යම් තරග ප්‍රතිඵලයක් ‘සමස්ත පාපන්දු ක්‍රීඩාවට ම හිමි වූ ජයග්‍රහණයක්’ ලෙස විස්තර කිරීම සාමාන්‍යයෙන් යල්පැන ගිය ප්‍රකාශයක් ලෙස දැකිය හැකි වුව ද, 2026 ලෝක කුසලාන අවසන් තරගයේදී ස්පාඤ්ඤය ලැබූ ජයග්‍රහණය එසේ විස්තර කළහොත්, එම අදහසට එකඟ නොවෙන මධ්‍යස්ථ මතධාරීන් විශාල පිරිසක් සොයාගැනීම පහසු නොවනු ඇත.

ෆෙරන් ටොරෙස් අතිරේක කාලයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළ විටත්, රොඩ්‍රි නිව් ජර්සිහිදී ලෝක කුසලානය ඉහළට ඔසවා ජයග්‍රහණය සැමරූ විටත්, ආර්ජන්ටිනාව වෙනුවෙන් කනගාටුවට පත්වූ විශාල පිරිසක් සිටි බව සිතීම අපහසු ය.
ක්‍රීඩකයන්ටත් ප්‍රේක්ෂකයන්ටත් එක සේ වෙහෙසකර වූ සටනකදී ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව පරාජය කරමින් සිය දෙවන පිරිමි පාපන්දු ලෝක කුසලානය දිනා ගත්තේ ය. පාපන්දු සම්බන්ධ සෑම මිනුම් දණ්ඩක් අනුව ම සහ සමහරුන් පවසන අන්දමට සදාචාරාත්මක වශයෙන් ද මෙය නිවැරදි ප්‍රතිඵලය විය.
BBC One නාලිකාවට අදහස් දැක්වූ හිටපු එංගලන්ත නායක ඇලන් ශියරර්, "නිවැරදි කණ්ඩායම ජය ගත් බවට කිසිදු සැකයක් නැහැ," යැයි පැවසීය. "ආරම්භයේ සිට අවසානය දක්වා ම ස්පාඤ්ඤය පන්දුවේ පාලනය ඔවුන් සතුව තබා ගත්තා. පාපන්දු ක්‍රීඩා කිරීමට, අවස්ථා නිර්මාණය කිරීමට සහ ප්‍රතිවාදීන්ගේ ආරක්ෂාව බිඳ හෙළීමට උත්සහ කළේ ඔවුන්."
"ඔවුන් ක්‍රීඩා කළ ආකාරය සැලකුවා ම මේක පාපන්දු ක්‍රීඩාවට ලැබුණු ප්‍රතිඵලයක්. ස්පාඤ්ඤයට ජයග්‍රහණය අත්විය යුතු බව ඔවුන් ඔප්පු කළා."
ස්පාඤ්ඤය පන්දුව 65%ක් ම ඔවුන් සතුව තබා ගත් අතර, අපේක්ෂිත ගෝල සංඛ්‍යාව 1.94ක් විය. ඔවුන් ගෝල ලබා ගැනීම සඳහා 20 වතාවක් පහර එල්ල කළ අතර ඒවායින් 11ක් ඉලක්කයට එල්ල විය.
අනෙක් පසින්, ගෝල රකින්නා වූ උනායි සිමෝන් තරග අටක් අතරින් හත් වන වරටත් ගෝල රහිත තරගයක් පවත්වා ගනිමින් තරගාවලියේ හොඳ ම ගෝල රකින්නාට හිමි රන් අත්වැසුම [Golden Glove] දිනාගත්තේ ය.
2026 ලෝක කුසලානයේදී ස්පාඤ්ඤයට එරෙහිව වාර්තා වූයේ, එක් ගෝලයක් පමණක් වන අතර එය ලෝක කුසලානය ජය ගත් ඕනෑ ම කණ්ඩායමකට එරෙහිව ලබා ගත් අවම ගෝල සංඛ්‍යාව යි.
සියලු මිනුම් දඬු අනුව ස්පාඤ්ඤය ආර්ජන්ටිනාවට වඩා ඉදිරියෙන්
ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේදී සංසන්දනය කිරීම දුෂ්කර වුව ද, ස්පාඤ්ඤය ලෝකයේ වත්මන් විශිෂ්ටතම කණ්ඩායම බව පැහැදිලි ය.

ඔවුහු, ලෝක ශූරයන්, ඔලිම්පික් ශූරයන් සහ යුරෝපීය ශූරයන්, පමණක් නොව කාන්තා ලෝක ශූරියන් ද වෙති. පිරිමි කණ්ඩායම දැන් සියලු ම තරගාවලිවල අඛණ්ඩ තරග 38ක් පරාජය නොවී සිටින අතර එය ඉතිහාසයේ ඕනෑ ම යුරෝපීය කණ්ඩායමක දීර්ඝතම අපරාජිත වාර්තාව යි.
