නිදහස් ලේඛක විජේපාල දිසානායක මහතා විසින් රචිත මෙම ලිපිය, සියොන්වාදයේ ඓතිහාසික පරිණාමය සහ මැදපෙරදිග අර්බුදය පිළිබඳව වටිනා කියවීමක් පාඨකයාට ලබා දෙයි. එහෙත්, මෙම මනා ඓතිහාසික විවරණය ඔස්සේ අප තේරුම් ගත යුතු වඩාත් තීරණාත්මක යථාර්ථයක් පවතී; එනම්, වර්තමානයේ මතුපිටින් පෙනෙන ආගමික, ජාතිකවාදී හෝ සංස්කෘතික ගැටුම් යටින් සැබවින්ම දිවෙන්නේ ලාභ අනුපාතය සහ සම්පත් කොල්ලය මත පදනම් වූ අමු වෙළඳ යුද්ධයක් බවයි. ඓතිහාසිකව සියොන්වාදයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ සෞදි අරාබිය වැනි තෙල් නිධි සහිත ඉස්ලාමීය රටවල් සමඟ පවා, තම වෙළඳ සහ බලශක්ති අවශ්‍යතා මත ඇමරිකාව ගොඩනඟාගෙන ඇති දැඩි මිත්‍රත්වය මීට කදිම නිදසුනකි. එනම්, ඛනිජ තෙල්, භූ-දේශපාලනික කේන්ද්‍රස්ථාන සහ යුධ-කාර්මික ලාභය ඉදිරියේ "ආගම" හෝ "ජාතිය" යනු හුදෙක් යුද්ධය සාධාරණීකරණය කරන වෙස්මුහුණක් පමණි.
කෙසේ වුවත් දිසානායක මහතාගේ මෙම ලිපිය, ඓතිහාසික ආගමික මතවාදයන්ට මුවා වී ලෝක බලවතුන් විසින් මෙහෙයවන ගෝලීය වෙළඳ ආධිපත්‍යයේ සැබෑ නිරුවත තර්කානුකූලව වටහා ගැනීමට පාඨකයාට මනා ප්‍රවේශයක් සපයනු ඇත.

වර්තමාන ජාත්‍යන්තර දේශපාලනයේ දී, සියොන්වාදය තරම් ඓතිහාසික බරක් සහ සමකාලීන වශයෙන් දැඩි මතභේදයක් ඇති කල සංකල්පයක් තවත් නැති තරම්ය. දහනව වන සියවසේ අගභාගයේදී විවිධාකාරයෙන් පීඩාවට පත් වූ ජනතාවකගේ ජාතිකවාදී අභිලාෂයක් ලෙස ආරම්භ වූ මෙම දෘෂ්ටිවාදය කාලයත් සමඟ, මැද පෙරදිග ඉරණම, ගෝලීය බලවතුන්ගේ ප්‍රතිපත්ති සහ පලස්තීන ප්රශ්නයේ නොවිසඳුනු ඛේදවාචකය සහ අද ඉරානය වෙත මුදාහරිනු ලබන මිලිටරි බලහත්කාරය සමඟ බැඳී ඇති සංකීර්ණ භූ දේශපාලනික යථාර්ථයක් බවට පරිණාමය වී ඇත.
මෙහි මූලාරම්භයේදී, සියොන්වාදය මුල් බැස ගත්තේ යුදෙව් ජනතාව තම ඓතිහාසික නිජබිමට නැවත පැමිණීමේ කැමැත්ත විසින්ය. සියවස් ගණනාවක් පුරාවට, යුරෝපය, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව පුරා විසිරී සිටි යුදෙව්වන් පුරාණ යුදෙව් රාජධානි සමඟ ඓතිහාසිකව සම්බන්ධ වූ භූමියට ආගමික හා සංස්කෘතික බැඳීමක් පවත්වා ගෙන ගියහ. ක්‍රි.ව. 70 දී රෝම අධිරාජ්‍යය විසින් දෙවන දේවමාළිගාව විනාශ කිරීම හේතුකොට ගෙන යුදෙව් ඩයස්පෝරාව ඇවිලී ගියා සේම, එම ප්‍රජාව මහාද්වීප පුරා විසිර ව්‍යාප්තව ගියේය. එය එසේ සිදු වුවත් ඔවුන්ගේ පූජනීයත්වය, ජනප්‍රවාද සහ අනන්‍යතාවය හේතුවෙන් ජෙරුසලමට නැවත පැමිණීමේ අපේක්ෂාව නොනැසී ජීවමානව පැවතුනි.
