ඉන්දියාවේ අර්බුදය – 2
අපි පළමු කොටසින් කතාබහ කළේ කැරපොතු ජනතා පක්ෂය බිහිවීම හා එහි ක්‍රියාකාරීත්වය ගැනය. මේ වන විට ඉන්දියාවේ අධ්‍යාපන ඇමතිවරයා ඉල්ලා අස් වී ඇත. අගමැති මෝදි උපක්රමශීලීව තත්ත්වය පාලනය කරගෙන ඇත. විපක්ෂය වන කොංග්‍රසය දේශපාලන වාසි (ලකුණු) ටිකක් උපයාගෙන ඇතත්, කැරපොතු බලය යනු ඉන්දියාවේ සම්ප්‍රදායික දේශපාලනයට ඇති වෙනත් අභියෝගයක පැතිකඩකි. අද දෙවන කොටසෙන් අපි කතා කරන්නේ ඒ සම්බන්ධවය.

ඉන්දියාවේ ආර්ථිකය මේ වන විට ලෝකයේ හතරවැනි ආර්ථිකය බවට පත්වී ඇති අතර ජනගහනය බිලියන 1.48 ක් වෙමින් ලෝකයේ පළමු තැනට පත්ව ඇත. දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.5 කි. ආර්ථික වර්ධන වේගය 6.5% ත් 7% ත් අතරය. ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2,800 කි. ආර්ථිකය සඳහා සේවා දායකත්වය 55% කි. කර්මාන්ත 27% කි. කෘෂිකර්මාන්තය 18% කි. ජනගහනයෙන් 50% ක් තරුණයන් වන අතර, ඔවුන් අතර රැකියා විරහිතභාවය 15% – 20% ත් අතර වේ.
ඉන්දියාව බහුවිධ ආගම්, භාෂා හා සංස්කෘතීන් ඇති වෙනම ලෝකයක් බඳු රටකි. එහෙත් ඉන්දියාවේ දත්ත අනුව ආසියාවේ සහස්‍රයේ නැගීමට, චීනයට හා ඉන්දුනීසියාවට අමතරව ඉන්දියාව දක්වන දායකත්වය විශාලය. චීනයේ හා ඉන්දුනීසියාවේ ශ්‍රම බලකායන් ලෝක ආර්ථිකය සමග ඉන්දියාව තරම් මිශ්‍ර වී නැතත්, ඉන්දියාවේ අධ්‍යාපනය හා ශ්‍රම බලකාය ලෝකයේ ශ්‍රම බලකාය සමග විධායක මට්ටමෙන් මිශ්‍ර වී ඇත. බොහෝ ව්‍යාපාරවල තීන්දු තීරණ ගනු ලබන්නේ ඉන්දියානු විධායකයන්ගේ මැදිහත් වීමෙනි. එය ඉන්දීය ආර්ථිකයට වාසියකි. ඉන්දියාව සමග තරගයක ඉන්නා ලෝකයට එය ප්‍රබල අභියෝගයකි.
ඉන්දීය චිත්‍රපට, සංගීතය හා යෝගා හරහා ලෝකයේ සංස්කෘතික මෘදු බලය (soft power) අත්පත් කරගනිමින් සිටී. ලෝකයට ඉන්දියාව සංස්කෘතික අභියෝගයකි. විශේෂයෙන් විශාල ආර්ථිකයන් ඇති, සංක්‍රමණික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන රටවල බලය ඉන්දියාව දෙසට විතැන් වීම භූ දේශපාලනිකව අභියෝගයකි. ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යය ඉන්දියාවයි.
