ශ්‍රී ලංකාවේ වගා ආයෝජන ක්‍රම සම්බන්ධයෙන් මහ බැංකුවේ නියාමන මැදිහත්වීම් දැඩි වෙමින් තිබෙන පසුබිමක, අප විසින් මතු කළ යුතු වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, සිදු කළ යුත්තේ වගා ආයෝජනයම සීමා කිරීම ද? නැතහොත් අවදානම් සහිත හා අනවසර මූල්‍ය ක්‍රම පමණක් දැඩි ලෙස විධිමත් කිරීම ද? යන්නයි. මේ සඳහා ජපානයේ වර්තමාන ප්‍රතිපත්ති දෙස බැලීම ඉතා වැදගත් වේ.ජපානය කෘෂිකාර්මික ක්ෂේත්රයේ පවතින ප්‍රාග්ධන අවශ්‍යතාව, ශ්‍රම හිඟය, වයස්ගත ගොවි ජනගහනය සහ ආහාර සුරක්ෂිතතාව වැනි අභියෝගවලට මුහුණදීම සඳහා කෘෂි ආයෝජන සීමා කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් අනුගමනය කරමින් සිටින්නේ, එය නවීකරණය කරමින් ආයතනික මූල්‍යකරණය (corporate financing) සමඟ සම්බන්ධ කිරීමේ ප්රවේශයකි.

මීට කදිම නිදසුනක් ජපානයේ නොරින්චුකින් (Norinchukin) බැංකුවෙන් සැපයේ. ඔවුන් 2025 මූල්‍ය වර්ෂයේදී යෙන් බිලියන 100ක ‘කෘෂිකර්ම හා ආහාර පද්ධති සංවර්ධන අරමුදලක්’ (Agriculture and Food System Development Fund) ස්ථාපිත කර තිබේ. එම අරමුදලෙහි මූලික අරමුණ වන්නේ කෘෂිකාර්මික නිෂ්පාදකයන්ගේ ව්‍යාපාර පුළුල් කිරීම, ප්‍රාග්ධන ආයෝජන සහ උපකරණ නවීකරණය සඳහා ණය පහසුකම් සැපයීමයි. එමෙන්ම, නොරින්චුකින් සමූහය සහ එහි අනුබද්ධ ආයතන විසින් කෘෂි හා ආහාර ක්ෂේත්රයේ ව්‍යාපාර සඳහා මේ වන විට ලබාදී ඇති සමුච්චිත හිමිකම් මූල්‍යකරණ (equity finance) ප්‍රමාණය යෙන් බිලියන 119.8ක් බව එම බැංකුව පවසයි.
එපමණක් නොව, ජපානය 2024 ඔක්තෝබර් 1 වනදා සිට ‘සුහුරු කෘෂි තාක්ෂණ භාවිතය ප්‍රවර්ධනය කිරීමේ පනත’ (Smart Agriculture Technology Utilization Promotion Act) ද ක්‍රියාත්මක කර ඇත. එම නීතියේ අරමුණ වන්නේ කෘත්‍රිම බුද්ධිය (AI), රොබෝ තාක්ෂණය සහ අන්තර්ජාලය හරහා සම්බන්ධිත උපාංග (IoT) ඇතුළු නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට ගෙන ඒමෙන් නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීමයි. අදාළ සැලසුම් සඳහා අනුමැතිය ලබාගන්නා ගොවීන් සහ ව්‍යාපාර වෙනුවෙන් මූල්‍ය හා බදු සහන ඇතුළු ආධාර ලබාදීමට ද එම ක්‍රමවේදය හරහා ඉඩ සලසා තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් වෙනසක් අප හඳුනාගත යුතුය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වර්තමාන නීතිමය රාමුවේ ප්‍රධාන අවධානය යොමු වන්නේ වගා කටයුතු තහනම් කිරීමකට වඩා, බලපත්‍ර නොමැතිව මහජනතාවගෙන් තැන්පතු භාරගැනීම සහ අනවසර මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාම වැළැක්වීම කෙරෙහිය. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත (Finance Business Act) යටතේ බලපත්‍ර නොමැති පුද්ගලයකුට හෝ ආයතනයකට මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යාම හෝ මහජනතාවගෙන් තැන්පතු භාරගැනීම නීති විරෝධී වේ. මහ බැංකුව ද මේ සම්බන්ධයෙන් පැහැදිලිව කරුණු දක්වා තිබේ.
ඒ අනුව මතු වන ප්‍රධාන ගැටලුව වන්නේ, “වගාවට ආයෝජනය කිරීම” සහ “වගාව යන නාමයෙන් අනවසර මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යාම” යන්න එකම කාණ්ඩයක් ලෙස සැලකිය හැකිද යන්නයි.
මෙම කාරණය විශේෂයෙන්ම වැදගත් වන්නේ, මහ බැංකුව විසින් 2026 සැප්තැම්බර් මස නිකුත් කළ නවතම නිවේදනයක Kasagala Green Plantation (Private) Limited සහ Ceylon Green Life Plantation (Private) Limited යන සමාගම් සම්බන්ධයෙන් මුදල් ව්‍යාපාර පනත යටතේ විමර්ශන සිදුවන බව සඳහන් කර තිබීම හේතුවෙනි. එවැනි අනවසර ආයතනවල මුදල් තැන්පත් නොකරන ලෙස ද එම නිවේදනයෙන් මහජනතාවට අවධාරණය කර තිබිණි.