කෙසේ වෙතත්, නූතන සියොන්වාදයේ මතුවීම හුදෙක් අධ්‍යාත්මික එකක් නොවේ. එය ගැඹුරු දේශපාලනික සංධිස්ථානයක් බව කිව හැකිය. එනම් දහනව වන ශතවර්ෂය අගභාගයේදී, යුරෝපයේ නැඟී ආ යුදෙව් විරෝධී රැල්ල බොහෝමයක් යුදෙව් බුද්ධිමතුන්ට ඒත්තු ගැන්වූයේ සංවිධාන ගත නොවීමෙන් ආරක්ෂාව සහතික කළ නොහැකි බවයි. රුසියානු අධිරාජ්‍යයේ සංහාර සහ යුරෝපය පුරා වෙනස්කම් කිරීමේ නීති යුදෙව්වන්ට තමන්ගේම ජාතික රාජ්‍යයක් අවශ්‍ය බවට ඇති විශ්වාසය ක්‍රමයෙන් පෝෂණය කළේය.
මෙම ව්‍යාපාරයේ වඩාත්ම බලගතු පුද්ගලයින් අතර විසිරී ඇති අභිලාෂයන් සංවිධානාත්මක දේශපාලන වැඩසටහනක් බවට පරිවර්තනය කිරීමේ මුලික ගෞරවය හිමිවන්නේ, ඔස්ට්‍රියානු මාධ්‍යවේදියෙකු වන තියඩෝර් හර්සල්ටය. (Theodor Herzl) ඔහු විසින් 1896 ඩර් ජුඩෙන්ස්ටාට් (Der Judenstadt) පොත එළිදක්වමින් තර්ක කළේ යුරෝපයේ යුදෙව් ප්රශ්නය විසඳිය හැක්කේ ස්වෛරී යුදෙව් රාජ්‍යයක් පිහිටුවීමෙන් පමණක් බවයි. වසරකට පසුව, හර්සල් සියොන්වාදී දේශපාලන ව්‍යාපාරයේ විධිමත් උපත සනිටුහන් කරමින් ස්විට්සර්ලන්තයේ බාසල් හි පළමු සියොන්වාදී සම්මේලනය කැඳවීමට සමත් විය.
පළමු ලෝක යුද්ධය භූ දේශපාලනික ලෝක රටාව තීරණාත්මක ලෙස වෙනස් කළේය. 1917 දී, බ්‍රිතාන්‍ය රජය ඓතිහාසික බැල්ෆෝර් ප්රකාශනය (Balfour Declaration) නිකුත් කරමින්, පලස්තීනයේ “යුදෙව් ජනතාව සඳහා ජාතික නිවහනක්” පිහිටුවීම සඳහා සහාය පළ කළේය. ඒ වන විට කලාපය තවමත් බිඳ වැටෙමින් තිබූ ඔටෝමාන් අධිරාජ්‍යයේ කොටසක් විය. යුද්ධයෙන් පසු, බ්‍රිතාන්‍යය පලස්තීනය සඳහා බ්‍රිතාන්‍ය වරම තුලින් භූමියේ පාලනය භාර ගත්තේය.
මෙම කාලය තුළ පලස්තීනයට යුදෙව් සංක්‍රමණය සැලකිය යුතු ලෙස වර්ධනය වන්නට විය. මෙහි ප්‍රතිපලයක් ලෙස සියොන්වාදී ආයතන ජනාවාස ව්‍යාප්තිය සහ ආර්ථික සංවර්ධනය දිරිමත් කිරීමට කටයුතු කරන ලදී. කෙසේ වෙතත්, මෙම වර්ධනයන් දෙස විශාල අරාබි ජනගහනය ගැඹුරු කනස්සල්ලකින් බැලූවේ, එම භූමිය දැනටමත් ඔවුන්ගේ නිවහන වූ නිසාවෙනි. මේ අනුව තරඟකාරී ජාතික අභිලාෂයන් ක්‍රමයෙන් දේශපාලන ගැටුමක් බවට පත් වන්නට විය. එහි තර්කානුකුල ප්‍රති විපාක ලෙස කැරලි, සහ වාර්ගික ප්රචණ්ඩත්වය අනිවාර්ය ලක්ෂණ බවට පත් විය.
හොලොකෝස්ටයේ විනාශය යුදෙව් ප්රශ්නය කෙරෙහි ජාත්‍යන්තර ආකල්ප වෙනස් කිරීමට ලක් කළේය. එනම් නාසි කුරිරුකම්වල සදාචාරාත්මක කම්පනය සියොන්වාදී අරමුණ සඳහා ගෝලීය අනුකම්පාවක් ඇති කළේය. එහි දිගුවක් ලෙස 1947 දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය සඳහා එක්සත් ජාතීන්ගේ බෙදීමේ සැලැස්ම යෝජනා කළ අතර, එම භූමිය වෙනම යුදෙව් සහ අරාබි රාජ්‍යයන් ලෙස බෙදා වෙන් කිරීමට නිර්දේශ කළේය.