ඒ නිසාම චීනය මෙන් නොව ඉන්දියාව ආර්ථික අභියෝගයක් පමණක් නොව සංස්කෘතික හා දේශපාලන අභියෝගයක් ද වේ. එංගලන්තයේ අගමැතිවරයකු පවා ඉන්දීය පසුබිමකින් බිහි විය. ඒ අනුව බලන විට මෑතකාලීනව ඉන්දියාවේ භූ දේශපාලනික බලපෑම ලංකාවට බලපානවාට වඩා සියගුණයකින් සූක්ෂ්මව ලෝකයට දියත් වෙමින් පවතී. ලෝකය එය ආදරයෙන් වැළඳ ගන්නේ නැත.
ඉන්දියාව හා දාලිත් ජනගහනය
දාලිතයන් යනු කවුද? දාලිතයන් යනු ඉතිහාසයේදී ස්පර්ශ කළ නොහැකි (Untouchability) පිරිසක් ලෙස සමාජයෙන් වෙන්කොට සැලකූ හා කුල පදනම් කරගත් වෙනස්කම්වලට ලක් වූ ජන කණ්ඩායම් වේ. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බොහෝ දාලිත ප්‍රජාවන් “නියමිත කුල” (Scheduled Castes – SC) ලෙස හඳුනාගෙන ඇත. දාලිත ජනතාව මිලියන 201 ක් (කෝටි 20.1 ක්) පමණ වේ. එය ඉන්දියාවේ සමස්ත ජනගහනයෙන් 16.6% ක් පමණ, එනම් සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් එක් අයෙකු වේ.
දාලිත් කුලයන් වෙනුවෙන් නීතිමය ආරක්ෂාව සැපයීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන හා පනත් ගෙන ඒමටත් ඉන්දියාවට සිදුවිය. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන වගන්තිය මඟින් අස්පෘශ්යභාවය (Untouchability) අභ්‍යාස කිරීම හා වෙනස්කම්වලට ලක් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. එසේම 1989 නියමිත කුල සහ නියමිත ගෝත්‍ර අපරාධ වැළැක්වීමේ පනත මඟින් කුල පදනම් කරගත් හිංසනය හා වෙනස්කම් කිරීම අපරාධ ලෙස සැලකේ. ඊට අමතරව, මධ්‍යම රජයේ රැකියා සහ රාජ්‍ය අධ්‍යාපන ආයතනවල 15% ක කෝටාවක් නියමිත කුල හෙවත් දාලිත් (SC) ජනතාව සඳහා වෙන් කර ඇත. පාර්ලිමේන්තුව, ප්‍රාන්ත සභා සහ පළාත් පාලන ආයතනවලද මේ කෝටා ක්‍රමය අනුව නියෝජනය සඳහා වෙන්කිරීම් ඇත.
එහෙත් ප්‍රධාන අභියෝගයක් වන්නේ නීති තිබුණද, කුල පදනම් කරගත් වෙනස්කම් සහ සමාජ වෙන්කිරීම් තවමත් පැවතීමය. දරිද්‍රතාවය හා සමාන ආදායම් නොමැති වීම, ගුණාත්මක අධ්‍යාපනය, ඉඩම් හිමිකම සහ ස්ථාවර රැකියා සඳහා ඇති සීමිත ප්‍රවේශය හා කුල පදනම් කරගත් ප්‍රහාර සහ හිංසන තවමත් වාර්තා වීම ද මෙයට අයත්ය. ඒ අනුව දාලිත් තරුණ ප්‍රජාව අතර පවතින රැකියා විරහිතභාවය, අධ්‍යාපනයට ඇති බාධා සහ රැකියාවලට බඳවා ගැනීමේදී වෙනස්කම් සිදුවීම තවමත් වළක්වාගත නොහැකි වී ඇති බව ප්‍රායෝගික සත්‍යයකි. එනම් ඉන්දියාව තුළ තමන්ගේම ජනකොටසකට තවමත් කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක වීම කෙතරම් වෙනස්කමකට ලක් කිරීමක් ද? මේ කරුණ ඉතිහාසය ඉදිරියට ගෙන එයි.
