ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් වොෂින්ටන් නුවරට ළඟා විය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ ආරාධනයකට අනුව සිදු කෙරෙන මෙම රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින්, චීන ජනාධිපතිවරයා ඇමරිකානු වේලාවෙන් 23 වනදා පස්වරුවේ වොෂින්ටන් නගරාසන්නයේ පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණියේය.


ගුවන් තොටුපළ වෙත පැමිණි චීන ජනාධිපතිවරයා සහ පෙං ලීයුවාන් ආර්යාව පිළිගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් ආර්යාව පෞද්ගලිකවම එම ස්ථානයට පැමිණ සිටීම දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, චීන නායක යුවළ වොෂින්ටන් වෙත පිළිගැනීමට ලැබීම පිළිබඳ සිය සතුට පළ කළේය. ෂී ජින්පිං මහතාගේ මෙම සංචාරය දෙරටේ සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථානයක් බව පෙන්වා දුන් ඔහු, ෂී ජින්පිං යනු විශිෂ්ට නායකයෙකු බවත්, ඉදිරියේදී දෙරට අතර පුළුල් අදහස් හුවමාරුවක් සිදු කරමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කරගැනීමට තමන් අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදී විශේෂ ලිඛිත ප්‍රකාශයක් නිකුත් කළ ජනාධිපති ෂී ජින්පිං, චීනය සහ ඇමරිකාව මෙන්ම දෙරටේ ජනතාව ද විශිෂ්ට බව අවධාරණය කළේය. ලොව ප්‍රමුඛ පෙළේ බලවතුන් වන දෙරට ප්‍රතිවාදීන් නොව සහයෝගී හවුල්කරුවන් විය යුතු බව පෙන්වා දුන් ඔහු, චීන ජාතියේ දැවැන්ත පුනර්ජීවනයක් අත්කර ගැනීම යනු කිසිසේත්ම ඇමරිකාවේ විශිෂ්ටත්වය යළි තහවුරු කරගැනීමේ අරමුණට එරෙහි වීමක් නොවන බව සඳහන් කළේය.
ජනාධිපති ට්‍රම්ප් පසුගිය මැයි මාසයේ සිදු කළ චීන නිල සංචාරයේදී දෙරට අතර “සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාවක්” ගොඩනැගීමට දෙපාර්ශ්වයම එකඟ වූ බව ද ෂී ජින්පිං මහතා සිහිපත් කළේය. අනාගත දිශානතිය සඳහා එමඟින් ප්‍රබල මාර්ගෝපදේශයක් ලැබී ඇති බව පැවසූ චීන ජනාධිපතිවරයා, දෙරට අතර තරගකාරීත්වයක් පැවතිය ද එය සහයෝගීතාව පෙරදැරි කරගනිමින් කළමනාකරණය කරගත යුතු බව ප්‍රකාශ කළේය. එසේම පවතින මතභේද නිසි පාලනයක් සහ සාමකාමී ස්ථාවරත්වයක් සහිතව පවත්වා ගනිමින්, නව යුගයට ගැළපෙන ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනැගීමට දෙරටම එක්ව කටයුතු කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.