මෙම ලෝක කුසලානය ඔවුන් ආරම්භ කළේ, කේප් වර්ඩ් සමග 0-0ක් ලෙස ජය පැරදුමකින් තොරව සම තත්ත්වයකින් නිම කළ තරගයකිනි. ස්පාඤ්ඤය ලෝක ශූරතාව දිනා ගත් අවස්ථා දෙකේදී ම ඔවුන්ගේ ආරම්භක තරගය ජය ගැනීමට අසමත් වී තිබේ. 2010දී ස්විට්සර්ලන්තයට 1-0ක් ලෙස පරාජය වීම අතීත නිදසුනකි.
නමුත් එතැන් සිට ඔවුහු කුසලානය දිනා ගැනීමට වැඩි ම අවස්ථාවක් ඇති කණ්ඩායම් අතර සිටියහ.
අවසාන තරගයේදී ඔවුන්ගේ ගුණාත්මකභාවය පැහැදිලිව ම දක්නට ලැබිණි.
ලෝක කුසලාන අවසන් තරගයකදී ක්‍රීඩකයෙකු පන්දුව හුවමාරු කර ගැනීමේ අවස්ථා 100ක් හෝ ඊට වැඩි ගණනක් සම්පූර්ණ කළ අවස්ථා වාර්තා වී ඇත්තේ තුනක් පමණි. ඒවායින් දෙකක් ම ස්පාඤ්ඤ ක්‍රීඩකයන් විසින් අවසන් තරගයේදී වාර්තා කළ අතර, රොඩ්‍රි 101ක් සහ පවු කුබාර්සි 121 වතාවක් පන්දුව හුමාරු කරගෙන තිබිණි.
තව ද මෙම සංචිතයේ බොහෝ දෙනෙකුට, මෙය ආරම්භය පමණක් විය හැකි ය.
19 හැවිරිදි කුබාර්සි තරගාවලියේ හොඳ ම යොවුන් ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු අතර, ඔහුගේ බාසිලෝනා සගයා වන ලමීන් යමාල්ගේ හොඳ ම කාලය ඉදිරියේදී පැමිණීමට නියමිත බව පෙනෙයි.
අවුරුදු 19යි දින 6ක වයසේදී, ලමීන් යමාල් 1958 දී පේලේ සහ 1982 දී ජුසේප්පේ බෙර්ගෝමිට පසුව ලෝක කුසලාන අවසන් තරගයක ක්‍රීඩා කළ තුන් වන ළාබාලතම ක්‍රීඩකයා බවට පත් විය. දැන් ඔහු තුන් වන ළාබාලතම ජයග්‍රාහකයා ද වේ.
ආර්ජන්ටිනාවට ස්පාඤ්ඤයේ එකමුතුව බිඳ හෙළීමට නොහැකි වීම
ආර්ජන්ටිනාව බොහෝ විට, විශේෂයෙන් එංගලන්ත රසිකයන් විසින් ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේ නිහඬ දුෂ්ටයන් ලෙස සලකනු ලැබේ.
අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව සිදු කළ ආකාරයට ම, ආර්ජන්ටිනාව පාපන්දු ක්‍රීඩා කිරීමට වඩා, පළමු භාගයේදී පාපන්දු ක්‍රීඩා කිරීම වැළැක්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට තිබිණි.
ප්‍රධාන කඩාකප්පල්කරු වූයේ ලියෑන්ඩ්‍රෝ පරේදෙස් වන අතර, ඔහුගේ සහායකයා වූයේ එන්සෝ ෆර්නැන්ඩෙස්ය.
ආර්ජන්ටිනාවේ ක්‍රීඩකයන් හතර දෙනෙකුට කහ කාඩ්පත් පෙන්වූව ද, මෙම තරගාවලිය තුළ විනිසුරුවන්ගෙන් ඔවුන් මෘදු සැලකීමක් ලැබූ බවට පවතින අදහස තවදුරටත් තහවුරු වන බව බොහෝ දෙනෙකුට හැඟෙනු ඇත.
ආර්ජන්ටිනාව තරගය පුරා 464 වාරයක් පන්දුව හුවමාරු කර ගත් අතර, ස්පාඤ්ඤ ක්‍රීඩකයෝ 852 වතාවක් පන්දුව හුවමාරු කර ගත්හ.
නමුත් එංගලන්තය මෙන් නොව, ස්පාඤ්ඤය දෙවන අර්ධයේදී දුර්වල නොවී ය. තරගයේ 106 වන මිනිත්තුවේදී ටොරෙස් වාර්තා කළ ගෝලයට බොහෝ වේලාවකට පෙර ඔවුන් මෙම තරගය ජයග්‍රහණය කළේ නම්, ඒ පිළිබඳව එතරම් ගැටලු මතු නොවන්නට ඉඩ තිබිණි.
ආර්ජන්ටිනාවේ එමිලියානෝ මාර්ටිනස්ට ගෝල අවකාශ 11ක් රැක ගැනීමට සිදුවූ අතර, එය ලෝක කුසලාන අවසන් තරගයක ඕනෑ ම ගෝල රකින්නෙකු වාර්තා කළ ඉහළ ම සංඛ්‍යාවයි.
