Latest Posts

ධීවර සංස්ථාවේ අලෙවි සැල් වංචාව: හිටපු සභාපති මහිල් ප්‍රියදර්ශී ඇප මත මුදා හැරේ

ලංකා ධීවර සංස්ථාවේ දීපව්‍යාප්ත අලෙවි සැල් 55ක් ඉදිකිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව සමාගම් දෙකකට ලබාදී රජයට පාඩු කළ බවට චෝදනා ලැබූ එම සංස්ථාවේ හිටපු සභාපති මහිල් ප්‍රියදර්ශී සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසං එස්. බෝදරගම මහතා අද (18) නියෝග කළේය.

සැකකරුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටත්, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටත් නියෝග කරනු ලැබීය.

අල්ලස් කොමිසමේ චෝදනා

  • කාලසීමාව: 2010-2012 කාලය තුළ දිවයින පුරා මසුන් අලෙවි සැල් ඉදිකිරීම සහ අලුත්වැඩියාව.
  • චෝදනාව: ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර සෘජුවම තෝරාගත් ආයතන 2කට කොන්ත්‍රාත් ලබාදීම සහ අදාළ ගෙවීම් කිරීමට නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකිරීම.
  • තවදුරටත්: සිද්ධියට අදාළ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් දෙදෙනාගෙන් සහ තවත් සාක්ෂිකරුවන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බව කොමිසම පැවසීය.

අධිකරණයේදී මතුවූ ප්‍රශ්න

ප්‍රධාන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර නොගෙන හදිසියේම සැකකරු අත්අඩංගුවට ගැනීමට හේතුව කුමක්දැයි මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසම සඳහන් කළේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් දෙදෙනා අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් ප්‍රකාශ ලබාගැනීමට නොහැකි වූ බවත්, සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්ය.

විත්තියේ තර්ක

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පාලිත සුභසිංහ මහතා සඳහන් කළේ, 2010 දී සැකකරු වැඩ භාරගන්නා විට ඊ.ටී.එෆ්. සහ ඊ.පී.එෆ්. පවා ගෙවාගත නොහැකිව තිබූ ධීවර සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත්කළේ ඔහු බවයි.

තවද, සැකකරු ජීවත් වන්නේ එක වකුගඩුවකින් බවත්, කොඳු ඇට පෙළේ ආබාධයක් නිසා විනාඩි කිහිපයකට වඩා සිටගෙන සිටීමට නොහැකි බැවින් සහ මුල සිටම විමර්ශනවලට සහාය දී ඇති බැවින් ඇප පනතේ 14 වන වගන්තිය යටතේ ඇප ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇප ලබා නොදීමට තරම් ප්‍රබල හේතුවක් පැමිණිල්ල ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් ඇප නියෝග කළ අතර, විමර්ශන ප්‍රගතිය නොවැම්බර් 06 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.

Latest Posts

spot_imgspot_img