දාලිත ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ප්‍රාන්ත ලෙස උත්තර් ප්‍රදේශ්, බිහාර්, බටහිර බෙංගාලය, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ්, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ කර්ණාටක හැඳින්විය හැකිය. කෙසේ නමුත් දාලිතයන් යනු ඉන්දියාවේ විශාලතම, ඓතිහාසිකව පීඩාවට පත් වූ සමාජ කණ්ඩායම්වලින් එකකි. ඔවුන් ඉන්දියාවේ ජනගහනයෙන් 16.6% ක් පමණ වන අතර, නීතිමය ආරක්ෂාව සහ වෙන්කිරීමේ ප්‍රතිපත්ති තිබුණද, සමාජ හා ආර්ථික අභියෝග රැසකට තවමත් මුහුණ දෙමින් සිටිති. මේ සත්‍යය, ඉන්දියාව කෙතරම් විශාල තැනක් ලෝකයේ අත්පත් කරගෙන සිටියද වසා දැමිය නොහැකිය.
දාලිතයන් සහ කැරපොත්තන් ව්‍යාපාරය සමග ඇති සම්බන්ධය කුමක්ද?

දාලිත් කුලවල ගැලවුම්කරුවා වූයේ ශ්‍රීමත් භීම් රාඕ අම්බෙඩ්කාර්ය. කීර්තිමත් නීති විශාරදයකු වූ එතුමා අද ඉන්දීය දාලිත් කුලවල දාර්ශනික නායකයා ලෙස සැලකේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගොඩනැගීමේදී කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ ඔහු, 17 වන ව්‍යවස්ථාව වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වන ලදී. බෞද්ධ දර්ශනය තමන්ගේ ආගමික දර්ශනය කරගත් ඔහුගේ මග යමින්, අද දාලිත්වරු ගැඹුරු බුදු දහම ගැන අවධානය යොමු කරමින් සිටිති. දාලිත්වරුන් සමග ඇති අම්බෙඩ්කාර් පදනම්වල ලියුම්කාරිය සක්රීයය. ඔවුන් තම ජනගහනය හා බෞද්ධ දර්ශනය වෙනුවෙන් ඉතා සෘජු කැපවීමක් සහිත අධිෂ්ඨානශීලී මිනිසුන්ය.
ඉන්දීය අරගලයේ නායකත්වය දරන්නේ අභිජීත් ඩිප්කේ ය. අවුරුදු 30 ක් වයසැති දේශපාලන සන්නිවේදන විශේෂඥයෙකු වන අභිජීත් ඩිප්කේ ඉන්දියාවේ පළමු විශාල Gen-Z (නව පරපුරේ තරුණ) විරෝධතා ව්‍යාපාරයක නායකත්ව මුහුණුවර බවට පත් විය. ඔහු විසින් සමාජ මාධ්‍යයේ පළ කළ උපහාසාත්මක (satirical) පණිවිඩයක් මගින් “Cockroach Janata Party (CJP)” නම් ව්‍යාපාරය ආරම්භ විය. මෙය ආරම්භ වූයේ ඉන්දීය අගවිනිසුරු සූර්ය කාන්ත් විසින් රැකියා නොමැති තරුණයන් “කැරපොත්තන්” (cockroaches) ලෙස සමාන කළ බවට ඇති වූ මතභේදයකින් පසුවය. පසුව එම ප්‍රකාශය වැරදි ලෙස තේරුම් ගෙන ඇති බව අගවිනිසුරුවරයා පැවසුවද, තරුණයන් අතර විශාල අසතුටක් ඇති විය. මේ අසතුට ප්‍රකාශ කිරීමට එකතු වූ මෙම සමාජ මාධ්‍ය ව්‍යාපාරය ඉක්මනින්ම විශාල තරුණ ව්‍යාපාරයක් බවට පත් විය.
