමාගේ ප්‍රකාශය සහ ඊයේ දින විත්තිවාචක ඉදිරිපත් කළ 8, 10, 12, 14 සහ 18 වන චුදිතයන්ගේ ප්‍රකාශ සංසන්දනය කිරීමේදී, CID විමර්ශනවල ප්‍රධාන ක්‍රමවේදයන් කිහිපයක් අනාවරණය වේ:

  • ශාරීරික සහ මානසික වධබන්ධන: ඇස් සහ අත් බැඳ මුළු දවසම මාංචු පිටින් එල්ලා තැබීම, නිදිකිරීමට නොදී පහරදීම සහ තුවාල වූ පසු ඖෂධ ලබා දී නැවත වධදීම.
  • තර්ජනය කර අත්සන් ලබාගැනීම: විමර්ශකයින් විසින් සකස් කරන ලද ලේඛනවලට අත්සන් කිරීමට අකමැති වූ විට, සැකකරුවන්ගේ පවුලේ සාමාජිකයන් (බිරිඳ, දරුවන්) අත්අඩංගුවට ගන්නා බවට බියගන්වා බලහත්කාරයෙන් අත්සන් ලබාගැනීම.
  • විද්‍යාත්මක සාක්ෂි නැති බව: නුවරඑළියේ පන්ති පැවැත්වූ බවට චෝදනා කළද, තමන් කිසිදිනෙක නුවරඑළියට ගොස් නොමැති බවත්, එකී ස්ථානවලින් තමන්ගේ DNA හෝ ඇඟිලි සලකුණු කිසිවක් හමු වී නොමැති බවත් දෙවන විත්තිකරු පෙන්වා දෙයි.

“සෙලෝටේප් රෝල” සාක්ෂියක් කළ හැටි — 7 වන විත්තිකරුගේ හෙළිදරව්ව

07 වන චුදිත මොහොමඩ් සනස්දීන්ගේ ප්‍රකාශය හරහා තවත් බරපතල අක්‍රමිකතාවයක් එළිදරව් විය. තමන් රසකැවිලි ව්‍යාපාරයක නිරත වූ අයෙකු බවත්, තම නිවසෙන් අත්අඩංගුවට ගත් රුපියල් ලක්ෂ 3ක මුදලට සිදුවූ දෙයක් නොමැති බවත් ඔහු පැවසීය.

එසේම, පානදුර ප්‍රදේශයේ නිවසකින් හමු වූ සෙලෝටේප් රෝලක තිබී අත්අඩංගුවට ගත් ඇඟිලි සලකුණක් තමන්ගේ විය හැකි බව පිළිගන්නා ඔහු, තමන් රසකැවිලි ලබා ගැනීමට පැමිණි අයට පෙට්ටි ඇසිරීමට සෙලෝටේප් ලබා දුන් බවත්, තමන් කිසිදිනෙක පානදුරේ අදාළ නිවසට ගොස් නොමැති බවත්, එතැන වෙනත් කිසිදු DNA සාක්ෂියක් නොමැති බවත් සඳහන් කළේය.

අධිකරණ තීන්දුව සහ ඉදිරි පියවර

මෙම නඩුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන අතර, දෙමළ බසින් ඉදිරිපත් කළ විත්තිවාචක සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ දුලාලිත් තුවාන් සදාම් මහතා විසිනි.

15 වන චුදිත අසනීප වීම නිසා ඔහුගේ විත්තිවාචකය අද (19) ලබාගැනීමට නියෝග කළ අතර, ඉතිරි විත්තිකරුවන් 08 දෙනාගේ විත්තිවාචකද අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතය. (17 වන චුදිත මියගොස් ඇති අතර 06 වන චුදිත නිහඬව සිටීමට තීරණය කර ඇත.)

Latest Posts

spot_imgspot_img