අනෙක් පසින්, ඒ වන විට ලෝක ශූරයන් වූ ඔවුන් ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් තරගයක මිනිත්තු 90ක් තුළ එකදු ප්‍රහාරයක්වත් ගෝල කණුව වෙත එල්ල නොකළ පළමු කණ්ඩායම බවට පත් විය. ඔවුන්ගේ පළමු උත්සාහය එල්ල වූයේ 117 වන මිනිත්තුවේදී ලියනෝල් මෙසී හරහා ය.
ආර්ජන්ටිනාවට තම ඔටුන්න අහිමි වූ අතර, අවසන් විසිල් හඬෙන් පසුව දැකීමට සිදුවූ දර්ශන හේතුවෙන් ඔවුන්ගේ ගෞරවය ද අහිමි වූ බව බොහෝ දෙනෙකුට හැඟිණි.
‘පිළිකුල්සහගත හැසිරීම’

ෆර්නැන්ඩස්ට මුලින් ම කහ කාඩ්පතක් පෙන්වූයේ, විනිසුරුගේ තීරණයකට විරෝධය දැක්වීම හේතුවෙනි. පසුව ඔහු පිටියෙන් ඉවත් කරන ලද්දේ, කුබාර්සි බිම ඇද වැටීමට හේතු වූ ලේට් ටැකල් කිරීමක් නිසා ය.
සම්පූර්ණ කාලය අවසන් වූ විසිල් හඬෙන් පසුව පරේදේස් සහ රොඩ්‍රි, ගාවි සහ බෝර්හා ඉග්ලේසියස් සමග ගැටුමකට එළැඹි අතර, ඔහුගේ කණ්ඩායම් සගයා වූ නවෙල් මොලීනා එතැනින් ගමන් කරමින් සිටි ස්පාඤ්ඤ ක්‍රීඩකයෙකුට පහරක් එල්ල කරන ආකාරය ද දැකගත හැකි විය.
බීබීසී විචාරක වේන් රූනි පැවසුවේ, “තරගය අවසන් වූ පසු එවැනි දේවල් දැකීම ලැජ්ජාසහගත යි. කණ්ඩායමක් ලෝක කුසලාන ශූරයන් ලෙස කිරුළු පැළඳ තිබෙනවා. මෙය එච්චර හොඳ දෙයක් නෙවෙයි.”
“පරේදෙස් ඊට වඩා හොඳ කෙනෙක්. නමුත් එතැනින් ඒක නවතින්නේ නැහැ. ඔහු දිගට ම එය කරගෙන ගියා.”
ආර්ජන්ටිනා කණ්ඩායමේ කළමනාකරු ලියනෝල් ස්කලෝනි තරගයෙන් පසු මාධ්‍ය හමුවේදී කඳුළු පිරි දෑසින් තම කණ්ඩායමේ ක්‍රීඩකයන් ආරක්ෂා කිරීමට උත්සහ කළ නමුත්, හොඳ ම කණ්ඩායම ජය ගත් බව පිළිගැනීමට සිදු විය.

“85 වන මිනිත්තුව දක්වා ඔවුන් අපට වඩා හොඳින් ක්‍රීඩා කළත්, ඉන්පසුව අපටත් පිටියේ ක්‍රීඩකයන් 11 දෙනා ම සිටියා නම් කොහොම වෙයි ද කියලා දැනගන්න මම කැමති යි,” යැයි ඔහු ෆර්නැන්ඩෙස් පිටියෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවසීය.
“තරගය සම්පූර්ණයෙන් ම විවෘතව පැවතුණත්, අවසානය දක්වා ම අපි එහි රැඳී සිටීමට සමත් වුණා. නමුත් ස්පාඤ්ඤය ජයග්‍රහණය ලැබීමට සුදුසු මට්ටමක හිටියා. යථාර්ථය ඒක යි.”
පසුගිය ලෝක කුසලාන අවසන් තරග හයෙන් පහක් මෙන්, ආර්ජන්ටිනාව මෙම තරගය අතිරේක කාලය දක්වා රැගෙන යාමට සමත් වුව ද, එයින් ඔවුන්ගේ දුර්වලතාව සැඟවීමට නොහැකි විය.
“සිද්ධ වුණ දේ ගැන කිසි ම චෝදනාවක් කරන්න ආර්ජන්ටිනාවට බෑ,” හිටපු එංගලන්ත ගෝල රකින්නෙකු වන ජෝ හාර්ට් BBC One වෙත පැවසීය.
“පිළිකුල්සහගත හැසිරීමක්.”
“රොඩ්‍රිට ඔවුන්ගේ ඉස්සරහට ගිහින් කතා කරන එක අවශ්‍ය යි කියලා මම හිතන්නේ නෑ. නමුත් මිනිත්තු 120ක් පුරා ඔබ කෝපයට පත් කර තිබෙන තත්ත්වයක, ඔබට අසාධාරණයක් වූ බව ඔබ සිතන විට, සහ විනිසුරුවරයා ඔබට එරෙහිව සිටින බව ඔබට හැඟෙන විට, ඒක තේරුම් ගන්න පුළුවන්.”
Source: බීබීසී සිංහල



