සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමේ අරමුණින්, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම විශේෂ රාජ්‍ය තාන්ත්‍රික දූතයන් ලෙස කඩිනමින් සවුදි අරාබිය බලා පිටත් කර හැරීමට රජය තීරණය කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කළේය. ජනාධිපතිවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුවන මෙම තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම සඳහා රජයේ මුදල් අයැදීමකින් තොරව, ජනාධිපති නීතිඥවරුන් දෙදෙනාම තම පෞද්ගලික ධනය වැය කරමින් ස්වේච්ඡාවෙන්ම මෙම ගමනට එක්වීම මෙහි ඇති සුවිශේෂීම මානුෂීය පියවරයි.
අප කළ පෙර හෙළිදරව්ව සහ රජයේ කඩිනම් පියවර
සවුදියේ සයිබර් අපරාධ නීතිය යටතේ සිරගතව සිටි කල්මුනේ, නට්පිට්ටිමුනේ ප්‍රදේශයේ පදිංචි අනෝජන් සිවරාසාට එරට අභියාචනාධිකරණය මගින් මරණ දඬුවම නියම කිරීමත් සමඟ, ඔහුගේ ජීවිතය බේරාගත හැකි එකම ප්‍රායෝගික මාවත කුමක්දැයි පසුගිය ඉරිදා HariDeshayaLk අප විශේෂ ලිපියක් මඟින් රටට අනාවරණය කළෙමු.
ඉස්ලාමීය ශරියා නීතිය සහ සවුදි අධිකරණ පද්ධතිය පිළිබඳ පවතින ගැඹුරු අවබෝධය අනුව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙන්වා දී තිබුණේ, මෙම නඩුව ‘තාසීර්’ (Ta’zir) කාණ්ඩයට අයත් බැවින් සමාව දීමේ පරම අභිමතානුසාරී බලය හිමිවන්නේ සවුදි රජුට පමණක් බවයි. අනෝජන් සිය අතපසුවීම වහාම නිවැරදි කර ප්‍රසිද්ධියේ සමාව ලබාගැනීම (Tawbah / පසුතැවීම) ඉස්ලාමීය මූලධර්මයන්ට අනුව සවුදි රජුගේ “රාජකීය සමාව” (Royal Clemency) ලබාගැනීමට ඇති ප්‍රබලතම පදනම බව ඔහු පෙන්වා දී තිබිණි.
එබැවින් මෙම අර්බුදයෙන් අනෝජන් මුදාගැනීම සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපාව සවුදි රජු හමුවට විශේෂ නියෝජිතයෙකු ලෙස යැවිය යුතු බවට අප කළ යෝජනාව යථාර්ථයක් කරමින් රජය ගත් මෙම කඩිනම් පියවර අතිශය ප්‍රශංසනීය වේ.
අනෝජන් වෙනුවෙන් කාලය සීමිතයි: මෙහෙයුමේ වැදගත්කම
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් ඉතිරිව ඇත්තේ ඉතා සීමිත කාලසීමාවකි. එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිමය පියවර ගන්නා අතරතුර, සවුදි බලධාරීන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට නීතිඥවරුන් කඩිනමින් පිටත්ව යන්නේ කරුණු කිහිපයක් මුල් කරගනිමිනි:
- සාර්ථක පූර්වාදර්ශය සහ රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම්: විදෙස් රටකදී නීතිමය සහාය අහිමිව මරණ මංචකය අභියස සිටි ශ්‍රී ලාංකිකයෙකු බේරාගැනීමේ මෑත ඉතිහාසයේ සාර්ථකම අත්දැකීම ෆයිසර් මුස්තාපා සතුය. 2018 වසරේදී මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි “පුහුණු ස්නයිපර්වරයෙකු” ලෙස චෝදනා ලබා අසාධාරණ ලෙස සිරගත කර සිටි ලහිරු මධුශංක වෙනුවෙන් ඔහු එදා විශේෂ රාජ්‍ය තාන්ත්‍රික දූතයෙකු ලෙස මැදිහත් විය.
