විශේෂ ප්රවෘත්ති විමර්ශනය — HariDeshayaLk
වැලිගම ගල්බොක්ක ඓතිහාසික බුහාරි පල්ලිය සහ බාරි මදුරසාවේ පරිපාලන බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමේ අරමුණින්, වඛ්ෆ් සභාව සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කළ අතිශය නින්දිත, අත්තනෝමතික මෙහෙයුමක තිරය පිටුපස තොරතුරු සහ බරපතළ අල්ලස් පාපොච්චාරණයක් සහිත හඬපටයක් මේ වන විට මුළු රටම හමුවේ නිරාවරණය වී තිබේ.

සාමාන්‍ය මුස්ලිම් පල්ලියක සුළු ලියවිල්ලක් ලබා ගැනීමට ගියද මාස ගණන්, අවුරුදු ගණන් ලිපිගොනු යටපත් කරමින් මහජනතාව රස්තියාදු කරන ආයතන, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිද්දී එක රැයකින් “විශේෂ භාරකරුවන්” හත්දෙනෙකු පත්කර ඇත්තේ කාගේ අත යටින් ගිය අල්ලස් හා දේශපාලන කුමන්ත්රණයකටද යන්න දැන් කරළියට පැමිණ ඇත.
“දෙන්න ඕන තැන්වලට අල්ලස් දුන්නා” — පෙත්සම්කරුගේ හඬපටය පුපුරා යයි!
අභියාචනාධිකරණයේ විභාග වූ CA/WKF/02/2024 නඩුවේ 6 වන පෙත්සම්කරු ලෙස පෙනී සිටි මොහොමඩ් කව්සර් හාජියාර් අහමඩ් (No. 108, Galbokka Road, Weligama) විසින් WhatsApp සමූහ වෙත මුදාහරින ලද අතිශය ආන්දෝලනාත්මක හඬ පණිවිඩයක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන මොහොමඩ් ඉස්මත් විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.
එම හඬපටයේදී කව්සර් හාජියාර් අහමඩ් ප්‍රකාශ කරන්නේ, පෙර පැවති වඛ්ෆ් මණ්ඩලය සහ අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් සඟවා තැබූ බව කියන ‘Volume 1’ ලිපිගොනුව ලබාගැනීමට සහ නඩු කටයුතු වෙනුවෙන් කෝටි එකහමාරකට අධික මුදලක් වියදම් කළ බවයි. එහිදී ඔහු නිර්ලජ්ජිත ලෙස මෙසේ පවසයි:
“අල්ලස් දෙන්න ඕන තැන්වලට අල්ලස් පවා දුන්නා” (Lanjam kudukka vendiya edathula lanjam kuduthom)
නඩුවේ ප්‍රධාන පෙත්සම්කරුවෙකු විසින්ම මෙලෙස “වියදමට අභිබවා අල්ලස් දුන් බව” ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කරද්දී, එම අල්ලස් මුදල් ගලා ගියේ වඛ්ෆ් සභාවේ සහ දෙපාර්තමේන්තුවේ කාගේ සාක්කුවලටද යන්න වහාම රටට හෙළි විය යුතුය.
කල් මරන වඛ්ෆ් සභාව පැය 24න් කුලප්පු වූයේ ඇයි? මරිෂඩ් බාරි සහ මොහොමඩ් නවාස්ගේ ‘රෑ මෙහෙයුම’

