Latest Posts

බ්ලූම්ෆීල්ඩ් සේවකයාගේ මරණය: 17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයා පරිවාස භාරයට — පශ්චාත් මරණ පරීක්ෂණයෙන් විවෘත තීන්දුවක්

කොළඹ 07, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සේවකයකුට පහරදී මරා දැමීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පිරිමි ළමයා එළඹෙන 17 වැනිදා තෙක් පරිවාස භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) නියෝග කළේය.

කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර ක්‍රිකට් ක්‍රීඩකයා සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි සුමිත් ප්‍රනාන්දු නැමැති බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සේවකයෙකි.

වතුර කරාමය අසලදී ඇවිළුණු බහින්බස්වීම

පසුගිය අගෝස්තු 08 වැනිදා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පරිශ්‍රයේදී මෙම සිදුවීම සිදුව තිබේ. ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල නිරතව සිටි සැකකාර සිසුවා ඇතුළු ක්‍රීඩකයන් පිරිසක් පැන් පානය සඳහා ජල කරාමය අසලට ගිය අවස්ථාවේ එහි ජලය නොතිබීම මුල් කරගනිමින් සේවකයා සහ ක්‍රීඩකයන් අතර උණුසුම් බහින්බස් වීමක් හටගෙන ඇත.

එහිදී එම සේවකයා එක් ක්‍රීඩකයකුට පහරදීමට උත්සාහ දරා ඇති අතර, පසුව මෙම 17 හැවිරිදි ක්‍රීඩකයාට ද පහරදීමට තැත් කිරීමේදී අදාළ ක්‍රීඩකයා විසින් සේවකයාට පහරක් එල්ල කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් විවෘත තීන්දුවක්

පහරකෑමෙන් තුවාල ලැබූ සේවකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අගෝස්තු 10 වැනිදා මියගොස් ඇත.

මියගිය තැනැත්තා හෘද රෝගියකු බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත්වීම නිසා, මෙම මරණය පහරදීම හේතුවෙන් සිදුවූවක්ද නැතහොත් හෘදයාබාධයක් වැනි රෝගී තත්ත්වයක් මත සිදුවූවක්ද යන්න තහවුරු කරගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කොළඹ ජාතික රෝහලේදී පවත්වන ලදී.

එහිදී අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විසින් මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, ඉදිරි විමර්ශන සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

Latest Posts

spot_imgspot_img