Latest Posts

බිංදුවක් බොන්නත් ගිනි ගණන්: කොටුවේ බස් නැවතුමේ සිට තරු හෝටල් දක්වා ජල බෝතලයත් කොල්ලකන අදෘශ්‍යමාන මාෆියාව

පිපාසයට වතුර උගුරක් බීම යනු මිනිසෙකුට හිමි මූලිකම පැවැත්මේ අයිතියකි. එහෙත් අද වන විට මේ රට තුළ කිසිදු පාලනයකින් හෝ විධිමත් ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මක වන ජල මාෆියාව හමුවේ, සාමාන්‍ය මිනිසාගේ පිපාසය පවා මහමගදී අමු අමුවේ මුදලට වෙන්දේසි වෙමින් තිබේ. කොළඹ පිටකොටුවේ ජනාකීර්ණ පොළවල්වල සිට දිවයිනේ සංචාරක හෝටල් ජාලය දක්වා එකම ජාලයකින් ක්‍රියාත්මක වන මෙම මිල කොල්ලය, මේ වන විට නීතියේ ඇස්වලටත් අභියෝගයක් වන මට්ටමට වර්ධනය වී හමාරය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය, පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත මෙන්ම පිටකොටුව මැනිං වෙළෙඳපොළ ආශ්‍රිත ප්‍රදේශවල ඇවිද යන ඕනෑම කෙනෙකුට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවේ. ගිනි අව්වේ දහදිය මහන්සියෙන් දිවෙන මගීන් මෙන්ම එදිනෙදා කුලී වැඩ කරන සාමාන්‍ය ජනතාවද වතුර බෝතලයක් මිලදී ගැනීමට වෙළෙඳසැලකට ගිය විට මුහුණ දෙන්නේ දැඩි අසරණභාවයකටය. රජය විසින් නියම කර ඇති උපරිම මිල සීමාවන් සතයකටවත් මායිම් නොකරන ඇතැම් වෙළෙන්දෝ, ශීතකරණයේ දමා තිබූ බව පවසමින් (Cooling charges) හෝ වෙනත් අත්තනෝමතික හේතු දක්වමින් සාමාන්‍ය මිලට වඩා වැඩි මුදලක් ජනතාවගෙන් අතයටින් බලහත්කාරයෙන් අය කරති. පිටකොටුව මාකට් එක ඇතුළේ සහ නගරබඩ තදාසන්න කුඩා කඩපිල්වල පවා නිෂ්පාදකයාගේ නියමිත මිල මුද්‍රණය නොකළ, ප්‍රමිතියෙන් තොර ජල බෝතල් විවිධ ගණන්වලට විකිණීම අද සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ.

මහමග තත්ත්වය මෙසේ වෙද්දී, මෙරට ප්‍රධාන සංචාරක නගර සහ හෝටල් පද්ධතිය තුළ මෙම මාෆියාව ක්‍රියාත්මක වන්නේ ඊටත් වඩා සංවිධානාත්මක සහ මුග්ධ ආකාරයකිනි. පිටතින් පානීය ජලය රැගෙන ඒම හෝටල් කාමරවලට හෝ අවන්හල්වලට තහනම් කරන හෝටල් පාලනාධිකාරීන්, ඇතුළතදී ජල බෝතලයක් සඳහා රුපියල් 400 සිට 800 දක්වා අසීමිත මුදලක් අය කරති. විදේශීය සංචාරකයන්ගේ නොදැනුවත්කම සහ දේශීය පාරිභෝගිකයන්ගේ අසරණභාවය ප්‍රයෝජනයට ගනිමින් “Hospitality” නාමයෙන් සිදුකරන මෙම සූරාකෑමට එරෙහිව නිසි වැටලීම් සිදුනොවීම මෙම ජාවාරම්කරුවන්ට දැවැන්ත පිටුවහලක් වී තිබේ.