- සෘජු රාජ්‍ය නායක මැදිහත්වීම: එදා මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සෝලි සහ හිටපු ජනාධිපති මාමුන් අබ්දුල් ගයූම් සමඟ පැවැත්වූ උසස් පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දින දෙකක් ඇතුළත ලහිරුව බේරාගැනීමට ඔහුට හැකි විය. අද අනෝජන් සිවරාසා මුහුණ දී සිටින්නේද එවැනිම තීරණාත්මක ඉරණමකට බැවින් මෙම ප්‍රායෝගික අත්දැකීම අතිශය තීරණාත්මක වනු ඇත.
- රාජකීය සමාව ලබාගැනීමේ නිවැරදි ප්‍රවේශය: සවුදි නීතියට ගරු කරමින්, ඉස්ලාමීය දහමේ උගන්වන දයාව සහ පසුතැවීම පදනම් කරගෙන අනෝජන් වෙනුවෙන් ඉහළම රාජ්‍ය මට්ටමේ මැදිහත්වීමක් සිදුකිරීමේ උපායමාර්ගික ප්‍රවේශය මෙම නියෝජිත කණ්ඩායම සතුව පවතී.
- සමාජ සාමය සහ ජාතික සහජීවනය: රජය මෙයට නිසි බරක් දී කඩිනමින් මැදිහත් නොවූයේ නම්, මෙම සිදුවීම පදනම් කරගනිමින් මෙරට තුළ අන්තවාදී හෝ ජාතිවාදී කතිකාවක් නිර්මාණය වීමේ බරපතල අවදානමක් පැවතිණි. එබැවින් මෙම මෙහෙයුම එක් තරුණයකුගේ ජීවිතයක් බේරාගැනීම පමණක් නොව, මෙරට සමාජ සාමය සුරැකීමේ ඓතිහාසික පියවරක්ද වේ.
මෙහෙයුමට පණදෙන නීති ක්ෂේත්‍රයේ දැවැන්තයෝ දෙපළ: ෆයිසර් සහ උපුල්
මෙම සංවේදී මෙහෙයුම සඳහා එක්ව සිටින ජනාධිපති නීතිඥවරුන් දෙපළගේම අතීත භාවිතාවන් දෙස බැලීමේදී, අනෝජන් වෙනුවෙන් ඔවුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීම අහම්බයක් නොවන බව මනාව පැහැදිලි වේ.
එක් පසෙකින් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා යනු අන්තර්ජාතික මට්ටමේ අර්බුදකාරී අවස්ථාවලදී රාජ්‍ය නායකයන් සමඟ සෘජුව ගනුදෙනු කරමින් මිනිස් ජීවිත බේරාගැනීමේ සුවිශේෂී රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්දක් සහ කුසලතාවක් සහිත නීතිඥවරයෙකි.

අනෙක් පසින් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම යනු මෙරට නීති ක්ෂේත්‍රය තුළ මානව හිමිකම්, මාධ්‍ය නිදහස සහ සාමාන්‍ය පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භීතව පෙරමුණ ගත් නීතිවේදියෙකි. විශේෂයෙන්ම රාජපක්ෂ පාලන සමයේදී මෙරට මාධ්‍යවේදීන්ට සහ සිවිල් ක්‍රියාකාරිකයන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වූ බියකරු වකවානුවේදී පවා, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම ඇතුළු තවත් ආන්දෝලනාත්මක නඩු රැසකදී පීඩාවට පත් වින්දිතයන් වෙනුවෙන් කිසිදු මුදල් අය කිරීමකින් තොරව (Pro bono) තමන්ගේම වියදමින් අධිකරණය හමුවේ පෙනී සිටිමින් අසමසම මානුෂීය මෙහෙවරක් ඉටුකළ නීතිඥවරයෙකි.
එවන් උදාර සහ නිර්භීත මානුෂීය ඉතිහාසයක් ඇති ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් බහුල ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා යන දෙපළම, රජයෙන් සත පහක් හෝ අයැදීමකින් තොරව තම පෞද්ගලික ධනය වැය කරමින් අසරණ වූ තරුණයෙකුගේ ජීවිතය රැකගැනීමට මෙලෙස සවුදිය බලා පිටත්වීම සමස්ත රටේම ගෞරවයට පාත්‍ර විය යුතු ඓතිහාසික ක්‍රියාවකි.



