Wednesday, January 14, 2026
spot_img

Latest Posts

දූෂිතයන්ට එරෙහිව ‘හරි දේශය’ පෑන මෙහෙයවයි: බාල ගල් අඟුරු ජාවාරම සහ තර්ජන මැද හෙළිවන “ටයිඩන්ට්” රහස්

ජනතාවගේ බදු මුදල් කොල්ලකන දූෂිත ගනුදෙනු හෙළිදරව් කිරීමේ අපගේ ස්වාධීන මාධ්‍ය මෙහෙවර තර්ජන හමුවේ නතර කළ නොහැකි බව අවධාරණය කරමු.

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය හරහා බාල ගල් අඟුරු සැපයීමේ ක්‍රියාවලිය පිටුපස සිටින ප්‍රධාන පාර්ශවකරුවන් පිළිබඳව අප කළ අනාවරණයත් සමඟ, ඊට සම්බන්ධ පුද්ගලයින් කලබලයට පත්ව ඇති බව පෙනේ. අද (12) දින ‘හරි දේශය’ ප්‍රධාන කර්තෘවරයා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින්, අදාළ ටෙන්ඩරය හිමිකරගත් ඉන්දීය සමාගම වන ටයිඩන්ට් චැම්පාර් (Trident Chemphar) සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන සනත් බණ්ඩාර ජයසුන්දර නැමැත්තා බැන තර්ජනය කර ඇත්තේ “අපි උසාවියේදී බලාගමු” යනුවෙනි.

කවුද මේ සනත් බණ්ඩාර ජයසුන්දර?

තර්ජනය කිරීමෙන් මාධ්‍ය මර්දනය කළ හැකි යැයි සිතන සනත් බණ්ඩාර ජයසුන්දර මහතාගේ ‘අතීත වතගොත’ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අපගේ වගකීමකි. මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු දක්ෂතා විශ්ලේෂකයකු වුවද, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් පවත්වන ලද දූෂණ විමර්ශනයකදී වැරදිකරු වී වසර හතක (07) පූර්ණ ක්‍රිකට් තහනමකට ලක්වූවෙකි.

ඔහුට එරෙහිව ඔප්පු වූ බරපතල දූෂණ චෝදනා මෙසේය:

  • 2.1.3 වගන්තිය: ජාත්‍යන්තර තරගයක ප්‍රතිඵලයට බලපෑම් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අල්ලස් මුදලක් හෝ වෙනත් යාගයක් ලබා දීමට යෝජනා කිරීම.
  • 2.4.7 වගන්තිය: දූෂණ මර්ධන ඒකකය විසින් පවත්වනු ලැබූ පරීක්ෂණයකට බාධා කිරීම, බලපෑම් කිරීම හෝ එහි කටයුතු ප්‍රමාද කිරීම.

ක්‍රිකට් ක්‍රීඩාව පවා අල්ලසින් සහ දූෂණයෙන් කෙලෙසීමට උත්සාහ කළ අයෙකු, මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානතම ගනුදෙනුවක් වන ගල් අඟුරු ටෙන්ඩරයක දේශීය නියෝජිතයෙකු ලෙස පෙනී සිටීමම මෙම ගනුදෙනුවේ විනිවිදභාවය පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරයි.

ටයිඩන්ට් චැම්පාර්: ඉන්දියාවේදීත් ‘කළු ලැයිස්තුවට’ වැටුණු සමාගමක්ද?

ලක්විජය බලාගාරය සඳහා මෙවර ගල් අඟුරු සැපයීමට තෝරාගෙන ඇති ඉන්දීය සමාගම වන ටයිඩන්ට් චැම්පාර් (Trident Chemphar) පිළිබඳව ද ඇත්තේ යහපත් වාර්තාවක් නොවේ. අප කළ සොයා බැලීම් වලට අනුව, මෙම සමාගම ඉන්දියාව තුළ ද විවිධ දූෂණ චෝදනා, තහනමට ලක්වීම් සහ අත්අඩංගුවට ගැනීම් වලට සම්බන්ධ වූ ඉතිහාසයක් ඇති ආයතනයකි.

මෙවැනි චෝදනා පවතින සමාගමකට මෙරට ජනතාවගේ බදු මුදල් බිලියන ගණනින් වැය කරන ටෙන්ඩරයක් පිරිනැමීම පිටුපස ඇති අදිසි හස්තය කුමක්ද?

හොරාගේ අම්මාගෙන් පේන ඇසීම”: විෂයභාර ඇමතිවරයාගේ අතීතය

මෙම දූෂිත ජාලයේ ඉහළින්ම සිටින විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ භූමිකාව ද මෙහිදී වඩාත් විමසුමට ලක්විය යුතුය. අන් කවරෙකුටත් වඩා වංචා දූෂණ පිළිබඳව ‘හොඳ පළපුරුද්දක්’ අමාත්‍යවරයාට ඇති බව පෙනෙන්නේ, ඔහු මීට පෙර පොහොර සංස්ථාවේ සේවය කරද්දී සිදුවූ දූෂිත ටෙන්ඩර් සිද්ධියකට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් වැරදිකරු ලෙස නම් කර ඇති අයෙකු වීම නිසාය.

අල්ලස් චෝදනා මත ක්‍රිකට් තහනමකට ලක්වූ දේශීය නියෝජිතයින්, ඉන්දියාවේ චෝදනාවලට ලක්වූ සමාගම් සහ අතීතයේ දූෂණ චෝදනාවලට වැරදිකරු වූ අමාත්‍යවරුන් එකට එක්වී කරන මෙම “ගල් අඟුරු සෙල්ලම” රටේ බලශක්ති සුරක්ෂිතතාවයට මෙන්ම ජනතාවගේ මුදල්වලට ද එල්ල කරන මරු පහරකි.

‘හරි දේශය’ ස්ථාවරය

අප කරන්නේ ස්වාධීන විමර්ශනාත්මක මාධ්‍ය කලාවකි. කිසිදු පුද්ගලයෙකුගේ හෝ දේශපාලන අධිකාරියකගේ තර්ජන හමුවේ ජනතාවගේ දේපළ කොල්ලකන ජාවාරම්කරුවන් හෙළිදරව් කිරීමෙන් අප පසුබට වන්නේ නැත.

  • ජනතාවගේ බදු මුදල් දූෂිත ගනුදෙනු සඳහා යොදාගැනීම වැළැක්වීම.
  • බාල ගල් අඟුරු ගෙන්වා විදුලි අර්බුදයක් නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයන් පරාජය කිරීම.
  • වංචාවට සහ දූෂණයට එරෙහිව නොබියව පෑන මෙහෙයවීම.

අපගේ අරමුණ එයයි. සනත් බණ්ඩාර ජයසුන්දර වැන්නවුන්ගේ තර්ජන අපට හුදෙක් ‘තවත් එක් සිදුවීමක්’ පමණි. සත්‍යය ජනතාව හමුවේ තැබීම අපි අඛණ්ඩව සිදු කරන්නෙමු.


විමර්ශනාත්මක ඒකකය, හරි දේශය වෙබ් පුවත්පත.

Latest Posts

spot_imgspot_img