පළමු ලිපියෙන් කතා කළ හේතුවලට අයත්, විශේෂයෙන් NEET වෛද්‍ය ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර කාන්දු වීම සම්බන්ධයෙන් මිලියන 2 කට ආසන්න ශිෂ්‍යයන්ට බලපෑම් ඇති වූ බව සඳහන් විය. නව දිල්ලියේ සහ වෙනත් නගරවල විශාල විරෝධතා පැවැත්විණි. අවසානයේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වීම විරෝධතාකරුවන්ගේ ජයග්‍රහණයක් ලෙස සැලකිණි.
අභිජීත් ඩිප්කේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දාලිත පවුලකින් පැමිණි අයෙකි. ඔහුගේ පවුලේ දුෂ්කර අත්දැකීම් සහ දාලිත ජනතාවගේ අරගල ඔහුගේ දේශපාලන අදහස්වලට බලපෑම් කළ බවට සැකයක් නැත. ඔහු ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර්ගේ අදහස්වලින් ද බලපෑමට ලක්ව ඇත. ඔහුගේ අනන්‍යතාවය යනු, ප්‍රකාශ නොකළ ඉන්දීය කුල පීඩාවේ දේශපාලන හා නව පරම්පරාගත මුහුණුවර වන අතර එය තාක්ෂණික මුහුණුවරක් ද ගනී.
ඩිප්කේ මීට පෙර Aam Aadmi Party (AAP) හි සමාජ මාධ්‍ය කණ්ඩායම සමඟ වැඩ කළ අතර, උපහාසය, මීම්ස් (memes) සහ ඩිජිටල් සන්නිවේදනය දේශපාලන පණිවිඩ සඳහා භාවිතා කිරීමේ අත්දැකීම් ලබා ගත්තේය. පසුව ඔහු එම පක්ෂයේ ක්‍රියාකාරකම්වලින් ඉවත් විය. දැනට කොංග්‍රසය මේ සටන් හරහා ලකුණු දමාගැනීමේ සටනක සිටියත්, මේ ශිෂ්‍ය සටන් හෝ තරුණ නැගිටීම් දේශපාලනයට එහා ගිය කුල පදනමක් හා එම කුල පීඩනයට එරෙහිව නැගී සිටීමක් ලෙස දැකිය යුතුය.
ඩිප්කේ ඇමෙරිකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටියද, ඔහු ඉන්දියාවට නැවත පැමිණ මෙම විරෝධතාවලට නායකත්වය ලබා දුන්නේය. විවේචන සහ තර්ජන තිබුණද, ඔහු විරෝධතාකරුවන්ගෙන් සාමකාමීව සිටින ලෙස ඉල්ලා සිටියේය. මේ ක්‍රමය ලංකාවේ ‘ආදරයේ අරගලයට’ සමාන වන්නේ එතැනිනි. ලංකාවේ සිදුවූයේ ඇමෙරිකානු ආධාර හා සමාජ මාධ්‍ය ව්‍යාපෘති මගින් අරගලය කුළුගැන්වීමය. ඩිප්කේ සෘජුවම ඇමෙරිකානු අධ්‍යාපනය සමග බද්ධ වී ඇත. ශිෂ්‍යයන් භූ දේශපාලනික අරමුණු වෙනුවෙන් යොදාගැනීම වෙනම දේශපාලනික කාර්යයකි. විජේවීර හා හරිනි දේශපාලනයට එන්නේ ද ඒ ආකාරයෙනි. ලෝකයේ කොයි රටකත් ශිෂ්‍යයන් එසේ යොදවාගැනීම සාමාන්‍ය දෙයකි. ඔවුන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ අරමුණ එයයි. එය භූ දේශපාලනිකව අදාළ රටවලට අවාසිසහගත වේ.
