ප්‍රශ්නගත 'ඔන්ඩන්සෙට්‍රොන්' (Ondansetron) එන්නත් හරහා මතුව ඇති සෞඛ්‍ය අර්බුදය හුදෙක් ඖෂධයක ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් නොව, සමස්ත සෞඛ්‍ය පරිපාලනයම දූෂණයට හා නොහැකියාවට බිලිවී ඇති බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බරපතල චෝදනාවක් එල්ල කරයි. ජනතාවගේ ජීවිත අනතුරේ හෙළමින් සිදුකෙරෙන මෙම 'ඖෂධ ජාවාරම' පිටුපස ඇති තාක්ෂණික හා දේශපාලනික පසුබිම ඔහු දීර්ඝ විග්රහයකට ලක් කළේය.
විද්‍යාත්මක පරීක්ෂණ සහ ප්‍රතීතන අර්බුදය
ප්‍රශ්නගත එන්නත් කාණ්ඩ ඉන්දියාවේදී පරීක්ෂණ දහයකින් සමත් වුවද, මෙරටට ගෙන්වීමෙන් පසු එහි බැක්ටීරියා විෂ අඩංගු බව තහවුරු වීම හරහා පෙනී යන්නේ ජාත්‍යන්තර මට්ටමේ නියාමන ක්‍රියාවලියක පවතින හිඩැසයි. වෛද්‍ය චමල් සංජීව මහතා මෙන්ම රාජිත සේනාරත්න මහතා ද මෙහිදී අවධාරණය කරන්නේ ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) තත්ත්ව පාලන රසායනාගාරය ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතනය (SLAB) විසින් පිළිගත් ආයතනයක් නොවීම බරපතල ඛේදවාචකයක් බවයි.
රුපියල් බිලියන 5ක් වැනි මුදලක් වැය කර ජාත්‍යන්තර ප්‍රමිතියේ පූර්ණ රසායනාගාරයක් පිහිටුවීමට රජය දක්වන මැලිකම ඔහු දැඩි ලෙස විවේචනය කළේය. “ජනාධිපති අරමුදලෙන් සහ දේශපාලන ව්‍යාපෘති සඳහා බිලියන ගණනින් මුදල් වෙන් කරන රජයකට, රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන රසායනාගාරයක් හදන්න වුවමනාවක් නැතිකමම දූෂණයට මග පෑදීමක්,” යැයි ඔහු පෙන්වා දුන්නේය.
රාජිත යුගයේ සෞඛ්‍ය විප්ලවය: ආපසු හැරී බැලීමක්
මෙම අර්බුදය හමුවේ රාජිත සේනාරත්න මහතා සිය පාලන සමය තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුකළ දැවැන්ත ප්‍රතිසංස්කරණ ද සිහිපත් කළේය. වර්තමාන සෞඛ්‍ය පරිපාලනය අකර්මන්‍ය වී ඇති බව පෙන්වා දීමට ඔහු මෙම නිදසුන් ඉදිරිපත් කරයි:
- අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල සියයට 85ක් දක්වා අඩු කරමින් මෙරට ඖෂධ මාෆියාවට එරෙහිව සෘජු ක්‍රියාමාර්ග ගැනීම.
- හදවත් රෝගීන් සඳහා ස්ටෙන්ට් (Stent) සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා වන කාච (Lens) නොමිලේ ලබාදීමට පියවර ගැනීම හරහා පෞද්ගලික අංශයේ ගසාකෑම් අවම කිරීම.
- සේනක බිබිලේ ප්‍රතිපත්තියට පණ දෙමින් 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත මගින් ඖෂධවල ප්‍රමිතිය හා මිල පාලනය කිරීමට ස්වාධීන ආයතනයක් බිහිකිරීම.
- රුපියල් ලක්ෂ ගණන් වටිනා පිළිකා නාශක ඖෂධ සඳහා පනවා තිබූ මිල සීමාවන් ඉවත් කර රජයේ රෝහල් හරහා ඒවා අසීමිතව නොමිලේ ලබාදීමේ ක්‍රමවේදය සකස් කිරීම.
වර්තමාන බිඳවැටීමට හේතුව “කොමිස් කුට්ටි” ද?
වර්තමානයේ ඖෂධ හිඟය සහ බාල ඖෂධ මෙරටට ගලා ඒම පිටුපස ඇත්තේ ක්‍රමවත් නියාමනයක් නොමැතිකම සහ හදිසි මිලදී ගැනීම් (Emergency Purchases) හරහා සිදුවන දූෂණ බව විවේචකයෝ පවසති. රාජිත සේනාරත්න මහතා අවධාරණය කරන්නේ තමන්ගේ පාලන සමයේ ගොඩනැගූ ශක්තිමත් නියාමන පද්ධතිය වර්තමාන පාලකයින් විසින් සිතාමතාම අකර්මන්‍ය කර ඇති බවයි.
ප්‍රමිතිගත රසායනාගාරයක් නොමැතිකම නිසා වන්දි අයකර ගැනීමට පවා නොහැකි වීමෙන් මහජන මුදල් බිලියන ගණනින් නාස්ති වන අතර, එහි අවසන් ප්‍රතිඵලය වන්නේ රජයේ රෝහල් කෙරෙහි පවතින විශ්වාසය පළුදු වී ජනතාව මරණ බියෙන් පසුවීමයි.



