ලක්විජය බලාගාරය විසින් නිකුත් කර ඇති ගල් අඟුරු ප්‍රමිති වාර්තාවන්හි විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ අයදුම්පත් කිහිපයක් යොමු කර ඇත.

ගැටලුවේ පසුබිම
‘Lakvijaya Power Station (LVPS)’ සහ ‘Lakvijaya Power Plant (LVPP)’ යන ආයතන ද්විත්වය විසින් ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳ වාර්තා ගණනාවක් නිකුත් කර ඇති අතර, එම වාර්තාවන්හි වැරදි සහ අඩුපාඩු පවතින බැවින් ඒ පිළිබඳව සැක සංකා මතුව ඇති බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. බාහිර පාර්ශවයන් සිය නිරීක්ෂණ හා අදහස් දැක්වීම් සිදු කරමින් සිටින්නේ ද මෙම වාර්තා පදනම් කරගෙන බැවින් මෙම තොරතුරු තහවුරු කරගැනීම ඉතා වැදගත් වේ.
සඟවා ඇති වාර්තා සහ දේශපාලන හැසිරීම
මේ වන විට ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳ ප්‍රසිද්ධ සාකච්ඡාව සිදුවෙමින් පවතින්නේ ඉහත කී ලේඛන මත පදනම්ව වුවද, ලංකා ගල් අඟුරු සමාගම වෙත ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයක් සහිත ආයතන වෙතින් ලැබී ඇති වාර්තා මේ දක්වා රජය හෝ වෙනත් පාර්ශවයක් මගින් ප්‍රසිද්ධියට පත් කර නොමැති බව ඔහු අවධාරණය කරයි.
මෙම වාර්තාවන්හි අඩංගු කරුණු වැරදි සහගත නම් නිසි ඵලදායී තක්සේරුවක් ලබා ගැනීමට නොහැකි වන බවත්, ආණ්ඩු පාර්ශවය පසුගිය රජයන්ගේ අඩුපාඩු මතු කරමින් තම වැරදි වසා ගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට ඇති බවත් ඔහු සඳහන් කරයි. එසේම, විපක්ෂය ද විධිමත් විමසීමකින් තොරව හුදෙක් මෙම වාර්තා මත පමණක් පදනම්ව අදහස් දක්වන බවක් නිරීක්ෂණය වන බව හෙතෙම වැඩිදුරටත් පවසයි.
වාර්තා සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රධාන නිරීක්ෂණ
බලශක්ති අවශ්‍යතාව සපුරාලීම රාජ්‍යයකට පැහැර හැරිය නොහැකි වගකීමක් වන අතර, ගල් අඟුරු ආනයනය සහ මිලදී ගැනීමේ ක්‍රමවේදය ජාතික වැදගත්කමක් ඇති කරුණකි. ඒ සඳහා පදනම් වන රසායනාගාර වාර්තා සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත:
- මෙම ආයතන ද්විත්වය එකම ආයතනයක් ද, නැතහොත් වෙනස් ආයතන ද යන්න පිළිබඳ අනන්‍යතාව හඳුනාගත නොහැකි වීම.
- වාර්තා කිහිපයකම සඳහන් වන දින, කාලය සහ වකවානු නිවැරදි නොවීම.
- විධිමත් වාර්තා නිකුත් කිරීමට අවශ්‍ය ප්‍රමිති තත්ත්වයන් අදාළ පර්යේෂණ ආයතන විසින් සපුරා නොතිබීම.
- අදාළ ආයතන සතුව නිසි පුහුණුව හා සහතික ලත් කාර්ය මණ්ඩලයක් සිටීද යන්න පැහැදිලි නොවීම.
- ප්‍රසිද්ධියට පත් කර ඇති වාර්තා සතුව අවම වශයෙන් අයි.එස්.ඕ. (ISO) ප්‍රමිතිය හෝ නොමැති බව නිරීක්ෂණය වීම.
තොරතුරු දැනගැනීමේ අයදුම්පත්
මෙම කරුණු මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලය, ලක්විජය විදුලිබල බලාගාරය (නොරොච්චෝලේ) සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන ආයතන වෙත මෙම තොරතුරු අයදුම්පත් යොමු කර ඇත.
මෙමගින් අදාළ පර්යේෂණාගාරවල තත්ත්වය, නිලධාරීන්ගේ සුදුසුකම් සහ ජාත්‍යන්තර ප්‍රමිතිකරණය (උදා: ISO, ASTM-based results) සම්බන්ධයෙන් ඔවුන් ලබා ඇති අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳව විමසා ඇත. තවද, ගල් අඟුරු දහන ශක්ති අගය (Calorific Value) ගණනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයක් (Accreditation) සහිත ආයතනයක් හෝ යාන්ත්‍රණයක් විදුලිබල මණ්ඩලය සතුව පවතීද යන්න සහ අදාළ දත්ත පදනම් කරගනිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හෝ කොමිෂන් සභාවකට වාර්තා සකස් කර තිබේද යන්නත් මෙමගින් ප්‍රශ්න කර තිබේ.



