Latest Posts

කියන තරම් රොෂාන් මහානාම සුද්දෙක් නෙමෙයි! – LPL අස්සේ එළියට ආ ළබැඳියාවේ බරපතළ ගැටුම

HariDeshaya.lk විශේෂ විමර්ශනය:

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දූෂණයෙන් සහ පක්ෂපාතීත්වයෙන් මුදවා ගන්නට, මහත්වරුන්ගේ ක්‍රීඩාව නැවත ස්ථාපිත කරන්නට “සුදු මහත්වරු” ලෙස පෙනී සිටි චරිතවල සැබෑ මුහුණුවර පසුගියදා ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියත් සමඟ රටටම නිරාවරණය වී තිබෙනවා.

සැමවිටම ප්‍රතිපත්ති ගැන කතා කරන, හෘද සාක්ෂියට එකඟව තැන්වලින් ඉල්ලා අස්වන “පිරිසිදු” චරිතයක් ලෙස සමාජගත වී සිටි හිටපු ප්‍රවීණ ක්‍රීඩක රොෂාන් මහානාම, මෙවර තමන්ගේම ප්‍රතිපත්ති කුණුකූඩයට දමමින් සිදුකර ඇති මූල්‍ය සහ සදාචාරාත්මක උල්ලංඝනය දැන් මුළු රටේම දැඩි දෝෂදර්ශනයට ලක්වෙමින් පවතිනවා.

කමිටුවේදී නීති දමයි; LPL වලදී සල්ලිවලට යටවෙයි?

වත්මන් ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රබල සාමාජිකයකු ලෙස කටයුතු කරන රොෂාන් මහානාම ඇතුළු පිරිස, මෑතකදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ශුද්ධ පවිත්‍ර කිරීමට යැයි පවසමින් දැඩි නියෝගයක් පැනවූවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හෝ ඊට අනුබද්ධ කිසිදු නිලධාරියෙකුට, වෙනත් කිසිදු ක්‍රීඩා සමාජයක, සංගමයක හෝ කණ්ඩායමක නිල තනතුරු දැරිය නොහැකි බවයි.

නමුත් පසුගියදා තරගාවලිය ආරම්භ වන විට රටටම පැහැදිලි වූයේ රොෂාන් මහානාම කියන්නේ “අනුන්ට ලණූ දී තමන් හොරෙන් කන” ප්‍රතිපත්තියක සිටින අයෙකු බවයි.

  • කමිටු සාමාජිකයා: LPL තරගාවලියේ සමස්ත තීරණ ගන්නා, නීති හදන පරිවර්තන කමිටුවේ ඔහු තවමත් වාඩි වී සිටී.
  • මිලදී ගත් උපදේශකයා: ඒ අතරතුරම, ඇමරිකාවේ වෙසෙන ප්‍රියංග ද සිල්වාගේ හිමිකාරීත්වයෙන් යුත්, රංගන හේරත් පුහුණුකරු ලෙස කටයුතු කරන ‘දඹුල්ල සික්සර්ස්’ කණ්ඩායමේ වැටුප් ලබන උපදේශක තනතුරක් ඔහු බාරගෙන ඇත.

තමන්ම නීති හදන කමිටුවේ සිටිමින්, එම කමිටුවේ තීරණ සෘජුවම බලපාන LPL තරගාවලියේ එක කණ්ඩායමකින් වැටුප් ලබාගැනීම බරපතළ ගණයේ ළබැඳියාවන් අතර ගැටුමක් (Conflict of Interest) මිස වෙන කුමක්ද?

සුදු රෙදි ඇඳගත් නිරුවත

මීට පෙර තමන්ට එකඟ විය නොහැකි සුළු කරුණකදී පවා මාධ්‍ය සංදර්ශන පවත්වමින් තනතුරුවලින් ඉල්ලා අස්වූ රොෂාන් මහානාම, මෙවර LPL කණ්ඩායමකින් ලැබෙන කුට්ඨිය හමුවේ නිහඬ වත රැකීමෙන්ම පෙනී යන්නේ ඔහුද අනෙක් සාමාන්‍ය පුද්ගලයන් සේම වාසි තකා ප්‍රතිපත්ති පාවාදෙන අයෙකු බවයි.

හරි නම්, මේ තනතුරු දෙකෙන් එකක් බාරගන්නට පෙර ඔහු අනෙකෙන් ඉල්ලා අස්විය යුතුව තිබුණි. නමුත් පසුගියදා තරගාවලිය ආරම්භ වී තරග ද පැවැත්වෙන තෙක්ම ඔහු තනතුරු දෙකම බදාගෙන සිටින්නේ කුමන සදාචාරයකට අනුවද?

HariDeshaya.lk අප සෘජුවම ප්‍රශ්න කර සිටින්නේ මෙයයි:

නීතිය සාමාන්‍ය මිනිසුන්ට සහ ක්‍රිකට් ආයතනයේ අනෙකුත් නිලධාරීන්ට පමණක්ද? තමන් “සුද්දෙක්” යැයි කියාගන්නා රොෂාන් මහානාමලාට තමන් හැදූ නීති අදාළ නොවේද? LPL මුදල් හමුවේ තමන්ගේ හෘද සාක්ෂිය සහ ප්‍රතිපත්ති පාවාදුන් මහානාම, දැන්වත් තමන්ගේ නිරුවත වසාගැනීමට මේ තනතුරු දෙකෙන් කුමකින් හෝ වහාම ඉල්ලා අස්වීමට තරම් කොන්දක් පෙන්වනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

Latest Posts

spot_imgspot_img