ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු වන ටිරාන් අලස්ට අයත් සිලෝන් නිව්ස්පේපර්ස් ආයතනය විසින් පවත්වාගෙන යන මව්බිම පුවත්පතේ මාධ්‍යවේදීන් සඳහා අදම හිග වැටුප් ගෙවන්නැයි කම්කරු කාර්යාලයෙන් නියෝග කර තිබේ.
මාස දෙකකින් වැටුප් සහ වසර ගණනාවකින් සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැර හැර ඇති බව දන්වමින් මව්බිම පුවත්පතේ මාධ්‍යවේදීන් කම්කරු දෙපාර්තමේනතුවට පැමිණිලි කිරීමෙන් පසු අද (2026.04.09) දෙපාර්ශවය කැඳවා කරන ලද සාකච්ඡාවකින් අනතුරුව සිලෝන් නිවුස්පේපර්ස් ආයතනයේ පාලනාධිකාරියට සහකාර කම්කරු කොමසාරිස් බියන්කා යහලවෙල විසින් මෙම නියෝගය නිකුත් කොට ඇත.

මව්බිම දිනපතා පුවත්පත 2026 මාර්තු 4 වැනිදා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව හදිසියේ වසා දැමීය. එයින් පසු ඉරිදා පුවත්පත පමණක් පවත්වාගෙන යන බව ප්‍රකාශ කළ නමුත්, දිනපතා පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදීන්ගේ ඉරණම අවිනිශ්චිත විය. මාස තුනකට අධික කාලයක් වැටුප් නොලැබීමත්, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ආසන්න වීමත් නිසා මාධ්‍යවේදීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටය.
අප්‍රේල් 9 වැනිදා කම්කරු දෙපාර්තමේන්තුවේදී මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වී තිබේ. ඒ සාකච්ඡාව සඳහා මව්බිම පුවත්පතේ රවිශාන් ප්‍රනාන්දු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සිමිතිය නියෝජනය කරමින් නියෝජතයින් දෙදෙනෙක් සහභාගි වී තිබේ. ටිරාන් අලස්ගේ සිලෝන් නිව්ස් පේපර්ස් ආයතනය වෙනුවෙන් නිලූකා කනගරත්න (ජ්‍යේෂ්ඨ කළමනාකාරිනී මානව සම්පත්) සහ ගණකාධිකාරී ගයාන් දේවතන්ත්‍රිආරච්චි සහභාගි වී ඇත. සහකාර කම්කරු කොමසාරිස් බියන්කා යහලවෙල මහත්මියගේ මූලිකත්වයෙන් මේ රැස්වීම පවත්වා ඇත.
රැස්වීමේ දී සිදු වූ විශේෂ සිදුවීමක් ගැන අදහස් දැක්වූ වෘත්තීය සමිති සාමාජිකයෙක් මෙසේ පැවසීය,
“රවිෂාන් ප්‍රනාන්දු මාධ්‍යවේදීයා වෙනුවෙන් පෙනී ඉන්න වෘත්තීය සමිති නියෝජිතයන් දෙන්නෙක් එතැනට ගියා. මව්බිම ආයතනයෙන් ආවේ මානව සම්පත් නිලධාරිනියක් සහ ගයාන් කියන ගණකාධිකාරීවරයා. සහකාර කම්කරු කොමසාරිස්තුමිය එන්න කලින්ම ‘ඕගොල්ලන්ට මෙතැන ඉන්න බෑ යන්න’ කියලා ගණකාධිකාරීවරයා අපිට කිව්වා. ‘මේක මව්බිම ඔෆිස් එක නෙවෙයි, කම්කරු කාර්යාලය’ කියලා අපි කිව්වා. මේ ගැන සහකාර කම්කරු කොමසාරිස්වරිගේ අදහස වුනේ මව්බිම ආයතනයේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියක් නම් සහබාගී වීමට ඉඩදිය හැකි බවයි. ලංකාවේ පෞද්ගලික මාධ්‍ය ආයතන තුළ වෘත්තීය සමිති පිහිටුවීමට ඉඩ නොදෙන නිසා, සියලු ආයතනවල මාධ්‍යවේදීන්ගේ සාමාජිකත්වයෙන් මාධ්‍ය වෘත්තීය සමිති පිහිටුවාගැනීමට අපට සිදු වී ඇති බවත්, මෙවැනි පොදු වෘත්තීය සමිතිවල සහාය පැතීමට මාධ්‍ය සේවකයින්ට හා මාධ්‍යවේදීන්ට සිදුව ඇති බවත් අපි අවධාරණය කළා.”
මව්බිම පුවත්පතේ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ මාධ්‍යවේදීන් රැසකට එක්වරම සේවයට නොපැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර, මෙය සේවා අවසන් කිරීමේ පනත සෘජුව උල්ලංඝනය කිරීමක් බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.
පසු සටහන: ටිරාන් අලස් ඇතුළු පාලනාධිකාරියෙ ඉතිහාසය දන්න නිසා කම්කරු කොමසාරිස්වරයාගෙ මේ නියෝගය නිසි පරිදි ක්‍රියාත්මක කරනවද කියලත් සහෝදර මාධ්‍යවේදීන්ටත්, trade union වලටත් විමසිල්ලෙන් ඉන්න වෙනව – සරෝජ්
උපුටාගැනීම – සරෝජ් පතිරණ ගේ මුහුණු පොතිනි.