ඩිප්කේගේ හැකියාව සමාජ මාධ්‍ය භාවිතයයි. ෆේස්බුක් හරහා වන සමාජ ක්‍රියාකාරකම් දකුණු ආසියාවම අස්ථාවර කරමින් අරගල බිහි කර තිබේ. ඇමෙරිකාවේ ප්රබලතම මෘදු බලය ෆේස්බුක් ජාලය බවට පත්වන අයුරු දකුණු ආසියාව සනාථ කරමින් සිටී. ඉන්දීය තරුණ නැගිටීම භූ දේශපාලනිකව කියවා ගැනීමට ඒ අනුව අපට හැකි විය යුතුය.
ඒ අතරම ඉන්දියාවේ අළු යට ගිනි පුපුරු වැනි දාලිත් වෙනස්කම් කිරීම් හෙවත් අභ්‍යාස කිරීම් පවතී. ඇමෙරිකාව හෝ චීනය මේවා ගැන අධ්‍යයනය නොකරනවා යැයි කීමට නොහැකිය. ප්රශ්නය ඇති තැනට භූ දේශපාලනය මැදිහත් වේ. කෙසේ වෙතත් ඩිප්කේ අම්බෙඩ්කාර් මග යමින් ප්‍රබල දේශපාලන මගක් ඉන්දීය අවවරප්රසාදිත ජනතාවට විවර කර දී ඇත. එය ඔවුන් ආරක්ෂා කරගන්නේ නම්, දාලිත් ජනතාවට වෙනම පක්ෂයක් බිහිවනු ඇති බවට අනුමාන කළ හැකිය. ඔවුන්ගේ අවදිවීම ඉන්දීය අනන්‍යතාවයට එරෙහිවන්නක් නොවන බව ඊයේ වන විට පැහැදිලිය. එහෙත් තම අයිතීන් වෙනුවෙන් ඔවුන්ට නිරන්තරයෙන් නැගී සිටීමට පදනම වැටී ඇත.
මෝදි ජී ගේ රාජ්‍යතාන්ත්‍රික වැටහීම ලංකාවේ 2022 අරගලයේදී ගෝඨාට යම් පමණකට තිබුණු බව මගේ වර්තමාන වැටහීමය. එහෙත් සම්පූර්ණ පවුලක් හෝ පරම්පරාවක් දේශපාලන බලයෙන් 74% ක් අභ්‍යාස කරමින් සිටින විට, මෝදි ජී තත්ත්වයේ විසඳුමකට ගෝඨාභයට යන්නට නොහැකි වීම සාමාන්‍යය.
ඉන්දීය කැරපොතු අරගලයේ හා ලංකාවේ 2022 අරගලයේ ඇමෙරිකානු මැදිහත්වීම හා භූ දේශපාලනික මැදිහත්වීම සමානය. ආණ්ඩු වෙනස් කිරීමේ බලයක් දක්වා කැරපොත්තන් තම ක්‍රියාදාමය දියත් කළහොත්, ඉන්දියාවට එයින් මහත් ආර්ථික බලපෑම් ඇතිවනු ඇත. ඉන්දියාවේ සමාජවාදීන් ඇත්තේ 2.5% ක ප්රතිශතයකි. දාලිත්වරුන් 16.6% කි. ඒ අනුව කැරපොතු බලය තවදුරටත් වර්ධනය වීමට හෝ මෙතැනින් සීමාවීමට බලපාන්නේ ද කුල සාධකය හා එහි සීමාවන් පමණි. අස්පෘශ්‍ය දාලිත්වරුන් ඉන්දීය දේශපාලනය පළමු වරට තදින් ස්පර්ශ කර ඇත. එය ඉන්දියාවට එක අතකින් අනතුරු හැඟවීමකි. අනෙක් අතින් වර්ධනය වීමට අවස්ථාවකි.
ඉන්දියාව අස්ථාවර වීම ලාංකීය ආර්ථිකයට විශේෂයෙන් බලපාන අතර, ලාංකීය වත්මන් දේශපාලනය ඒ තුළ අසරණ වනු ඇත.
Source: slleader.lk



