ගරු අධිකරණ අමාත්‍යතුමනි,

“නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නෙවෙයි” කියලා නීති පොත්වල ලොකුවට ලියා තිබෙන නිසා, නීතිය ගැන තවත් පැහැදිලි කරගන්නා පිණිස මාලිමාව දිනවන්න මහපාරේ කැපවුණු තරුණියක් වන මම ඔබට මෙලෙස මෙම ලිපිය යොමු කරමි.
අමාත්‍යතුමනි, මගේ මූලිකම ගැටලුව නම් මේ වන විටත් නිකුත් කර තිබෙන, ඉදිරියේදී පාර්ලිමේන්තුවට එන්න නියමිත 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැසට් නිවේදනයයි. මාලිමාවට ඡන්දය දීපු සාමාන්‍ය පුරවැසියන් විදිහට අපිට තියෙන ලොකුම ප්රශ්නය නම්, මෙන්න මේ 22 වෙනි ගැසට් නිවේදනයේ තියෙන අවුල්වලට අපේ විරෝධය නීත්‍යානුකූලව දක්වන්නේ කොහොමද? ඔබතුමාට හැකිනම් ඒ ගැන සරලව පහදා දීම ලොකු පිනකි.
මොකද දැන් දැන් ආරංචි වෙන කරුණුවලට අනුව නම්, මේ 22 ගැසට් එකේ තියෙන අපලවලට එක හරකෙක් නිදහස් කරලා නම් මදි පාටයි. එහි තියෙන අඩුපාඩු හදන්න නම් ගව පට්ටියක්ම නිදහස් කරන්න වෙයි! අපේ ගම්වල කියනවා වගේ “ලෙඩා මළත් බඩ සුද්ද වන්නේ” එවිටය.
යුක්තියේ දෙවඟනගේ ඇස් වැහුවට අපේ ඇස් වහන්න බෑ!
අපි ගමේ ඉඳන් නගරයට එන්නේ අධිකරණයෙන් යුක්තිය ඉල්ලන්නයි. ඒ ගම්බාර දෙවියන් කෙරෙහි තියෙනවා වගේම ලොකු විශ්වාසයකින්. හැබැයි දැන් මේ යුක්තිය ගැන කතා කරද්දීත් අපිට බියක් දැනෙනවා. මොකද යුක්තියේ දෙවඟනත් මා වගේම කාන්තාවක් වුණාට, ඇයගේ දෑස් රෙදි කැබැල්ලකින් වහලා තියෙන බව මතක් වෙනකොට අපිට හිතෙන්නේ නීතියේ ඇස් දෙකත් වහලාද කියලායි.
අමාත්‍යතුමනි, ඔබතුමා කොහොමත් හරි විනෝදකාමී මහත්මයෙක් බව මුළු රටම දන්නවා. මා සිතන පරිදි මුළු ලෝකයේම අධිකරණ අමාත්‍යවරයෙකු ලෙස ඔය තරම් සතුටින් ඉන්න එකම පුද්ගලයා ඔබතුමා වෙන්න ඇති. දවස තිස්සේම වෙහෙස මහන්සි වී, රාත්‍රියට පුවත් බලන විට බඩපපුව දා යන අපට ඔබතුමාගේ ඒ සිනහව සහ සතුටුදායක ප්‍රකාශ සිනා සාගරයක් මවනවා. ඇත්තටම අපේ රටේ අධිකරණය ගැන දැන් අපිට කිසිම බයක් නෑ. මන්ද මෙරට වඩාත්ම සතුටුදායක සහ සැහැල්ලුම ආයතනය අධිකරණ පද්ධතිය බව ඔබතුමා නිරන්තරයෙන්ම අපූරුවට පිළිඹිබු කරන නිසාය!
නඩු ප්‍රමාදයට ඇත්තම හේතුව විනිසුරුවන්ගේ විශ්‍රාම යාමද?
ඔබතුමා කරපු තවත් ප්‍රකාශයක් ගැන මාලිමාවට ඡන්දය දුන් අපිට තියෙන්නේ ලොකු කුතුහලයක්.
