Wednesday, April 8, 2026
spot_img

Latest Posts

කෝප් (COPE) කමිටු නියෝගයෙන් කළ ගල්අඟුරු විගණනය අද කතානායකට!!!

: රුපියල් බිලියන 2.2ක අලාභයක් සහ බරපතළ ප්‍රසම්පාදන දෝෂ හෙළිවේ!

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට 2025/2026 වාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේ සිදුව ඇති බරපතළ අක්‍රමිකතා, ප්‍රමිති උල්ලංඝනය කිරීම් සහ මූල්‍ය අලාභයන් පිළිබඳව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විශේෂ විගණන වාර්තාව අද (07) දින පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක  විසින් කතානායකවරයා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය. මේ වන විටත් අදාළ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත බෙදා හැරීම සඳහා මුද්‍රණයට යොමු කර තිබේ.

2025/2026 වාරය සඳහා ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදනයේ දෝෂ මෙන්ම මිලදී ගත් ගල්අඟුරු අපේක්ෂිත ප්‍රමිතියට නොතිබීම සම්බන්ධයෙන් වහාම විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) පසුගියදා ජාතික විගණන කාර්යාලයට කළ දැනුම්දීමකට අනුව විගණකාධිපතිවරයා විසින් මෙම විශේෂ විගණන වාර්තාව එළිදක්වා ඇත.

මෙම වාර්තාව මගින් ගල්අඟුරු ප්‍රසම්පාදනයේදී රජයේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කර ඇති ආකාරය සහ ඉන් රටට සිදුව ඇති දැවැන්ත මූල්‍ය හානිය නිශ්චිත දත්ත සහිතව මෙලෙස අනාවරණය කර තිබේ.

1. ලියාපදිංචිය නොමැති සහ නුසුදුසු සැපයුම්කරුවන්ට ටෙන්ඩරය පිරිනැමීම

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලිකම පදනම අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව විගණන වාර්තාවෙන් හෙළි වේ. ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වන විට, ලියාපදිංචිය සම්පූර්ණ කරන ලද සැපයුම්කරුවන්ගෙන් පමණක් ලංසු කැඳවන බව එම දැන්වීමේ පැහැදිලිව සඳහන් කර තිබී ඇත. එහෙත් ටෙන්ඩරය පිරිනැමීමේදී එම නීති කඩ කර ඇති බව විගණන වාර්තාවේ මෙලෙස උපුටා දක්වා ඇත:

එසේ වුවද එම දිනය වන විට සම්පූර්ණ ලියාපදිංචි ගාස්තුව ගෙවා ලියාපදිංචිය තහවුරු කර නොගත් සැපයුම්කරුවන් තිදෙනෙකුට ද ලංසු යැවීමට කටයුතු කර තිබූ අතර, මෙම ප්‍රසම්පාදනයට තෝරාගත් ට්‍රයිඩන්ට් (Trident) සමාගම ද එදින වන විට ලියාපදිංචිය තහවුරු කර නොතිබූ බව නිරීක්ෂණය විය.”

එපමණක් නොව, නියමිත කාලයට නැව් නොපැමිණීම නිසා 2026 මාර්තු 18 වැනිදා ක්ෂ්‍ණික ප්‍රසම්පාදනයකින් (Spot Procurement) ගල්අඟුරු මිලදී ගැනීමට තෝරාගත් ‘Taranjot Resource (Pvt) Ltd’ සමාගම ද, තම ලියාපදිංචිය ලබා ගන්නා අවස්ථාවට පෙර මාස 36ක කාලය තුළ ලක්විජය බලාගාරයේ දළ තාපජනන අගයෙහි ප්‍රතික්ෂේපිත මට්ටම වූ කිලෝකැලරි 5,900 (5900 kcal/kg) හෝ ඊට වැඩියෙන් සැපයීමට අපොහොසත් වී තිබූ සමාගමක් බවද විගණනයෙන් තහවුරු කර ඇත.

2. ප්‍රමිති පරීක්ෂණ වාර්තාවල ව්‍යාජභාවය සහ බලපත්‍ර අහෝසි වීම

මිලදී ගත් ගල්අඟුරු ලක්විජය බලාගාරයට උචිත දැයි පැටවුම් වරායේදී (Load port) හා ගොඩබෑම් වරායේදී ස්වාධීන පරීක්ෂකයෙකු මගින් පරීක්ෂා කළ යුතුය. එහෙත් මෙහිදී සිදුව ඇති වංචනික ක්‍රියාවලිය විගණනයෙන් මනාව පැහැදිලි කර ඇත:

පැටවුම් වරායේදී විකුණුම්කරු පත් කරන ලද Mitra SK South Africa හිමිකාරි සමාගමට අවශ්‍ය කරන ප්‍රමිතීන්ට යටත්ව ගල්අඟුරු සාම්පල පරීක්ෂා කිරීම සඳහා ප්‍රතීතනතාවයක් (Accreditation) නොතිබුණු බැවින්, ඒ වෙනුවෙන් පරික්ෂණ වාර්තාව නිකුත් කිරීමට 2025 වසරේ දෙසැම්බර් 29 වැනි දින වන විට බලපත්‍රය අවලංගු වූ PT Mitra SK Analisa Testama Samarinda නම් ඉන්දුනීසියානු සමාගමකට පවරා තිබේ.”

