Latest Posts

ඩිජිටල්කරණයේ නාමයෙන් පාරිභෝගිකයා බිලිදෙන බැංකු පද්ධතියේ ඛේදවාචකය

අප කුඩා කල මව්පියන් සමඟ බැංකුවට ගිය අතීතය සුන්දර මතකයකි. එකල අද මෙන් විදුලි වේගයෙන් මුදල් විසි කරන ATM යන්ත්‍ර හෝ සාක්කුවේ ඔබාගත හැකි ප්ලාස්ටික් කාඩ්පත් තිබුණේ නැත. බැංකුවට යාම යනුම එක්තරා ආකාරයක මානුෂීය චාරිත්‍රයක් විය. රුපියල් පහක් වැනි සුළු මුදලක් ආපසු ලබාගැනීමට වුවද, නිල් පැහැති තීන්තෙන් බැංකු රිසිට්පතක් පුරවා, ඊට අත්සන් තබා, ජාතික හැඳුනුම්පතත්, යන්තම් ඉරිළුණු බැංකු පොතත් සමඟ කවුන්ටරයට දිය යුතුය.

එහි කවුන්ටරය පිටුපස සිටි බැංකු නිලධාරියා හෝ නිලධාරිනිය අපව පිළිගත්තේ හුදෙක් වැටුපකට ලඝු වූ රාජකාරියකට එහා ගිය සැබෑ ලෙන්ගතුකමකිනි. අපගේ වාරය එනතෙක් ලී බංකුවක වාඩි වී සිටින ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන සේ, හැම බැංකු කවුන්ටරයකම වීදුරුවේ අලවා ප්‍රදර්ශනය කර තිබූ එක්තරා කුඩා කොළ කැබැල්ලක් විය. ඒ, මහත්මා ගාන්ධිගේ නම යටින් සටහන් කර තිබූ මේ අග්‍රගණ්‍ය පාඨයයි:

“පාරිභෝගිකයා යනු අපගේ පරිශ්‍රයට පැමිණෙන වැදගත්ම අමුත්තා වේ. ඔහු අප මත යැපෙන්නේ නැත. අප ඔහු මත යැපෙන්නෙමු. ඔහු අපගේ කාර්යයට බාධාවක් නොවේ; එහි අවසාන අරමුණයි. ඔහු අපගේ ව්‍යාපාරයට බාහිර පුද්ගලයෙකු නොවේ; එහිම කොටසකි. අප ඔහුට සේවය කිරීමෙන් ඔහුට උපකාරයක් කරන්නේ නැත; ඔහු අපට ඒ සඳහා අවස්ථාවක් ලබා දීමෙන් අපට උපකාරයක් කරයි.”

එදා මේ වදන් පෙළ හුදෙක් බිත්තියක එල්ලූ සැරසිල්ලක් නොවීය. එය සමස්ත බැංකු ක්‍රියාවලියේම හදවත විය. ගනුදෙනුකරුවා යනු ලාභ උපදවන ‘ගිණුම් අංකයක්’ පමණක් නොව, දහඩිය මහන්සිය සහ හැඟීම් සහිත ජීවමාන මිනිසෙකු බව එදා බැංකු කළමනාකාරීත්වය මෙන්ම සේවකයාද හෘදයාංගමව පිළිගත්තේය.

ඩිජිටල් විරසකය සහ ප්‍රාග්ධනයේ නිර්දය බව

නව ලිබරල් ආර්ථික ප්‍රවාහයත් සමඟ බැංකුකරණය වේගයෙන් ඩිජිටල්කරණය (Digitalization) විය. කාර්යක්ෂමතාව සහ ලාභය සියල්ලටම වඩා ඉහළින් ඔසවා තැබුණු අතර, ගනුදෙනුකරුවා සහ බැංකුව අතර වූ මුහුණට මුහුණ ලා කෙරෙන සමීප මානුෂීය සබඳතාව ඇල්ගොරිතම සහ ජංගම යෙදුම් (Mobile Apps) විසින් ආක්‍රමණය කරනු ලැබීය.

තාක්ෂණය යනු මානව වර්ගයාගේ විශිෂ්ටතම ජයග්‍රහණයක් බව බොහෝ දෙනා පාරම් බාති. එහෙත් ඛේදවාචකය වන්නේ, තාක්ෂණික දියුණුවත් සමඟම මෙරට මූල්‍ය ආයතන තුළින් “වගකීම සහ වගවීම” වේගයෙන් වාෂ්ප වී යාමයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය, විනිවිදභාවය සහ ගැටලු විසඳීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් කොතෙකුත් මාර්ගෝපදේශ හඳුන්වා දී තිබුණද, ප්‍රායෝගික පොළොව මත ඒවා හුදු අකුරු ගොඩක් පමණක් බවට පත්ව ඇත.

‘ජාතියේ මහා දායාදයෙන්’ එල්ල වූ මරු පහර

මෙම ඛේදනීය යථාර්ථය මෑතකදී වඩාත්ම තදින් සමාජය හමුවේ නිරුවත් වූයේ, ජාතියේ මහා දායාදය ලෙස විරුදාවලි ලත්, ලංකා බැංකුව (BOC) සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීමකිනි. විශ්‍රාමික යුද හමුදා හෙද නිලධාරියෙකු තම නිවස ගොඩනඟා ගැනීමේ අවසන් සිහිනය වෙනුවෙන් විශ්‍රාම වැටුප ඇපයට තබා ලබාගත් ණය මුදලින්, රුපියල් ලක්ෂ 28කට අධික වටිනාකමක් මධ්‍යම රාත්‍රියේ විනාඩි 14ක් වැනි කෙටි කාලයක් තුළ ගිණුමෙන් අතුරුදන් විය.