මෙම අඛණ්ඩ සූරාකෑම අතරතුර, නීතිය ඉදිරියේ වරදකරුවන් කොට දඬුවම් නියම කෙරුණු විශේෂ සිදුවීමක් ඊයේ (සැප්තැම්බර් 23) අධිකරණයෙන් වාර්තා විය. ඒ, දඹුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සංචාරක නිකේතනයකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගොනු කළ නඩුවකට අදාළවය.

දඹුල්ල, විහාර හන්දිය, රත්මල්ගහ ඇළ පාරේ පිහිටි ‘සිගිරිය කින්ඩම් රිසෝට්’ (Sigiriya Kingdom Resort (Pvt) Ltd) නම් ආයතනයේදී රුපියල් 100/-ක මිලක් සඳහන් කර තිබූ පානීය ජල බෝතලයක් රුපියල් 300/-ක අධික මිලකට අලෙවි කරමින් සිටියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් වටලනු ලැබීය. අදාළ නඩුව ඊයේ දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හෝටල් පාර්ශ්වය වරද පිළිගැනීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ පහක (රු. 500,000/-) දැවැන්ත දඩයක් නියම කරනු ලැබිණි.

කෙසේ වෙතත්, මෙම නඩුවේදී අවධානයට ලක්වූ රුපියල් 100ක මිල පවා වර්තමානයේ පවතින සැබෑ නීත්‍යානුකූල මිල නොවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. රජය විසින් නිකුත් කර ඇති 2026.06.10 දිනැති අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 96 දරන නියෝගය ප්‍රකාරව දේශීයව ඇසුරුම් කරන ලද බෝතල් කළ පානීය ජලය සඳහා රජයේ උපරිම සිල්ලර මිල සීමාවන් නියම කර ඇත්තේ මෙසේය:

  • මිලිලීටර් 500 සිට මිලිලීටර් 999 දක්වා බෝතලයක් රුපියල් 80/- කි.
  • ලීටර් 1 සිට ලීටර් 1.499 දක්වා බෝතලයක් රුපියල් 120/- කි.
  • ලීටර් 1.5 සිට ලීටර් 1.999 දක්වා බෝතලයක් රුපියල් 150/- කි.
  • ලීටර් 2 සිට ලීටර් 2.499 දක්වා බෝතලයක් රුපියල් 180/- කි.
  • ලීටර් 5 සිට ලීටර් 6.999 දක්වා බෝතලයක් රුපියල් 400/- කි.

රජයේ නිල ගැසට් නිවේදනය අනුව සාමාන්‍ය ලීටරයක ජල බෝතලයක නියමිත උපරිම සිල්ලර මිල රුපියල් 120ක් පමණක් වන පසුබිමක, මහමග බස් නැවතුම්පොළේ සිට තරු පන්ති හෝටල් දක්වා මෙම සීමාවන් අමු අමුවේ උල්ලංඝනය වෙමින් පවතී. දඹුල්ලේ හෝටලයකට ලක්ෂ පහක දඩයක් ගැසීම යහපත් ප්‍රවණතාවක් වුවද, රට පුරා දිනපතා කෝටි ගණනින් ලාභ උපයන මෙම සමස්ත ජාවාරම මැඬපැවැත්වීමට එය ප්‍රමාණවත් නොවේ.

පිටකොටුවේ මාකට් එකේ අව්වේ වේලෙන මිනිසාගේ සිට රට බලන්නට එන විදේශිකයා දක්වා එක ලෙස ගොදුරු කරගන්නා මෙම මිල මාෆියාව සම්පූර්ණයෙන්ම බිඳ දැමිය යුතුය. ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොළඹ කොටුවේ තට්ටු කඩවල සිට දිවයිනේ සංචාරක රිසෝට් දක්වා නොනවතින දැඩි හදිසි වැටලීම් ක්‍රියාත්මක කළ යුතු බව harideshaya.lk අවධාරණය කරයි.

Latest Posts

spot_imgspot_img