2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ක්‍රියාකලාපය දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කරමින්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම ඊයේ(17) අභියාචනාධිකරණයේදී විභාගයට ගැනිණි.

මෙහිදී ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන පෙන්වා දුන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඬුල්ලේ තීන්දුව මගින් සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින් මෙම ප්‍රහාරයේ මහමොළකරුවන් බව නිශ්චිතවම තහවුරු කර ඇති බවයි.
එමෙන්ම, ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ (TID) ඉස්ලාමීය අන්තවාදය පිළිබඳ විමර්ශන ඒකකයේ (Q Branch) එවකට සිටි ස්ථානාධිපති සෙනරත් මුදියන්සේලාගේ කෝණාර බණ්ඩාර ගේ ප්‍රකාශද මෙහිදී උපුටා දැක්විණි. සහරාන් සහ ඔහුගේ අනුගාමිකයින් පිළිබඳ සියලු තොරතුරු කල්තියාම CID ය වෙත ලබා දී තිබූ බවත්, මෙම ඛේදවාචකය සිදුවූයේ ඔවුන්ගේ ක්රියාකාරීත්වයේ අසාර්ථකත්වය නිසා බවත් එම ප්‍රකාශ මගින් අවධාරණය කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තවදුරටත් උපුටා දක්වමින් ජයවර්ධන සඳහන් කළේ, 2016 අප්‍රේල් සිට 2019 අප්‍රේල් දක්වා කාලය තුළ හිටපු රාජ්‍ය බුද්ධි (SIS) අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් සහරාන් සහ ඔහුගේ කල්ලිය පිළිබඳව පොලිස්පතිවරයාට සහ CID යට නිශ්චිත බුද්ධි වාර්තා 97 ක් යොමු කර ඇති බවයි.
එවැනි පසුබිමක 2019 ජනවාරි මාසයේදී ISIS මතවාදයට නැඹුරු වූ පුද්ගලයන් 129 දෙනෙකුගේ ලැයිස්තුවක්ද CID ය වෙත යොමු කර තිබියදී, ඒ සම්බන්ධයෙන් කිසිදු අර්ථවත් නීතිමය පියවරක් ගෙන නොතිබීම මෙහිදී දැඩි දෝෂදර්ශනයට ලක්විය.
අප්‍රේල් 4 වැනිදා ඉන්දීය ‘රෝ’ (RAW) ඔත්තු සේවයෙන් ලැබුණු නිශ්චිත අනතුරු ඇඟවීමේ ලිපිය, අප්‍රේල් 9 දා එවකට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ කාර්යාලයට ලැබී තිබිණි. එහෙත් එය CID අධ්යක්ෂවරයාට ලැබී ඇත්තේ ප්‍රහාරයෙන් පසුදින එනම් අප්‍රේල් 22 වන දා වීම, රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයේ පවතින බරපතළ නිලධාරීවාදී මන්දගාමීත්වය මනාවට පිළිඹිබු කරන්නක් බව නීතීඥවරයා පෙන්වා දුන්නේය.
මාවනැල්ල බුදු පිළිම කැඩීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම වැනි ප්‍රායෝගික සාක්ෂි සහිතව විමර්ශන සිදුවෙමින් පැවති වකවානුවක, බුද්ධි අංශ විසින් සැකකරුවන් සැඟවී සිටින ස්ථාන පවා ලබා දී තිබියදී CID ය නිහඬව සිටීම බරපතළ ගැටලුවකි. එදා රාජකාරිය පැහැර හැරි නිලධාරීන්ටම අද මෙම ප්‍රහාරයේ විමර්ශන භාර දීම කෙතරම් දුරට යුක්තිසහගතද යන නෛතික සහ සදාචාරාත්මක පරස්පරතාව (Conflict of Interest) ද මෙහිදී මතු කෙරිණි.
පෙත්සම් විභාගය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මෙම සියලු කරුණු සහ ලේඛනාත්මක සාක්ෂි සලකා බැලූ අභියාචනාධිකරණය, වැඩිදුර විභාගය ලබන අඟහරුවාදා (ජූලි 21) දක්වා කල් තැබීමට නියෝග කළේය.
Source: slleader.lk