අපේ රටේ නඩු ලක්ෂ ගණනක් ගොඩගැහිලා තියෙනවලු. ඒවා විසඳගන්න බැරිවෙලා තියෙන්නේ විනිසුරුවරුන් විශ්‍රාම යාමත් එක්ක එන පුරප්පාඩු හින්දලු! හැබෑටම ඇමතිතුමනි, නඩු විසඳීම ප්‍රමාද වෙන්න විනිසුරුවරුන් විශ්‍රාම යාම ඒ හැටිම බලපානවාද?
අපේ ගම්වල නම් ගම්සභාවල ගමේ ආරවුලක් විසඳන්න ඉන්න ගම්මුලාදෑනි මහත්තයා මියගියත්, ඊළඟට පත්වෙන නව ගම්මුලාදෑනි මහත්තයා ඒ ගැටලුව නොකඩවා විසඳනවා. සාක්ෂි හරිහැටි තියෙනවා නම් ඒ සියල්ල අපූරුවට විසඳෙනවා. එහෙම එකේ අධිකරණ පද්ධතියේ නඩු අවුරුදු ගණන් ඇදෙන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාම නිසාමද, නැත්නම් පද්ධතියේම තියෙන අවුලක් නිසාද කියලා ඔබතුමා සිනා නොවී පැහැදිලි කළොත් ලොකු දෙයක්.
හත වසරේ පුරවැසි අධ්‍යාපනය සහ ජනතාවගේ හදගැස්ම
නමුත් ඇමතිතුමනි, රටක රාජ්‍යයේ පාදම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන්න බව හත වසරේදී පුරවැසි අධ්‍යාපන පොතෙන් අපි ඉගෙන ගත්තා මතකය.
ඒ අනුව අධිකරණය තුළ පවතින ස්වාධීනත්වය යනු රටේ ජනතාවගේ යුක්තිය සහ විශ්වාසය පිළිබඳ හදගැස්ම හා සමානයි. ඒ නිසා ගරුකටයුතු විනෝදකාමී ඇමතිතුමනි, අධිකරණ අමාත්‍යවරයා ලෙස ඔබ සෙල්ලම් කරන්නේ හෝ කටයුතු කරන්නේ ඒ ජනතාවගේ හදගැස්ම සමඟ බව මතක් කරන්න කැමතියි.
ඉතින්, ජනතාවගේ ඒ හදවත් ටික පරිස්සමෙන් බලාගැනීම ඔබට භාරයි. අපේ ගම්වල නම් මිනිස්සු ගම්බාර දෙවියන්ට යදින්නේ “දෙවියනේ අපිට යුක්තිය පසිඳලන්න” කියලාය. හැබැයි දැන් නීතිය ක්‍රියාත්මක වෙන විදිහ දැක්කම දෙවියන්ටත් යදින්න වෙන්නේ නීතිඥ සංගමයේ පිහිට පතලාද මන්දා!
ජනතාවගේ හදවතට කන් දෙන්න!
අපි මාලිමාවට ඡන්දය දුන්නේ වෙන කිසිම දෙයකට නෙවෙයි. මේ රටේ නීතියේ ආධිපත්‍යය සුරැකෙන, අධිකරණයේ ස්වාධීනත්වය රැකෙන, සාධාරණ පාලනයක් පතමින්.
ඔබතුමා දිගටම සතුටින්, විනෝදයෙන් ඉන්න. හැබැයි ඒ සතුට වෙනුවෙන් රටේ නීතියේ ආධිපත්‍යයත්, ජනතාවගේ හදගැස්ම වෙන අධිකරණයේ ස්වාධීනත්වයත් බිලිදෙන්න එපා! අපිව පාරේ යන්න බැරි තත්වයට පත් කරන්න එපා කියලා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
– මාලිමාවට ඡන්දය දුන්, අධිකරණයේ ස්වාධීනත්වය පතන තරුණියක්.



