යුරෝපීය එයාර්බස් සමාගමෙන් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20ක (රුපියල් කෝටි 10ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 29 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (18) නියෝග කළේය.

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ ඉන්දීය සංචාරය සහ ‘පෙරහැරට සහභාගී වීමේ හේතුව’ ඇතුළු කරුණු සුවිශේෂී අවස්ථාවන් ලෙස පිළිගැනීමට අධිකරණය තීන්දු නොකිරීම මීට හේතුවයි.
‘ඉන්දීය ආරාධනාව’ සහ ‘පෙරහැර ලන්සුව’ පෙන්නා ඇප ඉල්ලූ හැටි
සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශාවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය යටතේ සුවිශේෂී කරුණු ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටියේය.
එහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ:
- ඉන්දීය රජයේ ආරාධනාව: සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 01 දක්වා කාලයේදී සංචාරයක් සඳහා ඉන්දීය රජය විසින් නාමල් රාජපක්ෂ මහතාට නිල ආරාධනාවක් එවා ඇති අතර එය සලකා බලන ලෙස.
- පොතුගුල් විහාරයේ පෙරහැර: සැප්තැම්බර් 26 වන දින හඟුරන්කෙත පොතුගුල් විහාරයේ කොතක් පැළඳවීමේ උත්සවයට සහභාගී වන ලෙස විහාරයේ නායක හිමිනම ආරාධනා කර ඇති බවත්, දළදා පෙරහැරට පසු පැවැත්වෙන මෙම ඓතිහාසික පෙරහැරට සහභාගී නොවුවහොත් එය නායක හිමියන්ට කරන අගෞරවයක් වන බැවින් එය සලකා ඇප ලබා දෙන ලෙසත්ය.
- සාක්ෂිකරුගේ පරස්පරතා: ප්‍රධාන සාක්ෂිකරුවකු වන නිමල් පෙරේරා නැමැත්තා මුල් අවස්ථාවලදී අසත්‍ය ප්‍රකාශ ලබාදී ඇති අතර B වාර්තා අනුව ඔහුගේ සාක්ෂියේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලුවක් පවතින බවද පෙන්වා දුන්නේය.
අධර්ම සූත්‍රය උපුටමින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්ගෙන් ප්‍රහාරාත්මක විරෝධයක්
විත්තියේ ඇප ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා SC/Contempt/3, 4, 5 2025 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උපුටා දක්වමින් අධිකරණය හමුවේ කරුණු දැක්වීය. අංගුත්තර නිකායේ අධර්ම සූත්‍රයේ කොටසක් ඉංග්‍රීසියෙන් උපුටා දක්වමින් ඔහු කියා සිටියේ, පාලකයන් හෝ ප්‍රධානීන් අධර්මිෂ්ඨ වන විට මුළු රටම අක්‍රමවත් වී දුකට පත්වන බවත්, නායකයන් ධාර්මික වන විට රටම සතුටින් පවතින බවත්ය.
"ආගමික කටයුතුවලට යාම ප්‍රශ්නයක් නැහැ. නමුත් ආගමික කටයුතුවලට වඩා මෙතන තියෙන්නේ ඉතාමත් බරපතල කාරණයක්..." යැයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා පැවසීය.
තවද, සාක්ෂිකරුගේ විශ්වාසනීයත්වය පිළිබඳ විත්තිය නැගූ තර්කයට පිළිතුරු දෙමින් පැමිණිල්ල කියා සිටියේ, සාක්ෂිවල විශ්වාසනීයත්වය සලකා බැලිය යුත්තේ නඩු විභාගයේදී බවත්, නිමල් පෙරේරා සමඟ ගනුදෙනු මෙහෙයවද්දීම සැකකරුට ඒ පිළිබඳව සිතීමට තිබූ බවත්ය.
නාමල් ප්‍රධාන සැකකරු කිරීමට නීතිපතිගෙන් උපදෙස්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබාගත් බව කියන අදාළ අල්ලස් මුදල නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවට විමර්ශනවලදී හෙළිවීමත් සමඟ, මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් සිද්ධිය අධීක්ෂණය කරන අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබා දී තිබුණි.
මෙම සිද්ධියට අදාළව කපිල චන්ද්‍රසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව විමර්ශන සිදුවෙමින් පවතිද්දී, චන්ද්‍රසේන මහතාගේ මස්සිනා වූ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේදී කපිල චන්ද්‍රසේන මහතා ගෙල වැළලාගෙන මියගොස් සිටියදී සොයා ගැනුණි.
ජාත්‍යන්තර දැල සහ චමල් රාජපක්ෂගේ නිල නිවසේ රැස්වීම
අද (18) අධිකරණයේදී පැමිණිල්ල වැඩිදුරටත් සඳහන් කළේ:
- ගෝලීය පරීක්ෂණ: ‘වර්චුවල් ලීගල්’ ක්‍රමය ඔස්සේ ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, සිංගප්පූරුව සහ ඇමෙරිකාව දක්වා විමර්ශන ජාලය පුළුල් කර ඇත.
- රාජපක්ෂ නිල නිවසේ සාකච්ඡාව: හිටපු කතානායක චමල් රාජපක්ෂගේ නිල නිවසේදී ද මේ සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර, ඔහුගෙන් මෙන්ම එයාර්බස් සමාගමේ එවකට අධ්‍යක්ෂ සුසන්ත චමින්ද ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.
- ඉන්ටර්පෝල් රතු නිවේදන: සිද්ධියට අදාළ අනෙක් සැකකරුවන් වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක සහ 3 වන සැකකරු වන ශමීන්ද රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති අතර, ශමීන්ද රාජපක්ෂගේ නිවේදනය මේ වන විටත් ප්‍රසිද්ධ කර තිබේ.
දූෂණ විරෝධී පනතට අනුව අල්ලසක් ඉල්ලා ඇති අවස්ථාවක විමර්ශන අවසන් වන තෙක් ඇප දීමට නීතිමය ඉඩක් නොමැති බවට අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම් සලකා බලමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම බැහැර කළේය.
ඒ අනුව, නාමල් රාජපක්ෂ නැවත බන්ධනාගාරගත කෙරෙන අතර, ඇප පිළිබඳ නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.