මෙහි ප්‍රතිපලයක් ලෙස සිදු වුනේ ඊළඟ වසරේ, නූතන ඊශ්‍රායල රාජ්‍යය නිදහස ප්‍රකාශ කිරීමයි. එහෙත් අසල්වැසි අරාබි රටවල් මෙම ප්‍රකාශයත් සමගම මැදිහත්වී 1948 අරාබි-ඊශ්‍රායල යුද්ධයට පදනම සැපයීය. මෙම යුද්ධය කලාපයේ සිතියම නැවත හැඩගැස්ව වීමට හේතු වූ අතර පලස්තීන අරගලය මේ වන තුරුත් නිමක් නොපෙනන කල් පවතින සරණාගත අර්බුදයක් දක්වා ගමන් කරමින් තිබේ.
එපමණක් නොව ඒ මොහොතේ පටන්, සියොන්වාදී ආක්රමිණික දේශපාලනය ගෝලීය බල ගතිකයෙන් වෙන් කළ නොහැකි සාධකයක් ලෙස මේ මොහොත දක්වා පවතී. ඊශ්‍රායලයේ ඓතිහාසික සහචර ගැලවුම්කරුවා ලෙස අදත් එක්සත් ජනපදය තීරණාත්මක භූමිකාවක් ඉටුකරමින් සිටි. දශක ගණනාවක් පුරා, වොෂින්ටනය ජාත්‍යන්තර සංසදවලදී ඊශ්‍රායලයට රාජ්‍ය තාන්ත්‍රික සහාය, මිලිටරි සහාය සහ උපායමාර්ගික ආරක්ෂාව ලබා දෙමින් ඇත.
ඇමෙරිකා – ඊශ්‍රායල් හාදකම ඓතිහාසිකව තහවුරු වන තවත් සාධක කිහිපයක් තිබේ. සීතල යුද්ධය අතරතුරදී එක්සත් ජනපදය සිදුකල උපායමාර්ගික ගණනය කිරීම් වලට අනුව ඔවුන් අස්ථාවර කලාපයක විශ්වාසදායක සහකරුවෙකු ලෙස ඊශ්‍රායලය දිරිමත් කළේය. ඒ අනුව ඇමරිකානු යුදෙව් ප්රජාවන්ගේ බලපෑම සහ ඊශ්‍රායලයේ ප්රජාතන්ත්රවාදී ආයතන සඳහා පුළුල් දෘෂ්ටිවාදාත්මක අනුකම්පාව ඇතුළුව සංස්කෘතික හා දේශපාලන සබඳතා ද කැපීපෙනෙන භූමිකාවක් ඉටු කළේය.
ඒ අනුව මෙම සන්ධානය බොහෝ විට ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල, විශේෂයෙන් අරාබි සහ මුස්ලිම් ක්ෂේත්‍ර තුළ විවේචනයට ලක්ව තිබේ. ඇමරිකානු සහයෝගය සහ අනුග්‍රහය මත ඊශ්‍රායල-පලස්තීන ගැටුම, ඉරානයට පහරදීම, වැනි ක්‍රියා ජාත්‍යන්තර නීතින් පවා උල්ලංඝනය කල කලාපීය අස්ථාවරත්වය තීව්ර කිරීමට ඊශ්‍රායල ප්‍රතිපත්තිවලට හැකියාව ලබා දී ඇති බව විචාරකයින් තර්ක කරති. අනෙක් අතට, සියොන්වාදී ආධාරකරුවන් තර්ක කරන්නේ ඊශ්‍රායලය අඛණ්ඩ ආරක්ෂක තර්ජනවලට මුහුණ දෙන බවත් සතුරු පරිසරයක නොනැසී පැවතීමට ශක්තිමත් සහචර පාර්ශවකරුවෙක් හැටියට ඇමෙරිකාව ඔවුන්ට අවශ්‍ය බවත්ය.
අද වන විට මෙම ගැටුම පුළුල් භූ දේශපාලනික අරගලයක් දක්වා පරිණාමය වී ඇත. ගාසා තීරයේ යුද්ධ, ඉරානයට පහරදීම සහ අසල්වැසි රාජ්‍යයන් සමඟ ආතතීන් සහ වරින් වර ඇතිවන උත්සන්නවීම් හේතුවෙන් මැද පෙරදිග නැවත නැවතත් කම්පනයට ලක්කර ඇත. අවසනයේ මෙය ගෝලීය අර්බුදයක් දක්වා විහිදී යන සලකුණු මතුවෙමින් පවතී. එවැනි තත්වයකදී මෙම ගැටළුව ජාතිකවාදය, මානව හිමිකම් සහ ගෝලීය දේශපාලන බලයේ සීමාවන් පිළිබඳ ජාත්‍යන්තර විවාදයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් ඇත. එබැවින් සියොන්වාදය වටා ඇති සමකාලීන විවාදය තනි ජාතිකවාදී ව්‍යාපාරයක ඉතිහාසයට වඩා බොහෝ දේ පිළිබිඹු කරමින් තිබේ.



