ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ්‍යය සහ නියාමන ඉතිහාසයේ තීරණාත්මක සංවත්සරයක් සනිතුහන් කරමින්, බලපත්‍ර නොමැති සියලුම ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) පියවර ගෙන තිබේ.
දශක ගණනාවක් පුරා නීතිමය හිඩැස්වලින් රිංගා බිලියන ගණනින් ජාතික ධනය පිටරටට ඇදී යාමට සැලැස්වූ, මෙන්ම කළු සල්ලි සුදු කළ ඩිජිටල් සෙවනැලි ආර්ථිකයකට එල්ල වූ දැවැන්ත මරු පහරක් ලෙස මෙය හැඳින්විය හැකිය.
නීතිමය හිඩැසෙන් රිංගූ ජාත්‍යන්තර ජාවාරම
1941 සූදු ආඥාපනත හෝ 2010 කැසිනෝ පනත තුළ ඔන්ලයින් සූදුව පිළිබඳ නීතිමය නිර්වචනයක් නොතිබීම නිසා 1xBet, Megapari සහ Melbet වැනි ජාත්‍යන්තර ඔන්ලයින් සූදු වේදිකා කිසිදු බාධාවකින් තොරව මෙරට ක්‍රියාත්මක විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මූල්‍ය බුද්ධි ඒකකයේ දැඩි නීති රීති මගහරිමින්, Binance P2P වැනි ජාල හරහා ටෙදර් (USDT) වැනි ක්‍රිප්ටෝ මුදල් භාවිතයෙන් මෙම ගනුදෙනු සිදුවූ අතර, එමගින් මෙරට විදේශ විනිමය සෘජුවම පිටරටට ගලා ගියේය. මෙය සාර්ව ආර්ථික ස්ථාවරත්වයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් විය.
සමාජීය සහ ආයතනික කඩා වැටීම
වයස් තහවුරු කිරීමේ හෝ වගකීම් සහගත ප්‍රතිපත්තියක් (Responsible Gaming) නොමැති වීම හේතුවෙන් පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාව විශාල වශයෙන් මෙයට ගොදුරු විය. තත්ත්වය කෙතරම් බරපතළ වූයේද යත්, ඔන්ලයින් සූදුවට ඇබ්බැහි වන පොලිස් නිලධාරීන් කිසිදු සමාවක් නොදී සේවයෙන් පහ කරන බවට පොලිස්පතිවරයාට පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට සිදු විය.
නව GRA පනතින් ලැබුණු බලතල
ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට TRCSL ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමට සෘජු බලය ලැබුණේ අභිනවයෙන් බලාත්මක වූ 2025 අංක 17 දරන සූදු නියාමන අධිකාරි පනත (GRA) හරහාය. එහි 6(c) වගන්තිය මගින් නීතිවිරෝධී සූදු මැඩපැවැත්වීම සඳහා පොලිසිය සහ දුරකථන සේවා සපයන්නන් සමග එක්ව කටයුතු කිරීමට නව අධිකාරියට බලතල හිමිවේ.
නව නීතියේ ප්‍රධාන කරුණු:
- බලපත්‍ර රහිතව සූදු ව්‍යාපාර පවත්වාගෙන යාමට රුපියල් මිලියන 10ක් දක්වා දඩ සහ වසර 2ක සිරදඬුවම්.
- ඩිජිටල් සූදු සඳහා වෙනම බලපත්‍ර ක්‍රමයක් සහ පාරිභෝගිකයින් රවටන ඇල්ගොරිතම භාවිතය තහනම් කිරීම.
- දැඩි බදු ප්‍රතිසංස්කරණ (2026 ජනවාරි 01 සිට): ශ්‍රී ලාංකිකයින් සඳහා කැසිනෝ ප්‍රවේශ බද්ද ඩොලර් 100 දක්වා (100%කින්) ඉහළ නැංවීම සහ ආයතනවල දළ එකතු කිරීමේ බද්ද 18% දක්වා වැඩි කිරීම. (අරමුණ: දේශීය ජනතාව සූදුවෙන් ඈත් කර, සංචාරකයින්ගෙන් උපරිම විදේශ විනිමයක් ලබා ගැනීම).
“ඉන්දියාවේ මැකාවු” බවට පත්වන කොළඹ
Melco වැනි ජාත්‍යන්තර සමාගම් කොළඹ ‘City of Dreams’ හරහා මෙරටට පිවිසීමත්, ඉදිරියේදී වරාය නගරය (Port City) කේන්ද්‍ර කරගනිමින් විධිමත් අක්වෙරළ සූදු ක්‍රියාකාරකම් ප්‍රසාරණය වීමත් සමග ශ්‍රී ලංකාව ආසියානු විනෝදාස්වාද කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ගමන් මග වේගවත් වී ඇත.
2026 වසරේ පැවැත්වීමට නියමිත ආසියා පැසිෆික් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ කණ්ඩායමේ (FATF/APG) ඇගයීම් හමුවේ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සුරක්ෂිත බව තහවුරු කිරීමට TRCSL සහ GRA හි මෙම තීරණය ප්‍රබල පිටිවහලක් වනු ඇත.



