Latest Posts

රුපියල් බිලියන 24ක මළකඳක් කරගසාගත් සතොස සහ ආණ්ඩුවේ පැවැත්ම හමුවේ ඇටවුණු මාරක අර්බුදය

‘ජනතාවට සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෙනවා’ කියන ආකර්ශනීය සටන්පාඨය පෙරටු කරගෙන දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ ‘ලංකා සතොස’ අද පවතින්නේ මරණ මංචකයේ ය. අද කරළියට පැමිණ තිබෙන්නේ හුදු වෙළෙඳ පාඩුවක් පමණක් නොවේ; එය සමස්ත රාජ්‍ය වෙළෙඳ සංස්කෘතියේම නග්න බංකොලොත්භාවයයි.

පැරණි දේශපාලන ක්‍රමවේදය වෙනස් කර කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීමේ ප්‍රතිඥාව මත බලයට පැමිණි වත්මන් ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව හමුවේ ඇති බරපතළම අභියෝගය බවට පත්ව ඇත්තේ, මෙම රුපියල් බිලියන 24ක දැවැන්ත මූල්‍ය කළු කුහරයයි. ආයතනය මුහුණ දී ඇති මෙම ව්‍යුහාත්මක අර්බුදය නිසි ලෙස කළමනාකරණය නොකළහොත්, එය ආණ්ඩුවේ සමස්ත ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියම ගිලගන්නා මරඋගුලක් බවට පත්වීම වැළැක්විය නොහැක.

සංඛ්‍යාලේඛන පිටුපස ඇති මහා මූල්‍ය කඩාවැටීම

සතොස බිඳවැටීම සාමාන්‍ය ව්‍යාපාරික පසුබෑමක් ලෙස සරල කළ නොහැක. එය ජනතා බදු මුදල් ක්‍රමානුකූලව කාබාසිනියා වූ අතිදැවැන්ත මූල්‍ය ඛේදවාචකයකි:

  • රුපියල් බිලියන 24ක සමුච්චිත පාඩුව: සමස්ත මහජනතාවගේ කරමත පැටවී ඇති දැවැන්ත මූල්‍ය හිඟය.
  • බැංකු ණය බිලියන 5ක් පැහැර හැරීම: රාජ්‍ය බැංකු පද්ධතියෙන් ලබාගත් බිලියන 5ක ණය වාරික ගෙවාගත නොහැකිව පැහැරහරිමින්, සමස්ත මූල්‍ය පද්ධතියම අවදානමකට ලක් කිරීම.
  • සැපයුම්කරුවන්ට බිලියන 11ක පොලු තැබීම: භාණ්ඩ සැපයූ දේශීය ව්‍යාපාරිකයන්ට ගෙවීමට ඇති රුපියල් බිලියන 11ක හිඟ මුදල් නිසා, සතොසට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම ව්‍යාපාරිකයන් ප්‍රතික්ෂේප කරමින් සිටී. රාක්ක හිස් වෙද්දී සැපයුම්කරුවන් පෞද්ගලික සුපිරි වෙළෙඳසැල් වෙත හැරෙන්නේ සතොස කෙරෙහි පැවති වාණිජ විශ්වාසය මුළුමනින්ම බිඳවැටී ඇති බැවිනි.

ඕනෑම ආණ්ඩුවකට පොදු ‘ගොඩනැගිලි සහ කොමිස් මාෆියාව’

සතොස සතු ශාඛා 424න් 250ක්ම අද නඩත්තු වන්නේ පාඩු ලබමිනි. එනම් 60%කට ආසන්න ශාඛා ප්‍රමාණයක් පවත්වාගෙන යන්නේ ඍණ ආදායම් ලබමිනි. 2024 ජනවාරි සිට 2025 ඔක්තෝබර් දක්වා කාලය තුළ පමණක් ක්‍රියාත්මක කළ නොහැකි මට්ටමට වැටුණු ශාඛා 31ක් වසා දැමීමට සිදුවිය.

මෙහි යටිපෙළ කුමක්ද? ගෙවීගිය ආණ්ඩුවල වේවා, වර්තමාන පාලනය යටතේ වේවා, රාජ්‍ය යාන්ත්‍රණය තුළ නොනැසී පවතින එක් මූලික පිළිකාවක් තිබේ. එනම්, පාරිභෝගික ඝනත්වයක් නොමැති පාළු ප්‍රදේශවල සතොස ශාඛා විවෘත කිරීමයි. බලයේ සිටින දේශපාලකයන්ගේ, ඔවුන්ගේ හිතවතුන්ගේ හෝ රාජ්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ට අයත් පාලු ගොඩනැගිලි සතොසට කුලියට ලබා දී, ඒ හරහා මාස්පතා මහා පරිමාණ කුලී මුදල් සහ රහසිගත කොමිස් කාබාසිනියා කිරීමේ සංස්කෘතියක් දශක ගණනාවක් තිස්සේ පැවතීම මෙයට ප්‍රධාන හේතුවකි.