  • අදාළ ඉන්දුනීසියානු සමාගමේ බලපත්‍රය 2026 වසරේ මාර්තු 31 වැනිදා වන විටත් යාවත්කාලීන කර තිබූ බවට විගණනයේදී කිසිදු කරුණක් අනාවරණය වී නොමැත.
  • එසේ තිබියදීත්, මෙරටට ලැබුණු ගල්අඟුරු නැව් තොග 12ටම අදාළ පැටවුම් වරායෙහි වාර්තා නිකුත් කර ඇත්තේ මෙම ප්‍රතීතනතාවයක් නොමැති බව හඳුනාගන්නා ලද දකුණු අප්‍රිකානු සමාගම විසිනි.
  • පැටවුම් වරායේ පරීක්ෂණ වාර්තා සහ ලක්විජය බලාගාරයේ ප්‍රධාන පාලන ඒකකයෙන් ලබා ගන්නා දත්ත අතර බරපතළ පරස්පරතා පවතින බව හඳුනාගෙන තිබියදීත්, ඒ සම්බන්ධයෙන් තහවුරුවක් ලබා ගැනීමට විකල්ප අවස්ථා කිහිපයක් තිබුණද ඒ කිසිවක් භාවිත කිරීමට ලංකා ගල්අඟුරු සමාගම කටයුතු කර නොමැති බවද විගණන වාර්තාව පෙන්වා දෙයි.

3. බාල ගල් අඟුරු භාවිතය: අධිපරිභෝජනය සහ බිලියන ගණනක අලාභය

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමේ සෘජු ප්‍රතිඵලය වූයේ බලාගාරයේ කාර්යක්ෂමතාව පහළ වැටී අතිවිශාල මූල්‍ය පාඩුවක් රටට සිදුවීමයි. ‘ට්‍රයිඩන්ට්’ සමාගම සපයන ලද මුල් නැව් තොග 9 හි ගල් අඟුරු භාවිතයෙන් විදුලි කිලෝවොට් පැය 1 ක් ජනනය කිරීම සඳහා අවශ්‍ය සම්මත ගල් අඟුරු ප්‍රමාණය වන ග්‍රෑම් 375 ඉක්මවා ගොස් අධික පරිභෝජනයක් සිදුවී ඇත.

දත්ත විශ්ලේෂණයට අනුව, අඩු ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු හේතුවෙන් සිදුවූ අධිපරිභෝජනය මත රජයට සිදු වී ඇති මුළු ඇස්තමේන්තුගත පාඩුව රුපියල් මිලියන 2,237.7 ක් (රුපියල් බිලියන 2.2ක් පමණ) ලෙස ගණනය කර ඇත.”

බාල ගල් අඟුරු හේතුවෙන් බලාගාරයේ පූර්ණ ධාරිතාවය වන මෙගාවොට් 300 ලබා ගැනීමට නොහැකි වී ඇත. මේ හේතුවෙන් දෛනිකව පූර්ණ ධාරිතාව ඉල්ලුම් කළ විට විකල්ප මූලාශ්‍රයකින් ලබාගත යුතු වූ අතිරේක බලශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය 114,531,131 ක් ලෙස ගණනය කර ඇති අතර, මෙහිදී සැපයුම්කරුගේ කොන්දේසි උල්ලංඝනය කිරීම මත අයකර ගත හැකි දඩ මුදල සම්බන්ධයෙන් විගණනය මෙසේ පවසයි:

කොන්දේසි උල්ලංඝනය කිරීම මත සැපයුම්කරුගෙන් අයකර ගත හැකි දඩ මුදල රුපියල් මිලියන 2,332.5 ක් බවට හෙළි වී ඇත.”

4. කාලසටහන් ප්‍රමාදය සහ අඛණ්ඩ විදුලි සැපයුමට ඇති අවදානම

දේශගුණික තත්ත්වයන් මත වසර පුරා ශ්‍රී ලංකාවට ගල්අඟුරු ගොඩබෑමට නොහැකි බැවින්, ගල්අඟුරු සපයා ගත හැකි කාල සීමාව තුළ උපරිම වශයෙන් නැව් ගෙන්වා ගත යුතුය. එහෙත්, එම අවස්ථාව පැවති 2025 වසරේ නොවැම්බර් 13 සිට දෙසැම්බර් 30 දක්වා දින 40ක තීරණාත්මක කාලයේදී කිසිඳු ගල්අඟුරු නැව් තොගයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවන පරිදි ප්‍රසම්පාදනය සිදුකිරීමට ලංකා ගල්අඟුරු සමාගම අපොහොසත් වී ඇතැයි විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත.

මෙම සියලු අක්‍රමිකතා මත පදනම්ව විගණකාධිපතිවරයා දැඩි අනතුරු ඇඟවීමක් කරමින් පෙන්වා දෙන්නේ, නියමිත කාලයට ගල්අඟුරු නැව් ගෙන්වා ගැනීමට නොහැකි වීමත්, ඉදිරියේදී ඇතිවිය හැකි පාලනය කළ නොහැකි තත්ත්ව මත ලක්විජය බලාගාරයේ අවශ්‍යතාවට ගල්අඟුරු ප්‍රමාණවත් නොවුණහොත්, එය අඛණ්ඩ විදුලිබල සැපයුමකට අතිශයින්ම අවාසි සහගත ලෙස බලපෑ හැකි බවයි.

මෙම විශේෂ විගණන වාර්තාව හරහා පැහැදිලිවම තහවුරු වන්නේ ලක්විජය බලාගාරයේ 2025/2026 ගල් අඟුරු ප්‍රසම්පාදනය යනු විධිමත් ක්‍රියාවලියෙන් බැහැරව සිදු වූ, රජයට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු කළ බරපතළ වංචනික ක්‍රියාවලියක් බවයි. අද දින කතානායකවරයාට භාර දුන් මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවේ දැඩි විවාදයට බඳුන් වීමට නියමිත අතර, ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගනු ඇතැයි මහජනතාව අපේක්ෂා කරයි.

#සමාරා පරණවිතාන (slleader.lk)

Latest Posts

spot_imgspot_img