ඒ අනුව ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා නියාමනයක් අවශ්‍ය බවට කිසිදු සැකයක් නැත. එහෙත් ප්‍රතිපත්තිමය වශයෙන් අප නැගිය යුතු ඊළඟ ප්රශ්නය වන්නේ, අනවසර තැන්පතු ගැනීම නවත්වන අතරම නීත්‍යානුකූල කෘෂි ආයෝජන සඳහා විධිමත් මූල්‍ය පද්ධතියක් නිර්මාණය කළ නොහැකි ද? යන්නයි.
ජපානයේ ආදර්ශය මෙහිදී අතිශයින් වැදගත් වේ. ඔවුන් කෘෂි ආයෝජනය මූල්‍ය අවදානමක් ලෙස පමණක් නොසලකන අතර, එය ආහාර සුරක්ෂිතතාව, අපනයන වර්ධනය, තාක්ෂණික නවීකරණය සහ ගොවි ආදායම් වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රාග්ධනයක් ලෙස ද සලකනු ලබයි. ඒ සඳහා ජපන් රජය, බැංකු සහ ආයෝජන ආයතන විවිධ මූල්‍ය උපකරණ භාවිත කරයි.
එබැවින් ශ්‍රී ලංකාවේද රාජ්‍ය ප්‍රතිපත්තිය “වගා ආයෝජන නවත්වීම” වෙනුවට, අවදානම් මට්ටම අනුව ඒවා වෙන්කර හඳුනාගැනීමක් විය යුතුය. ඒ සඳහා පහත සඳහන් ක්‍රමවේද හඳුන්වා දිය හැකිය.
- මහජනතාවගෙන් තැන්පතු භාරගන්නා ආයෝජන ක්‍රම සඳහා දැඩි බලපත්‍ර ක්‍රමයක් ඇති කිරීම.
- ආයෝජකයාට සහතික කළ ප්රතිලාභ (guaranteed returns) ලබාදෙන බව පවසන ක්‍රම සඳහා විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම.
- ඉඩම් හිමිකම, වගා ප්‍රදේශය, අස්වැන්න, වෙළෙඳ ගිවිසුම් සහ මුදල් ප්‍රවාහය පිළිබඳව ස්වාධීන තහවුරු කිරීම් සිදු කිරීම.
- ආයෝජකයන්ගේ මුදල් සහ ව්‍යාපාරික මෙහෙයුම් මුදල් එකිනෙකින් වෙන්කර තබා ගැනීම.
- වාර්ෂික ස්වාධීන විගණනයක් අනිවාර්ය කිරීම.
- ව්‍යාපාරයේ අවදානම් පිළිබඳව ආයෝජකයන්ට පැහැදිලි අනාවරණයක් කිරීම.
- කෘෂි ආයෝජන සඳහාම විශේෂ වූ විධිමත්කරණ රාමුවක් නිර්මාණය කිරීම.
මෙවැනි පද්ධතියක් හරහා ආයෝජකයා ආරක්ෂා කිරීමත්, වංචාකාරී ආයෝජන ක්‍රම වැළැක්වීමත්, කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය පෞද්ගලික ප්රාග්ධනය ගලා ඒමත් යන කාරණා සියල්ල එකවර සිදු කළ හැකිය. විශේෂයෙන්ම ආහාර ආනයනය වෙනුවෙන් විශාල විදේශ විනිමයක් වැය කරන ශ්‍රී ලංකාව වැනි රටකට, කෘෂිකර්මාන්තයට යොමු වන පෞද්ගලික ප්රාග්ධනය සම්පූර්ණයෙන්ම අධෛර්යමත් කිරීමෙන් ඇතිවිය හැකි ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳව ද වෙනම සාකච්ඡාවක් සිදු කිරීම අනිවාර්ය වේ.
ඒ නිසා අපගේ ප්රශ්නය විය යුත්තේ “වගා ආයෝජන තහනම් කළ යුතුද?” යන්න පමණක් නොවේ. ඒ වෙනුවට, “වගා ආයෝජන ක්ෂේත්රය තුළ නීත්‍යානුකූල ව්‍යාපාරයන් ආරක්ෂා කරමින්, වංචාකාරී සහ අනවසර මූල්‍ය ක්‍රම පමණක් ඉවත් කිරීමට ශ්‍රී ලංකාවට වඩාත් නිරවද්‍ය විධිමත්කරණ ක්‍රමයක් නිර්මාණය කළ හැකිද?” යන්න අප විමසා බැලිය යුතුය.
ජපානයේ වර්තමාන ප්‍රවේශය අපට පෙන්වා දෙන්නේ කෘෂි ආයෝජනය යනු හුදු මූල්‍ය අවදානමක් පමණක් නොවන බවත්, එය ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රධාන ප්‍රාග්ධන මූලාශ්‍රයක් බවත්ය. ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගය වන්නේ, එම ප්රාග්ධනය නීත්‍යානුකූල, විනිවිදභාවයෙන් යුතු සහ ආයෝජකයා ආරක්ෂා කෙරෙන පද්ධතියක් තුළට ගෙන ඒමයි.
මන්ද, ගොවියා උපන් දා සිට ගොවියෙකු වී ගොවියෙකු ලෙසම මිය යන්නේ ද, නැතහොත් වගා ආයෝජකයෙකු ලෙස තමන්ගේ ක්ෂේත්රයේ ඉදිරි පියවරක් තබන්නේ ද යන්න වර්තමාන ලෝකයට අදාළව අත්හළ නොහැකි නූතනවාදී සංකල්පයකි.
රසික බටගොඩ – www.lakbimanews.com