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව හොඳින්ම දන්නා සත්‍යයක් තිබේ: වඛ්ෆ් සභාවෙන් හෝ මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවෙන් සාධාරණයක් ඉටුකර ගැනීමට ගියහොත් සපත්තු ගෙවෙන තුරු කොළඹ රස්තියාදු වන්නට සිදුවේ. එහෙත්, වැලිගම සිද්ධියේදී මේ මන්දගාමී නිලධාරී තන්ත්රය ක්‍රියාත්මක වූ වේගය ඇදහිය නොහැකිය:
- සැප්තැම්බර් 20 දින හිටපු භාරකාර මණ්ඩලයේ නිල කාලය අවසන් වේ.
- එසැණින් රැස්වීම: කිසිදු පූර්ව විමර්ශනයක්, පසුබිම් සොයා බැලීමක් හෝ හිටපු නීත්‍යානුකූල භාරකරුවන්ට කිසිදු පූර්ව නිවේදනයක් (Notice) නොමැතිව මරිෂඩ් බාරි ප්රමුඛ වඛ්ෆ් සභාව කඩිනමින් රැස්වේ.
- එදා රෑම අත්සන් ගැසීම: මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මොහොමඩ් නවාස් එක රැයකින් ලිපි සකස් කර, එදින රාත්‍රියේම අදාළ පත්වීම් ලිපිවලට අත්සන් තබයි.
- පහුවදා උදෑසනම බෙදාහැරීම: පහුවදා පහන් වන විට “විශේෂ භාරකරුවන්” හත්දෙනෙකුගේ නම් ඇතුළත් ලිපි වැලිගමට මුදාහැරේ.
ස්වභාවික යුක්ති මූලධර්ම සහ සාධාරණ විභාගයක් (Fair Hearing) අමු අමුවේ උල්ලංඝනය කරමින්, අධ්යක්ෂ මොහොමඩ් නවාස් සහ සභාපති මරිෂඩ් බාරි ප්රමුඛ කණ්ඩායම රාත්‍රී කාලයේ මෙතරම් කලබලයෙන් ලිපි අත්සන් කර දිව ගියේ කුමන ආපදාවක් වළක්වා ගැනීමටද? නැතහොත් පෙත්සම්කරු කියන “අල්ලස් මුදල්” සහ දේශපාලන ස්වාමිවරුන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කර දීමටද?
ශ්‍රේෂ්ඨාධිකරණය නොතකා අධිකරණ බලයට කළ සෘජු නිග්‍රහය
අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචනා අවසර (Special Leave to Appeal) අයදුම්පතක් ගොනු කර තිබියදී, නීතිය ක්‍රියාත්මක කරන වගකිවයුතු ආයතනයක් නම් කළ යුතුව තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලිය කෙරෙහි ගරු කරමින් අතිශය ඉවසීමෙන් කටයුතු කිරීමයි.
එසේ තිබියදී, ඉහළ අධිකරණ ක්‍රියාදාමය පවා තුට්ටුවකට මායිම් නොකර, අධිකරණ තීන්දුවක් නොමඟ යවන ආකාරයෙන් තමන්ට හිතුමතේ “විශේෂ භාරකරුවන්” පත් කිරීමට මරිෂඩ් බාරි ප්රමුඛ වඛ්ෆ් සභාවට සහ අධ්යක්ෂ මොහොමඩ් නවාස්ට ඇති අහංකාර බලය කුමක්ද? මෙය අධිකරණයට කළ සෘජු අපහාසයක් නොවේද?
තමන්ගේම තීන්දු සහ දශක තුනක නීතිය පයින් ගැසීම
අරූසියතුල් කාදිරියියා (Aroosiyyathul Quadiriyya) තරිඛාවේ ආධ්‍යාත්මික නායකයා සතු භාරකාර පත්වීම් බලය සහ පිළිගත් සම්ප්රදාය වඛ්ෆ් නීතිය තුළ තහවුරු වූවකි:
- WB/2873/97 සහ WT/125/2000 මඟින් තහවුරු කළේ මෙම පදනමයි.
- WT/301/2024 නඩුවේදී වඛ්ෆ් විනිශ්චය සභාව පැහැදිලිවම ලියා තැබුවේ මෙම ආරවුල පාර්ශ්වයන් අතර “finally and forever” (සදහටම අවසන් කර) විසඳා ඇති බවයි.
- WB/9500/2023 හිදී වඛ්ෆ් මණ්ඩලයම තමන් functus officio බවත්, මෙම කාරණය නැවත විවෘත කිරීමට තමන්ට බලයක් නැති බවත් තීන්දු කළේය.

මෙවන් නීතිමය පසුබිමක, ප්‍රදේශයේ දේශපාලන බලය අතැති පාර්ලිමේන්තු මන්ත්‍රී හා නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉලියාස් මහතාගේ සෘජු ආශිර්වාදය මත, වඛ්ෆ් මණ්ඩලයේ හිටපු සාමාජික හම්මාඩ් රිෆාක් (Hammad Rifak) නැමැත්තාගේ මෙහෙයවීමෙන්, මරිෂඩ් බාරි සහ මොහොමඩ් නවාස් එක්ව ගැසූ මෙම අත්තනෝමතික “විශේෂ භාරකාර” පත්වීම මුළුමනින්ම බල සීමාව ඉක්මවා යාමක් (Ultra Vires) සහ නීති විරෝධී (Illegal) ක්‍රියාවකි.
වහාම ලැබිය යුතු පිළිතුරු:
- නඩු ලේඛනවල සිටින පෙත්සම්කරු “වියදමට අභිබවා අල්ලස් දුන් බව” ප්‍රසිද්ධියේ කියද්දී, එම අපරාධය පිළිබඳව වඛ්ෆ් සභාව නිහඬව සිටින්නේ කාගේ සාක්කු පිරුණු නිසාද?
- මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මොහොමඩ් නවාස් එක රැයකින්, රෑ මැදියමේ මේ ලිපිවලට අත්සන් තැබුවේ කාගේ බලපෑමටද?
- ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවතිද්දී, ඉවසීමෙන් කටයුතු නොකර අධිකරණය නොමඟ යැවීමට මරිෂඩ් බාරි ප්රමුඛ වඛ්ෆ් සභාව ක්‍රියා කළේ ඇයි?
- පෙර තීන්දු සියල්ල පසෙකලා “Special Trustees” පත් කිරීමට වඛ්ෆ් පනතේ ගත් නිශ්චිත වගන්තිය කුමක්ද?
අවසන් අනතුරු ඇඟවීම
වැලිගම බුහාරි පල්ලිය සහ බාරි මදුරසාව යනු දේශපාලඥයන්ට ඡන්ද ගුණ්ඩු දැමීමට හෝ හෙංචයියන්ට පාලනය බෙදා දීමට ඇති බූදලයක් නොවේ.
පෙත්සම්කරුගේ අල්ලස් පාපොච්චාරණය, රාත්‍රී කාලයේ හොර රහසේ සිදුකළ ලිපි අත්සන් කිරීම් සහ අධිකරණය නොමඟ යවමින් සිදුකළ මෙම ක්‍රියාවලියට සම්බන්ධ වඛ්ෆ් සභාවේ සභාපති මරිෂඩ් බාරි, අධ්යක්ෂ මොහොමඩ් නවාස් ඇතුළු සියලු පාර්ශ්වයන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) හමුවේ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේද නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රජාව පෙරට එනු ඇත. දූෂිත නිලධාරීන්ට සහ දේශපාලන අතකොළුවලට නීතියෙන් ගැලවීමක් නැත!



