Sunday, March 15, 2026
spot_img

Latest Posts

“සැකකරුවෙකුත් නොවන සුරේෂ් සලේව ත්‍රස්ත පනතින් රඳවාගත්තේ කොහොමද?” – දයාසිරි පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (මාර්තු 06) පාර්ලිමේන්තුවේදී බරපතල ප්‍රශ්න කිරීමක් සිදු කළේය.

ඔහු පෙන්වා දුන්නේ, අධිකරණය ඉදිරියේ තවමත් සැකකරුවෙකු ලෙසවත් නම් කර නොමැති පුද්ගලයෙකුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වැනි දැඩි නීතියක් යටතේ දින 90ක් රඳවාගෙන සිටීම නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවයි.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා සිදුකළ හෙළිදරව්වේ ප්‍රධාන කරුණු පහත පරිදි වේ:

තවම හිතනවා” කී CID

සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට කිසිදු විරෝධයක් නොමැති වුවද, එය සිදුකරන අත්තනෝමතික ක්‍රියාපටිපාටිය තමා දැඩිව විවේචනය කරන බව මන්ත්‍රීවරයා පැවසීය. මාර්තු 04 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී (නඩු අංක 35882/24) සිදුවූ දෙබසක් ඔහු සභාවට ඉදිරිපත් කළේය.

“විනිශ්චයකාරතුමා CID යෙන් අහනවා ‘මේ පුද්ගලයාව සැකකරුවෙක් කරලද තියෙන්නේ?’ කියලා. CID එක කියනවා ‘නැහැ ස්වාමීනී’ කියලා. ඒ ගැන තවම හිතනවා කියලත් ඔවුන් කියනවා. එහෙනම් සැකකරුවෙක් නොවන පුද්ගලයෙක්ව අරන් ඇවිල්ලා කොහොමද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝගයකට යටත් කරන්නේ? මේක පැහැදිලිවම ත්‍රස්තවාදී මර්දන පනත උල්ලංඝනය කිරීමක්” යැයි මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

පුතාට පියා බලන්නත් පොලිස් වාර්තා ඉල්ලයි!

සලේ මහතාව බැලීමට යන ඕනෑම අයෙකුට පොලිස් වාර්තාවක් (Police Clearance Report) ගෙන එන ලෙස CIDය දන්වා ඇති බවත්, අවුරුදු 21ක් වන ඔහුගේම පුත්‍රයාට තම පියා බැලීමට යාමට පවා පොලිස් වාර්තාවක් රැගෙන යාමට සිදුවී ඇති බවත් ඔහු හෙළි කළේය. “මේක ලංකාවේ තියෙන පුදුම නීතියක්” යැයි ඔහු විමතිය පළ කළේය.

නීතිඥ රහස්‍යභාවය උල්ලංඝනය කිරීම

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ නීතිඥවරුන්ට තම සේවාදායකයා හමුවීමට සිදුවී ඇති බවත්, නීතිඥවරයෙකු තම සේවාදායකයා සමග කතා කරන දේවල් පොලිසිය සටහන් කරගැනීම නීතිඥ වෘත්තියට කරන දැඩි බාධාවක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

විමර්ශනවලට දේශපාලන අතපෙවීම්

මෙම විමර්ශනවලට දේශපාලන අතපෙවීම් සිදුවන බවට චෝදනා කරමින් ජයසේකර මන්ත්‍රීවරයා වත්මන් අපරාධ පරීක්ෂන දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ එක්තරා දිවුරුම් පෙත්සමක් සභාවට ඉදිරිපත් කළේය. ඒ අනුව ජාතික ජන බලවේගයේ (NPP) විශ්‍රාමික එකමුතුවේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන පුද්ගලයින් මෙම විමර්ශනවලට සම්බන්ධ වී සිටින බව එම දිවුරුම් පෙත්සම මගින් තහවුරු වන බව ඔහු පැවසීය. “තමන් මාලිමාවේ විශ්‍රාමික එකමුතුවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බව පිළිගන්නා අය තමයි මේවා මෙහෙයවන්නේ” යනුවෙන් ඔහු චෝදනා කළේය.

Latest Posts

spot_imgspot_img