එදා රුපියල් පහක් ගැනීමට විනාඩි පහළොවක් ගත වූ බැංකු ක්‍රමය තුළ කිසිවෙකුගේ සතපහක්වත් අස්ථානගත වූයේ නැත. එහෙත් අද රුපියල් ලක්ෂ විසි අටක් විනාඩි දහහතරකින් ලෝකයේ අනෙක් කෙළවරට විද්‍යුත් චුම්භක තරංග හරහා ඇදී යද්දී, එය ක්ෂණිකව වළක්වා ගැනීමට තරම් සුපරීක්ෂාකාරී තාක්ෂණයක් හෝ මිනිස් මැදිහත්වීමක් බැංකුව සතුව තිබුණේ නැත.

එක්වරම රුපියල් ලක්ෂය බැගින් ගනුදෙනු 28ක් පිට පිට සිදුවෙද්දී දුරකථනයට ගලා ආ කෙටි පණිවිඩ (SMS) දැක භීතියට පත් ගිණුම් හිමිකරු, ලංකා බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය (Hotline) අමතා ගිණුම අවහිර කරන්නැයි අයැද සිටියද, ඩිජිටල් යන්ත්‍රණය තුළ හිරවූ බැංකු නිලධාරීවාදයට එම විනාශය වළක්වාගත නොහැකි විය.

වගකීමෙන් අත් පිසදා ගැනීම සහ තාක්ෂණික නරුමත්වය

මෙහි ඇති භයානකම දේශපාලනාර්ථික සාධකය වන්නේ මුදල් අහිමි වීමටත් වඩා, ඉන්පසුව බැංකුව හැසිරුණු ආකාරයයි. ගාන්ධිතුමා කීවේ “ගනුදෙනුකරුවා යනු අපට බාධාවක් නොව අපගේ පැවැත්මයි” කියාය. එහෙත් ලංකා බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, තම පද්ධතියේ කිසිදු දෝෂයක් නොමැති බවත්, OTP (One Time Password) භාවිත කර ඇති බැවින් සම්පූර්ණ වරද ගනුදෙනුකරුවාගේ බවත්ය.

මෙය නූතන ධනවාදී මූල්‍ය ආයතනවල නරුමත්වයේ කූටප්‍රාප්තියයි. තමන්ගේ තාක්ෂණික පද්ධතියට, මධ්‍යම රාත්‍රියේ පිට පිට සිදුවන මෙවැනි අසාමාන්‍ය ගනුදෙනු හඳුනාගැනීමේ කෘත්‍රිම බුද්ධි (AI Fraud Detection) ආරක්ෂණ ක්‍රමවේදයක් නොමැති වීම පිළිබඳව ඔවුන් ලජ්ජා වන්නේ නැත. ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානවලට (Call Center) එවැනි හදිසි මොහොතක කඩිනමින් පද්ධතිය අත්හිටුවීමේ බලයක් ලබා නොදීම ගැන ඔවුන් පසුතැවෙන්නේද නැත. ඒ වෙනුවට, සයිබර් අවකාශය ගැන පූර්ණ අවබෝධයක් නැති අසරණ මිනිසෙකු වංචාකරුවන්ගේ ගොදුරක් බවට පත් වූ විට, නීතියේ කොන්දේසි පිටුපස සැඟවී වගකීමෙන් අත් සෝදා ගැනීම ඔවුනට ඉතා පහසු වී ඇත.

බැංකුවලට යළි දෙන පණිවුඩය

බැංකු පද්ධතියට අද යළිත් වරක් පැහැදිලි පණිවුඩයක් දිය යුතුව තිබේ. පාරිභෝගිකයා යනු කොන්දේසි පිරවූ පෝරමයක අත්සන් තබන හුදු අංකයක් පමණක් නොවේ. ඔවුන් බැංකුවක් වෙත එන්නේ “විශ්වාසය” නැමැති මහා ප්‍රාග්ධනය රැගෙනය. ඩිජිටල් වේදිකාවක් තුළ පාරිභෝගිකයා අසරණ වූ විට, යන්ත්‍රයක් සේ ප්‍රතිචාර දැක්වීම බැංකුවක කාර්යභාරය නොවේ.

තාක්ෂණය කොතරම් දියුණු වුවද, ගාන්ධිතුමා එදා කීවාක් මෙන්, “ගනුදෙනුකරුවා බැංකුවට බාහිර පුද්ගලයෙකු නොවේ; ඔහු එහිම කොටසකි.”

එම මූලික මානුෂීය දර්ශනය යළිත් බැංකු කවුන්ටරවලින් ඔබ්බට, දත්ත මධ්‍යස්ථාන සහ කළමනාකරණ මණ්ඩල දක්වාම කාවැද්දිය යුතු කාලය එළඹ ඇත. එසේ නොවුණහොත්, මේ ඩිජිටල් මංකොල්ලය නිමාවනු ඇත්තේ තනි පුද්ගලයෙකුගේ විශ්‍රාම වැටුපෙන් නොව, සමස්ත රාජ්‍ය බැංකු ක්‍රමය කෙරෙහිම ජනතාව තබා ඇති පරම විශ්වාසය සහමුලින්ම බිඳී යාමෙනි.

සමාරා පරණවිතාන

Latest Posts

spot_imgspot_img