Thursday, April 9, 2026
spot_img

Latest Posts

නුවරඑළියේ පදික වෙළඳුන්ගෙන් ‘කප්පම්’ ගැනීමක්: හෙළි කළ වෙළෙන්දාට මරණ තර්ජන!

– නගරාධිපති වගකිව යුතු බවට නියෝජ්‍ය නගරාධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

නුවරඑළිය - නාලක රත්නායක විසිනි.

නුවරඑළිය මහ නගර සභා බලප්‍රදේශයේ පදික වේදිකා වෙළඳාම සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයක් හමුවේ, දේශපාලන මැදිහත්වීම් මත වෙළඳුන්ගෙන් මුදල් අය කරන බවටත්, එය හෙළි කළ පුද්ගලයාට මරණ තර්ජන එල්ල වී ඇති බවටත් බරපතල චෝදනා එල්ල වේ.

සිද්ධියේ පසුබිම

වත්මන් රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට අනුව නුවරඑළිය නගරයේ පදික වේදිකා වෙළඳාම් ඉවත් කිරීමට මීට පෙර පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත්, නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා පසුගිය මහ සභා රැස්වීමේදී ප්‍රකාශ කර තිබුණේ, එහි සියලු වගකීම් තමන් භාරගන්නා බවත් තම තනි බලය මත වෙළඳුන් පිරිසකට පදික වේදිකාවේ වෙළඳාම් කිරීමට අවස්ථාව ලබාදෙන බවත්ය.

කප්පම් ගැනීම් සහ මරණ තර්ජන

එලෙස ලබාදුන් අවසරය මත වෙළඳාමේ නිරත වන මොහොමඩ් මුබාරක් නැමති වෙළෙන්දෙකු සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කර ඇත්තේ, නාගරික මන්ත්‍රී ජූඩ් චාන්දන මැදගම මහතාගේ දේශපාලන හිතවතුන්ට පමණක් නොමිලේ වෙළඳාම් කිරීමට ඉඩ දී ඇති බවයි. අනෙක් වෙළඳුන්ගෙන් කිසිදු ලදුපතක් රහිතව රුපියල් දහස බැගින් විටින් විට මුදල් අය කරන බවට ඔහු චෝදනා කරයි.

මෙම හෙළිදරව්වෙන් පසු මන්ත්‍රීවරයාගේ කණ්ඩායමක් තමන්ට මරණ තර්ජනය කළ බව පවසන මුබාරක් මහතා, ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ ද පොලිසිය මන්ත්‍රීවරයාගේ පාර්ශවය ගෙන තමන්ට බලපෑම් කළ බව මාධ්‍යයට ප්‍රකාශ කළේය.

මුබාරක් මහතා

“දාපු වීඩියෝ එක අයින් කරගන්න කියලත්, වැරැද්ද මගේ අතින් වුණේ කියලා වීඩියෝ එකක් දාන්න කියලත් පොලිසිය මට බලපෑම් කළා. මට මගේ ජීවිත ආරක්ෂාව සහ රැකියාව කරගෙන යන්න බලධාරීන් මැදිහත් වෙන්න ඕනේ,” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටී.

විපක්ෂයේ සහ නියෝජ්‍ය නගරාධිපතිගේ ස්ථාවරය

මෙම ගැටළුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී මාකඳුරේ රතනවංස හිමියන් අවධාරණය කළේ, රිසිට්පතක් නොමැතිව මුදල් අය කිරීම ‘පගාවක්’ හෙවත් අල්ලස් ගැනීමක් බැවින් මීට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී මාකඳුරේ රතනවංස හිමියන්

නියෝජ්‍ය නගරාධිපති නීතිඥ සිවන්ජෝති යෝගරාජා මහතා පවසන්නේ සභාවේ අනුමැතියකින් තොරව නගරාධිපතිවරයා තනි තීරණයකට අනුව පදික වෙළඳාමට අවසර දුන් බැවින්, මෙහි මතුව ඇති සියලු දූෂණ හා අක්‍රමිකතාවල වගකීම නගරාධිපතිවරයා භාරගත යුතු බවයි.

  • ලංකා කම්කරු කොංග්‍රසය සහ ජාතික ජන බලවේගය එක්ව නගර සභාවේ පාලනය ගෙන ගියද, මෙම පදික වෙළඳාම් කෝටාව තමන්ට නොලැබුණු බවත්, එය පෞද්ගලික වුවමනාවන් මත සිදුවන්නක් බව තමන් දන්නා බවත් ඔහු පැවසීය.
  • ඉදිරි මහ සභා රැස්වීමේදී මේ පිළිබඳව දැඩි ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය නගරාධිපතිවරයා අනතුරු ඇඟවීය.

නියෝජ්‍ය නගරාධිපති නීතිඥ සිවන්ජෝති යෝගරාජා

නගරාධිපතිවරයා නිහඬයි

මෙම චෝදනා සම්බන්ධයෙන් නගරාධිපති උපාලි වනිගසේකර මහතාගෙන් විමසීමට මාධ්‍ය උත්සාහ කළද, ඔහු පවසා ඇත්තේ තම පක්ෂයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීමට තවමත් අවසර ලැබී නොමැති බවයි. එම අවසරය ලැබුණු පසු ප්‍රතිචාරයක් දක්වන බව ඔහු මීට පෙර සඳහන් කර තිබුණි.

Latest Posts

spot_imgspot_img