විශේෂ ගවේෂණාත්මක වාර්තාව – HariDeshayaLk
ලංකාවේ පාරිභෝගික ජනතාව මුදල් දී මිලදී ගන්නේ වස විසද? නැතහොත් කල් ඉකුත් වූ කුණු ද්‍රව්‍යද? මහජන සෞඛ්‍යය බිල්ලට දෙමින්, රුපියල් කෝටි 85කට අධික වටිනාකමකින් යුත්, මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ සුදු සීනි ටොන් 4250ක් නැවත ඇසුරුම් කර වෙළඳපොළට නිකුත් කිරීමට ගිය මහා පරිමාණ ජාවාරමක සුලමුල පසුගියදා (ජූලි 06) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අනාවරණය කරගනු ලැබීය.

කැලණිය ප්‍රදේශයේ පිහිටි “විල්සන් ට්‍රේඩින් පුද්ගලික සමාගම” (Wilson Trading Pvt Ltd) විසින් පවත්වාගෙන ගිය පෑලියගොඩ, පෙතියාගොඩ සූරවීර ගබඩාව වටලා මෙම සීනි තොගය අත්අඩංගුවට ගෙන ඇත.
කෝටි 85ක ‘සීනි නාට්‍යය’ සහ අධිකරණ ක්‍රියාමාර්ගය
පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් සමාගමේ සේවකයින් සිව්දෙනෙකු වන උදිත ප්‍රියදර්ශන, ජීව කුමාර, කරුණා විධාන සහ තිලකරත්න වල්ගම යන අය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය හමුවට ඉදිරිපත් කෙරිණි. එහිදී සැකකරුවන් සිව්දෙනා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
එමෙන්ම, මෙම සීනි තොගයේ සාම්පල වහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන තෙක් අදාළ ගබඩාව මුද්‍රා තබා (සීල් තබා) තබන ලෙසත්, ඊට පෑලියගොඩ පොලිසිය මඟින් ආරක්ෂාව සපයන ලෙසත් අධිකරණය නියෝග කර ඇත.
නිලධාරීන්ගේ ‘පනත නොදන්නා’ රංගනය සහ මහේස්ත්‍රාත්වරියගේ දැඩි විවේචනය
මෙම නඩු විභාගයේදී වඩාත්ම අවධානයට ලක්විය යුතු කරුණ වූයේ පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ ක්රියාකලාපයයි. පාරිභෝගික පනතේ ප්‍රතිපාදන පැහැදිලිව තිබියදී, ජාවාරමේ නියම මහමොළකරුවන් වන සමාගමේ අයිතිකරුවන් මඟහැර සාමාන්‍ය සේවකයින් සිරගෙට යැවීමට නිලධාරීන් උත්සාහ කර ඇති බව අධිකරණයේදී හෙළි විය.
එහිදී මහේස්ත්‍රාත්වරිය සහ විමර්ශන නිලධාරීන් අතර ඇති වූ සංවාදය මෙසේය:
• මහේස්ත්‍රාත්වරිය: “පනත ප්‍රකාරව ආයතනයක සේවකයින් අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමක් නිසාද? මේ සමාගම මොකක්ද?”
• විමර්ශන නිලධාරීන්: “පැමිණිල්ලේ සටහන් කරලා තියෙනවා ස්වාමීනි, විල්සන් ට්‍රේඩින් පුද්ගලික සමාගම.”
• මහේස්ත්‍රාත්වරිය: “පාරිභෝගික පනත යටතේ සමාගමක හිමිකරුවන් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි. සේවකයින් සැකකරුවන් ලෙස නම් කරන්නේ ඇයි? කල් ඉකුත් වු තොග තබා ගත්තා කියලා මේ සේවකයෝ මොනවා කරන්නද? පනත දන්නේ නෑ වගේ නිලධාරීන් වැඩ කරනවා!”