තවත් පසෙකින්, ලාභ ලබන සතොස ශාඛාවල හිමිකරුවන් ගොඩනැගිලි ආපසු ඉල්ලද්දී, වර්ග අඩි 3,000ක ඉඩ සහ වාහන නැවැත්වීමේ දෘඪ කොන්දේසි පෙන්වමින් සිටින නිලධාරීවාදය නිසා ලාභ ලබන ශාඛා වැසී යද්දී, කොමිස් පොම්ප වන පාඩු ලබන ශාඛා දිගටම නඩත්තු වන විකෘතියක් නිර්මාණය වී තිබේ.

වත්මන් ආණ්ඩුව හමුවේ ඇති මාරාන්තික අභියෝගය

සතොස අර්බුදය හුදෙක් එක් ආයතනයක ප්‍රශ්නයක් පමණක් නොවේ. එය ආණ්ඩුවේ පැවැත්ම සහ ප්‍රතිපත්තිමය විශ්වාසනීයත්වය හමුවේ මතුව ඇති ප්‍රබල අභියෝගයකි:

  1. ප්‍රතිසංස්කරණ පොරොන්දුව අවලංගු වීමේ අවදානම: රාජ්‍ය ව්‍යවසායන් කාර්යක්ෂම කර දූෂණය නතර කරන බවට වූ පොරොන්දුව හමුවේ, පැරණි සම්ප්‍රදායික විසඳුම් තවදුරටත් වලංගු නොවේ. ශාඛා කිහිපයක් වසා දමා හෝ ණය ගෙවීම කල් දමා ගන්නා සාම්ප්‍රදායික පැලැස්තර දැමීමෙන් ආණ්ඩුවට ජනතාව ඉදිරියේ නිදහසට කරුණු කිව නොහැක.
  2. වෙළෙඳපොළ මිල පාලනය බිඳවැටීම: සතොස සතුව තිබූ මූලික අරමුණ වූයේ අතරමැදියන්ගේ මිල සූරාකෑමෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමයි. සතොස අඩපණ වීම යනු සහල්, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තීරණය කිරීමේ සම්පූර්ණ බලය පෞද්ගලික ඒකාධිකාරයන් අතට පත්වීමයි. ජීවන වියදම පාලනය කිරීමට ඇති සෘජු රාජ්‍ය යාන්ත්‍රණය බිඳවැටුණහොත්, එහි ඍජු ජනතා විරෝධය එල්ල වන්නේ ආණ්ඩුව දෙසටය.
  3. ව්‍යාපාරික ප්‍රතිව්‍යුහගතකරණයේ විනිවිදභාවය: පාඩු ලබන ශාඛා ඉවත් කර ලාභදායී වාණිජ ස්ථාන වෙත ශාඛා ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පැවසේ. එහෙත් එම නව ස්ථාන තෝරාගැනීමේදීත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදීත් පැරණි හිතවත්කම් සහ කොමිස් ගැසීම් තවදුරටත් ක්‍රියාත්මක නොවන්නේ යැයි සහතික කිරීමට ආණ්ඩුවට හැකිද? එසේ නොවුණහොත්, පැරණි ක්‍රමවේදයම වෙනත් මුහුණුවරකින් ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනාවෙන් ආණ්ඩුවට ගැලවිය නොහැක.

ශල්‍යකර්මයක්ද? නැතහොත් තවත් එක් රැවටිල්ලක්ද?

සතොස යනු හුදු සිල්ලර වෙළෙඳසැල් ජාලයක් නොවේ; එය සමස්ත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ආණ්ඩුව මුහුණ දෙන ප්‍රබලතම ප්‍රායෝගික විභාගයයි.

ගොඩනැගිලි කුලී මාෆියාව, නිලධාරීවාදී කොමිස් ගැසීම් සහ ප්‍රසම්පාදන අක්‍රමිකතා මුලිනුපුටා දමමින් සැබෑ ව්‍යුහාත්මක ශල්‍යකර්මයක් කිරීමට ආණ්ඩුව සූදානම්ද? නැතහොත් සිදු වන්නේ සුපුරුදු පරිදි සාකච්ඡා සහ වාර්තාවලට සීමා වූ තවත් එක් දේශපාලන රැවටිල්ලක් පමණක්ද? රුපියල් බිලියන 24ක මෙම අර්බුදය ආණ්ඩුවේ ආර්ථික දැක්ම සහ විශ්වාසනීයත්වය විනිශ්චය කරන ප්‍රධාන මිනුම්දණ්ඩක් වනු නොඅනුමානය.

Latest Posts

spot_imgspot_img