අධිකරණයේදී හෙළි වූ පරිදි මෙම කුප්‍රකට සමාගමේ අයිතිකරුවන් ලෙස නම් 4ක් සඳහන් වේ:
1. ලොකු මාන්න හේමන්ත ජයලත්
2. ලොකු මාන්න හේමාන්න සුමිත් ප්‍රසන්න දයාසිරි
3. කසුන් ජීවනාත්
4. අරුණ හැන්නදිගේ
හිමිකරුවන් නිදැල්ලේ තබා, සේවකයින් ලවා ප්‍රකාශ සටහන් කරගෙන පසුව හිමිකරුවන්ට චෝදනා ගොනු කිරීමට ගිය නිලධාරීන්ගේ පිළිවෙත මහේස්ත්‍රාත්වරියගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. “චෝදනා ගොනු කරන්න කලින් විමර්ශන කළ යුතුයි. සියල්ල අධිකරණයට නොසඟවා හෙළි කළ යුතුයි” යැයි මහේස්ත්‍රාත්වරිය මෙහිදී අවධාරණය කළාය.
නීතිමය උපක්‍රම සහ මහේස්ත්‍රාත්වරිය දුන් ප්‍රායෝගික තීන්දුව

විත්තිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍ර කන්දේගෙදර මහතා අපූරු තර්කයක් ඉදිරිපත් කළේය. පාරිභෝගික පනතේ 10 වගන්තිය අනුව මුළු ගබඩාවටම සීල් තැබිය නොහැකි බවත්, කල් ඉකුත් වූ භාණ්ඩවලට පමණක් සීල් තබන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
නමුත් ජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන් පෙනී සිටි මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ක්ෂණිකව ප්‍රතික්ෂේප කළාය.
“මෙතන තියෙන්නේ මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු සීනි. එහි සුදුසු සහ නුසුදුසු දේ වෙන් කරන්නේ කොහොමද? ප්‍රායෝගික දුෂ්කරතා තිබෙනවා. ඒ නිසා ගබඩාවේ තහනම ඉවත් කරන්න බැහැ. විත්තියට පුළුවන් තමන් නිවැරදි ලේඛන මත මේවා ආනයනය කළා කියලා අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න.”
2024 දීම කල් ඉකුත් වූ සීනි 2026දීත් වෙළඳපොළට?
විමර්ශන නිලධාරීන් පැවසූ පරිදි මෙම සුදු සීනි තොගය 2024 වසරේදීම කල් ඉකුත් වූ ඒවාය. වසර දෙකකට ආසන්න කාලයක් රහසිගතව තබාගෙන ඇති මෙම සීනි, කිලෝ 50 මිටිවලින් නැවත අලුතින් ඇසුරුම් කර (Re-packing) වෙළඳපොළට එවීමට සූදානම් කර තිබූ බව වැටලීමේදී තහවුරු වී ඇත. මෙම සමස්ත සීනි තොගයේ වටිනාකම රුපියල් කෝටි 85කට ආසන්නය.
පැමිණිල්ල සහ විත්තිය යන දෙපාර්ශවයම ඉදිරිපත් කරන සීනි සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර, ඊළඟ දිනට සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
HariDeshayaLk අවධාරණය:
මෙම සිදුවීමෙන් පැහැදිලි වන්නේ මෙරට පාරිභෝගික ආරක්ෂණ පද්ධතියේ ඇති බරපතල සිදුරුයි. ජනතාව වස කන තුරු පාරිභෝගික අධිකාරිය බලා සිටින්නේ මන්ද? මහා පරිමාණ ජාවාරම්කරුවන් කොටු කරගැනීමට යාමේදී නිලධාරීන් පනතේ ප්‍රතිපාදන “නොදන්නවා සේ” හැසිරෙන්නේ කාගේ වුවමනාවටද?
මෙම මහා පරිමාණ සීනි ජාවාරමේ පිටුපස සිටින සැබෑ හිමිකරුවන්ට නීතිය ක්‍රියාත්මක වන ආකාරය සහ ලබන අගෝස්තු 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විමර්ශන ප්‍රගති වාර්තාව පිළිබඳව HariDeshayaLk අප අඛණ්ඩව සෙවිල්ලෙන් සිටින්නෙමු.
(වාර්තාකරණය – HariDeshayaLk විමර්ශන ඒකකය)



